රජය කියන සමාගම කාගෙ ද? කාට ද?

රජයත් හරියට ඒන්ජල්ස් ට්‍ර‍ම්පට් කියන මෙන්න මේ පැළෑටිය වගේ. මල ලස්සනයි. හැබැයි මුළු පැළෑටිය ම විෂයි. 
රජය විග්‍ර‍හ කළ හැකි විවිධ ආකාර තිබෙනවා. එය දේශපාලනය පිළිබඳ මහජන සම්මුතියක් මත ක්‍රියා කරන ව්‍යූහයක් ලෙස ද සලකන්නට පුළුවන්. ඒ කියන්නෙ රජය කියන්නෙ මහජනතාව තමන් දේශපාලන සමාජයක් ලෙස පාලනය කර ගැනීම සඳහා ගොඩනගා ගන්නා ලද ව්‍යූහයක්. රජයකට හමුදා, පොලීසි, අධිකරණ, සිරගෙවල්, පාර්ලිමේන්තු, වෙනත් මහජන නියෝජිත සභා, නියාමන ව්‍යූහයන්, පරිපාලන සංවිධාන හා කළමනාකරණ ව්‍යූහයන් අවශ්‍යයි.

රජය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය බරපැණ දරා ගැනීම මහජන වගකීමක්. රජය ඒ වෙනුවෙන් බදු එකතු කර ගත යුතුයි. බදු එකතු කර ගැනීමටත් ව්‍යූහයන් අවශ්‍යයි.

එසේම, රජය විසින් අනිවාර්යයෙන් පවත්වාගෙන යා යුතු පොදු ව්‍යවසායන් තිබෙනවා. පවත්නා තත්වයන් තුළ, වරාය, ගුවන් තොටුපළ, මහාමාර්ග, වාරිමාර්ග, ජල සම්පාදනය, බලශක්ති, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර‍වල මූලික සේවා තත්වයන් පවත්වාගෙන යාමේ වගකීම රජයට පැවරෙනවා. හේතුව, ඒවා මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් වීම නිසායි. ඒ ඒ අංශවල වුණත් වටිනාකම් එකතු කළ සේවාවන් පෞද්ගලික ව්‍යවසාය ලෙස පවත්වාගෙන යාම ගැටලුවක් නැහැ. හැබැයි, මේ මූලික සේවාවන්ට පිවිසීමේ හැකියාව ජනතාවගෙන් සෑම අයෙකුට ම තිබිය යුතු නිසා ඒවායේ රාජ්‍ය වගකීම ඉහළයි.

එහෙත්, රජය එයට පමණක් සීමා වන්නේ නැහැ. රජය ව්‍යාපාර ද කරනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසායන්ගේ ඒකාධිකාරයන් ද පිහිටුවා ගන්නවා. රටක පවතින තත්වයන් මත ඒවා අවශ්‍ය හෝ අනවශ්‍ය වන්නට පුළුවන්. ඒවා අවශ්‍ය ද, නැද්ද යන්න තීරණය කළ යුත්තේ දෘෂ්ටිවාදීමය කාරණා මත පදනම්ව නොවෙයි. ආර්ථික තත්වයන් හා සමාජ සංවර්ධනයේ ස්වභාවය අනුවයි.

මෙය උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලංකාවේ රජය 1950 දශකයේදී මගී ප්‍ර‍වාහන බස් සේවය රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත් කළා. එය ඒ අවධියේදී ප්‍ර‍ගතිශීලී පියවරක්. ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විධිමත් බස් සේවා රට පුරා ඇති කළා. එහෙත්, 1970 දශකය වන විට එය තව දුරටත් සංවර්ධනය නො වී, එක තැන පල් වෙමින්, මහජනතාව අපේක්ෂා කරන සේවය සපයන්නට අසමත්ව තිබුණා. එයට මූලික හේතුව වුණේ රාජ්‍ය ව්‍යවසායන් තුළ ගොඩනැගුණු අකාර්යක්ෂම තත්වය හා දූෂණය. අවසානයේදී රජයට සිදු වුණා, මගී ප්‍ර‍වාහන බස් සේවා පවත්වාගෙන යාම විවෘත වෙළඳපොළට දාන්න. එයින් පසු මගී බස් සේවා දියුණු වුණා. අකාර්යක්ෂමතාවට හා දූෂණයට පිළියම් සොයා ගන්නට බැරි වුණ ලංගම තරගකාරිත්වය හමුවේ තවත් පිරිහුණා. හැබැයි ගැටලුවකුත් ඇති වුණා. මගී ප්‍ර‍වාහන සේවා නිසි පරිදි නියාමනය කරන්නට රජය අසමත් වුණා. වර්තමානය වන විට බස් සේවාවල තිබෙන ප්‍ර‍ධාන ගැටලුව නියාමනයක් නැතිකම. එයට විසඳුම් ලෙස බස් සේවා රජයට පවරා ගත යුතුයි කියා දැන් කිසිවෙක් කියන්නේ නැහැ.

රජය මහජන සුබසාධනය වෙනුවෙන් වැඩ කළ යුතු බව අප ප්‍ර‍තික්ෂේප කරන්නෙ නැහැ. වෙළඳපොළ රජයට විකල්පයක් නෙමෙයි. හැබැයි වෙළඳපොළ යකෙකු හෝ බිල්ලකු ද නෙමෙයි. වෙළඳපොළ රජයට අනුපූරකයක්. රජය විසින් කළ යුතුව තිබෙන්නේ කාටත් ප්‍රවේශ විය හැකි මූලික සේවාවන් සම්පාදනය. පෞද්ගලික ව්‍යවසායන්ට පුළුවන් වටිනාකම් එකතු කළ සේවා පවත්වාගෙන යන්න.

එහෙත්, ඊනියා සමාජවාදී ආකල්ප මත පදනම් වී මෙය පටලවාගෙන තිබෙනවා. රජය නො කළ යුතු ව්‍යවසායන්ට රජය අත ගසා තිබෙනවා. උදාහරණයක් ලෙස ලංකාවේ රජය මොකට ද ගුවන් සේවා ව්‍යාපාර පවත්වාගෙන යන්නෙ? ලංකාවේ ජනතාවගෙන් සීයෙන් පංගුවකටවත් ගුවන් සේවා වැදගත් නැහැ. මේ තේරුමක් නැතිකම දුටු රජය ජාතික ගුවන් සේවය පෞද්ගලීකරණය කළත්, මහින්ද රාජපක්ෂ රජය තනිකර ම පටු අරමුණු මත එය නැවතත් රජයට පවරා ගත්තා. දැන් එය මහජන මුදල් ගිලින යකෙකු බවට පත් වෙලා. විකුණගන්නට හෝ බැරි වී තිබෙනවා.

රජයේ මූලික ගැටලුව මෙතනින් තේරුම් ගන්නට පුළුවන්. රජය කියන්නේ මොකක් ද? රජය පවතින්නේ කා වෙනුවෙන් ද? රජය පවතින්නේ මහජනතාව වෙනුවෙන් ද? එය පවත්වාගෙන යන්නේ ඇත්තට ම මහජනතාව ද?

රජය මේ වන විට තවදුරටත් මහජනතාව විසින් මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන එකක් නොවෙයි. රජය පවතින්නේ රජය වෙනුවෙන්මයි. ඒක තේරුම් ගන්න එක එච්චර අමාරු නැහැ.

දැන් ලංකාවෙ පවත්නා රජය ගන්න. මෙහි රජයේ සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. විශ්‍රාමිකයන් ලක්ෂ පහකුත් ඉන්නවා. මේ රජය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ රටේ මහජනතාව අති විශාල බදු බරකට කර ගහනවා. ඒ බදු මුදල්වලින් වැඩි කොටසක් වැය වන්නේ දේශපාලකයන්ට, රජයේ නිලධාරීන්ට හා රජයේ සේවකයන්ට පඩි ගෙවන්න. ඒ වුණාට ඒ රජයේ සේවකයන් මහජනතාවට ලබා දෙන සේවා සම්පාදනයේ තත්වය පිළිබඳ මේ රටේ ඕනෑම කෙනෙකු දන්නවා. 

රජය පවතින්නෙ රජයේ පාර්ශ්වකරුවන් වන දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා සේවකයන්ට ප්‍ර‍තිලාභ දෙන්නයි. ඒ ක්‍රියාවලිය සාධාරණීකරණය කර ගන්නට අවශ්‍ය ප්‍ර‍මාණයට විතරයි ඔවුන් වැඩ කරන්නෙ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එන්ජ්ල්ස් ට්‍රම්පට් නෙමෙයි මටනම් මේක කිඩාරම් මලක්. එන්නේ ජනවාර් 8දා. බැඳුම් කර මගඩිය පටන් ගන්නේ මාර්තුවල.

    ReplyDelete
  2. මෙය උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලංකාවේ රජය 1950 දශකයේදී මගී ප්‍ර‍වාහන බස් සේවය රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත් කළා. එය ඒ අවධියේදී ප්‍ර‍ගතිශීලී පියවරක්.
    This is not agreeable. It took decades for individual bus owners to evolve to become bus companies. The Government, instead of being distant regulator, nationalized bus ownership over night on popular but irrational ideologies. It was a huge barrier for capitalistic development in the country.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා