ජාතික ප්‍රශ්නය හා ආර්ථික ප්‍රශ්නය ගැන වැඩිදුරටත්

සමාජවාදියකු ලෙස මා විශ්වාස කරන්නේ කුඩා හා ඵලදායී රජයක් විසින් නියාමනය කරන ලද නිදහස් වෙළඳපොළ ආර්ථිකය ලංකාවට ඉදිරියට යාමට ඇති එකම මාර්ගය බවයි - ආර්ථික නිදහස පිළිබඳ ඇඩ්වොකාටා සමුළුවේදී  
ප්‍ර‍ගතිශීලීන් ජාතික ප්‍ර‍ශ්නය පිළිබඳ සංවේදී විය යුත්තෙ පවත්නා තත්වයන්ට අනුවයි. එහෙම නැතුව සියලු ජාතීන්ට එක ම ප්‍ර‍තිපත්තියක් කියන එක කවුරුවත් අනුගමනය කරපු එකක් නෙමෙයි. ලෙනින්, ට්‍රොට්ස්කි, රෝසා ලක්සම්බර්ග් වැනි අය පවා ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම වැනි සංකල්ප හුදු මූලධාර්මික පිළිගැනීම් බවට පත් නො කර, එ්වා ඒ ඒ රටවල තිබෙන තත්වයන් තුළ කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක උවමනාවන් මත පදනම් කළ හ.

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයෙහිදී පවා වම දෙමළ ජාතික ප්‍රශ්නය වෙත තබන බර හා සමාන බරක් මුස්ලිම් ප්‍රශ්නය වෙත තබන්නේ නැත.

ජාතියක් යනු කුමක් ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් පවා නිශ්චිත සූත්‍රයක් නැත. ජාතියක හිමිකම පිළිගැනීම පවා සිදු වී තිබෙන්නේ ජාතික අරගලයන්ගේ තත්වය මත ය.

එහෙව් තත්වයක් තිබියදී අප ද ජාතීන්ගේ ප්‍රශ්නය ගැන සලකා බැලිය යුත්තේ වර්තමාන තත්වයන්ට සාපේක්ෂව ය. වර්තමාන තත්වයන් කිසි සේත් ම කොටි සංවිධානය බලවත් ව සිටි 2009ට පෙර පැවති තත්වයන්ට සමාන වන්නේ නැත.

දෙමළ ජාතියේ ජාතික අභිලාෂයන් ද දෙමළ ජාතිය අතර වඩා බලවත් පන්තිය වන දෙමළ මධ්‍යම පන්තියේ ගොඩනැගීම් වේ. ලෝක දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ රාජ්‍යයක් ඔවුන්ට අවශ්‍ය කර තිබේ. ඒ ලෝක දෙමළ නායකත්වය ලංකාවේ යාපන දෙමළ මධ්‍යම පන්තිය අත තබා ගනිමිනි. විසුවනාදන් රුද්‍රකුමාරන් අගමැති වෙමින් පිහිටුවන ලද දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුවෙහි මූලික අරමුණ එයයි. එහෙත්, එය විශාල දෙමළ ස්වදේශික ප්‍රජාවන් ජීවත් වන තමිල්නාඩුව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල පඩයක් තරමට හෝ ගණන් ගැනෙන්නේ නැත.

සාමාන්‍ය සිංහල හෝ දෙමළ හෝ මිනිසුන්ට දෘෂ්ටිවාදයන්ට වඩා වැදගත් වන්නේ ආර්ථික සුරක්ෂිතභාවය, සතුට, නිරෝගීකම වැනි දේවල් ය. එහෙත්, දේශපාලනය යනු මැනිපියුලේට් කිරීමක් හෙවත් පොදු ජනතාව කිසියම් සමාජ කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් කඩේ යවා ගැනීමකි. ජනතාවගේ දේශපාලන ප්‍රකාශනය වන්නේ දේශපාලකයන්ගේ උවමනා ය. එහෙම නැතුව ජනතාවට තමන්ගේ ම කියලා හඩක් නැත.

ඩයස්පෝරා දෙමළ ජනයාගේ සත්‍ය උවමනාවන් වන්නේ ඊනියා දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුවෙහි උවමනා නො වේ. එසේම, ලංකාවේ දෙමළ ජනතාවගේ උවමනාවන් වන්නේ ද සිවාජිලිංගම් හෝ විග්නේශ්වරන් හෝ වැනි අන්තවාදීන්ගේ උවමනාවන් නො වේ.

මෙම කාරණය මේ අන්දමින් ම දකුණට ද අදාළ ය. ලංකාවේ සිංහලයන්ගේ සැබෑ උවමනාවන් වන්නේ අන්තවාදී මහණුන්ගේ හෝ මහනායකයන්ගේ හෝ මහින්ද රාජපක්ෂ කල්ලියේ හෝ උවමනා එපාකම් නො වේ.

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, ලංකාවේ පොදු ජනතාවට ඇත්තට ම උවමනා ප්‍රමුඛතම අවශ්‍යතා වන්නේ මා කලින් ද කී ආර්ථික සුරක්ෂිතභාවය, සතුට, නිරෝගීකම වැනි දේ ය.

විසඳිය නො හැකි ජාතික ප්‍රශ්නයක එල්ලෙනවාට වඩා මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමු විය යුත්තේ ආර්ථිකය වෙතයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට වඩා මේ මොහොතේ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයි. ජන ජීවිත සුරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒවා අත්‍යවශ්‍ය ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "කුඩා සහ ඵලදායී රජයක් විසින් නියාමනය කරන ලද වෙළඳ පොළ ආර්ථිකය ලංකාවට ඉදිරියට යාමට ඇති එකම මාර්ගය බවයි...."
    1) බැඳුම්කර මගඩිය
    2) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බදු ගොඩනැගිලි වංචාව
    3) මහනුවර අධිවේගී මාර්ග වංචා
    යහපාලනයෙන් මේවා ඇහෙනකොට "නියාමනය" නොකෙරෙන වෙදකමක්ද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක දේශපාලකයන්ගෙ වරදක් මිසක් රජයේ වරදක් නෙමෙයි.

      Delete
  2. ආව් ආව් පැරාගෙ දැන ධනපති පංති ලක්ෂන පහල වීගෙන එනවා.
    පෙනේද හුරතල් බඩ ගෙඩිය.
    ඔන්න ඔය සමාජවාදේ පැත්ටකට දාල, පොඩ්ඩක් ශරීර සවුක්‍ය ගැන හිතුවනම් නරකද.

    ReplyDelete
  3. //

    සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, ලංකාවේ පොදු ජනතාවට ඇත්තට ම උවමනා ප්‍රමුඛතම අවශ්‍යතා වන්නේ මා කලින් ද කී ආර්ථික සුරක්ෂිතභාවය, සතුට, නිරෝගීකම වැනි දේ ය.

    //

    ඔන්න ඕක තමයි පැරා මම එදා ඉදන්ම කිව්වේ, හැබැයි ඔබට දැන් තමයි තේරිලා තියන්නේ, මෙරටේ සිංහල වීම හෝ දෙමල වීම නිසා පරිපාලනමය වශයෙන් විශාල අසාදාරනයක් වෙලා නෑ.

    මෙතන තියෙන්නේ සිංහල දෙමල මුස්ලිම් කියන ජාති තුනෙමේ ඉන්න දිළින්දන් ජාතිවාදයෙන් තොරව දැඩි ලෙස පිඩාවකට පත්කර තිබෙනවා පවතින ක්‍රමය විසින් මෙයයි නැතිකළ යුත්තේ.

    නමුත් මේ ජාති තුනේම නායකයන් කරන්නේ තමන්ගේ බලය වැඩිකර ගැනීමට මේ දිලින්දන්ව කඩේ යැවීමයි.

    ඇත්තටම රටේ තිබෙන අධිකරණ සේවා පොලිස් සේවා පුද්ගලයෙකුගේ ජාතිකත්වය මත අසාදාරනයක් කරනවානම් එයයි අපි වලක්වන්න ඕනේ,

    මේ බලන්න පැරා ලෝකයේ දියුණුම රට කියන ඇමරිකා එක්සත්ජනපදයේ කළු ජාතිකයක් වූ නිසාම වසර 30 දඩුවම් ලබපු මිනිසෙක් ගැන
    https://www.youtube.com/watch?v=apd7FKRQr54

    මෙහිදී ඔහු අත්අඩංගුවට ගන්න මොහොතේ ඔහුට සුදු ජාතික ආරක්ෂක නිලදාරීන් කියන්නේ ඔබ කළු ජාතිකයෙක් වීම අපරාධ කරුවකු වීමට ප්‍රමාණවත් බවයි https://www.youtube.com/watch?v=CF-tQAtcPZ8

    ඔබ අවන්කවම හිතන්න මෙහෙම දේවල් කියක් ශ්‍රී ලංකාවේ වෙලා තියනවද ?

    ReplyDelete
  4. ලෙනින්, ට්‍රොට්ස්කි, රෝසා ලක්සම්බර්ග් වැනි අය ජාතීන් ගේ ස්ව්‍යං නිර්ණ හිමිකම ගැන ලියා ඇති දේ අජිත් පැරකුම් ජයසිංහ විසින් කියවා ඇති බවත්, ඔහුට ඒවා තේරෙන බවත්, සෑම දෙනාම මෙයින් දැන ගත යුතුය.

    මෙම බ්ලොගයේ දකුණු අත තීරුවේ දක්වා ඇති අජිත් පැරකුම් ජයසිංහ ගේ රුවන් වැකි ලැයිස්තුවේ ඇති මාර්ක්ස්වාදය සහ සමාජවාදය යනු එකක් නොව දෙකක් ය යන්න දැනට වසර තිහකට පමණ පෙර නලින් ද සිල්වා විසින් මෙරට පතුරුවමින් සිටි අදහසකි. ඔහු නසසපයෙන් අසවී ටික කලකට පසු මාර්ක්ස්වාදී නොවන සමාජවාදයක් ගැන දිවයින බදාදා අතිරේකයට ලිපි පෙළක් ලියුවේය. මාර්ක්ස්වාදී නොවන සමාජවාදය යනු මොන හතරවරම් ගැහැව්වත් අවසාන විග්‍රහයේ දී ධනවාදය ම ය. මෙරට ප්‍රධානම පංතිය මධ්‍යම පංතිය ය යන අදහස ගුණදාස අමරසේකර ගෙන් ලබා ගත් අජිත් පැරකුම් ජයසිංහ දැන් නලින් ද සිල්වා ගෙන් ලබා ගෙන ඇත්තේ මාර්ක්ස්වාදය සහ සමාජවාදය යනු එකක් නොව දෙකක් ය යන අදහසයි. අජිත් පැරකුම් ජයසිංහ නතර වෙන්න යන්නේ කොතනින්ද යන්න පැහැදිලිය.

    ReplyDelete
  5. විග්නේශ්වරන් අන්තවාදීයෙක්ද ?

    -Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා