සයිටම් වසා නො දැමිය යුත්තේ ඇයි?

රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් දැන් අවුරුද්දක පමණ සිට පන්ති වර්ජනයේ බව කියනු ලැබේ. එහෙත්, පසුගියදා මහා ශිෂ්‍ය සංගමය විසින් විද්‍යා පීඨ සිසුන්ට එරෙහිව මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය නිසා කැලනිය විශ්වවිද්‍යාලය වසන බවට උප කුලපතිවරයා විසින් කරන ලද නිවේදනය අනුව, වෛද්‍ය පීඨ සිසුන් හැර සෙසු සියලු අභ්‍යන්තර සිසුන්ට විශ්වවිද්‍යාලය වසන ලදී. පන්ති වර්ජනය කර සිටින සිසුන්ට විශ්වවිද්‍යාල නො වසන්නේ ඇයි?

ඇත්ත පන්ති වර්ජනයක් සිදු නො වීම හොඳ තත්වයකි. මහජන මුදලින් වෛද්‍ය පීඨ නඩත්තු කරන්නේ එයට තේරෙන සිසුන් හරියට ඉගෙන ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එය හරියට නො කරන අමනයන් මේ රටේ බදු ගෙවන ජනතාවට කරන්නේ වංචාවකි.

වෛද්‍ය සිසුන්ටත්, ඔවුන් උසිගන්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටත්, සිසුන් ගොනාට අන්දා රටේ සාමය කඩාකප්පල් කිරීමට මාන බලන පසුගාමී දේශපාලන බලවේගවලටත් මූලික සටන් පාඨය වී තිබෙන්නේ සයිටම් විශ්වවිද්‍යාලය වසනු යන්නයි.

සයිටම් වසා නො දමන බව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා නැවතත් අවධාරණය කළේ ය. ඉතා පැහැදිලිව ම එය නො කළ යුතු දෙයකි. එය බරපතල දේශපාලන ආර්ථික ප්‍රතිවිපාක සහිත ක්‍රියාවකි.

සයිටම් යනු ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ඇති තැනක් බවට ඇති තර්කය අපි පිළිගනිමු. එහෙත්, මෙම ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුව බොහෝ රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවලට අදාළ ය. පෞද්ගලික ව්‍යවසායක් වන සයිටම් ආරම්භ කළේ පෞද්ගලික අධ්‍යාපනය දිරිගැන්වීමේ රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියකට අනුව නම්, එහි ගුණාත්මකභාවය නැංවීම සඳහා උපකාර කිරීමේ වගකීම ද රජය සතු ය. අනෙක් පැත්තෙන් එහි ලාභ නියාමනය කිරීමට ද රජයට හැකියාවක් ඇත. 

පෞද්ගලික ව්‍යවසායන් ය කියා ව්‍යවසායකයන් පිටුදැකිය යුතු නැත. උදාහරණයක් ලෙස, MAS යනු පෞද්ගලික ව්‍යවසායක් වුව ද, එය මේ රටේ කාන්තාවන් ඇතුළු වැඩි ම පිරිසකට රැකියා සපයා තිබෙන පෞද්ගලික ආයතනය නිසා එය මේ රටේ සම්පතකි. එය රැක ගැනීම රජයේ ද වගකීමකි. වත්මන් සංදර්භය තුළ රජය යනු පෞද්ගලික අංශය මත ආධිපත්‍යය පතුරුවන ව්‍යූහයක් නොව, පෞද්ගලික අංශයට නායකත්වය දෙන ආයතනයකි. 

රටක පැවතිය යුත්තේ රාජ්‍ය සේවාවන් පමණක් ය යන්න ඉතා යල් පැන ගිය ආකල්පයකි. එය අධ්‍යාපනයට, සෞඛ්‍යයට ද අදාළ ය. රජයේ ම ගණනය කිරීම් අනුව, සෞඛ්‍යය සඳහා රටේ සිදු වන වියදම්වලින් 44%ක් ම මහජනතාව තම සාක්කුවෙන් කරන වියදම් ය. අධ්‍යාපනය වෙනුවෙන් මහජනයා තම සාක්කුවෙන් කරන වියදම් ප්‍රතිශතය මීටත් අධික විය හැකි ය. බදු ගෙවන ජනතාව අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනුවෙන් දෙවරක් නො ගෙවිය යුතු බවට තර්ක කරන අය මේ කරුණු දන්නවා ද? මහජනතාව ගෙවන බදුවලට සිදු වන්නේ කුමක් ද? එයින් විශාල ප්‍රමාණයක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප්වලට ය. සෞඛ්‍යය සම්බන්ධයෙන් ගතහොත්, දොස්තරලා ප්‍රධාන රජයේ සේවකයන් තමන් ගන්නා වැටුපට සාධාරණ සේවයක් මහජනතාවට ලබා දෙනවා ද? මහජනතාව කරන මෙම වියදම් වෙනුවෙන් ඔවුන්ට උසස් සේවාවන් ලැබෙන බවට තහවුරු කිරීමේ වගකීමක් රජයට තිබේ. 

දේශපාලන අරමුණු සහිත ආණ්ඩුවක පාලනයට යටත් රජයට වඩා එවැනි අරමුණුවලින් තොර ස්වාධීන ආයතන තිබීම හොඳ ය. එහෙත්, ලංකාවේ රාජ්‍ය ආර්ථිකය විසින් අධ්‍යාපනය හා සම්බන්ධ ස්වාධීන ආයතන විනාශ කර දමන ලදී. ඊනියා සමාජවාදය විසින් සමුපකාර ව්‍යාපාරය පවා විවිධ සේවා සමුපකාර සමිති නමින් රාජ්‍ය බලපෑමට යටත් කළ රටක ස්වාධීන විශ්වවිද්‍යාල බිහි කිරීම අභියෝගයකි.

මෙවැනි ප්‍රයත්නයක් වෙනුවෙන් මුලපිරීමක් හෝ කිරීමට එඩිතරකමක් තිබුණේ මහාචාර්ය සුචරිත ගම්ලත්ට පමණි. එහෙත්, එම සංකල්පය වෙනත් පිරිස් අත බාහිර උපාධි කඩයක තත්වයට පිරිහිණි. එවැනි දෙයක් කිරීමට එඩිතරකමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෝ නැත. 

පෞද්ගලික ව්‍යවසායකයන් යනු අපරාධකරුවන් පිරිසක් ලෙස සැලකීමේ මානසිකත්වය එක පැත්තකින් වාමාංශිකයන් විසින් ඇති කර තිබෙන එකකි. අනෙක් පැත්තෙන්, ලංකාවේ ධනපති පන්තිය ගොඩනැගෙන ප්‍රධාන ක්‍රමය වන්නේ රජයේ මුදල් සොරකම් කිරීම හා වෙනත් වංචා හා දූෂණයි. එබැවින් ධනපති පන්තිය යනු සොරුන් පිරිසකැයි සිතීමෙහි අසාධාරණයක් ද නැත. ඒ අතර එසේ සිතන පිරිස කවුරු ද? ලංකාවේ මහජනතාව පිරිසිදු පිරිසක් ද? ඔවුන් ද සොරුන් නො වේ යයි කියන්නේ කෙසේ ද? පාරට බැස්ස විට නීතියක් නො තකන, අල්ලස් ගන්නා හා දෙන, දේශපාලක සොරුන්ට වන්දනාමාන කරන, චෞර නිලධාරීන් ආරක්ෂා කරන ලංකාවේ මහජනතාව ද සාන්ත දාන්ත තීන්ත කූඩු නො වේ.

නෙවිල් ප්‍රනාන්දු සොරෙකු ද නැද්ද යන්න සොයන්නට අපට විශේෂ උවමනාවක් නැත. ඔහු මහත්මයකු නම් නො වන බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. ඔහු වනාහි දේශපාලනය කළ, මහමග රණ්ඩු සරුවල් කර ගන්නා සාමාන්‍ය ලාංකිකයෙකි. කෙසේ වෙතත්, ඔහු අභියෝගාත්මක ව්‍යවසායකයෙකි. ඔහු රැක ගැනීම ඔහු වැනි වෙනත් අයගේ විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වේ.

නෙවිල් ප්‍රනාන්දුට හා සයිටම් ආයතනයට සොර චෝදනාව නගන දොස්තරලා කීදෙනෙකුට තමන් රජයේ රෝහලේ වැඩ කරන සත්‍ය කාලය හා තමන් විසින් ම පුරවන දිනපොතකින් ලබා ගන්නා අතිකාල ආදිය පිළිබඳ විමර්ශනයකට මුහුණ දෙන්නට පුළුවන් ද? එතැන ඇත්තේ මහජන මුදල් මහ දවල් මංකොල්ලකෑමක් නො වේ ද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලලිත් කොතලාවල විනාශ කළේ ය. දඬුවම් මුදලාලි මරා දැම්මේ ය. සියලු තැන්පත්කරුවන් එකවර සිය මුදල් ආපසු ලබා ගන්නට ආවොත් කඩා නො වැටෙන කිසිදු බැංකුවක්, මුල්‍ය ආයතනයක් ලංකාවේ නැත. ව්‍යවසායකයන් ක්‍රියාත්මක වන්නේ ණය රෝලක් ඇතුළේ ය. ඔවුන් විනාශ කිරීමෙන් රටේ ආර්ථිකයට ද දැඩි හානියක් සිදු වේ. එය පුද්ගලයකු විනාශ කිරීමෙන් ලබන සන්තුෂ්ටියට වඩා වැඩි දෙයකි.

ටිරාන් අලස් යනු රාජපක්ෂලා විසින් දේශපාලන හේතු මත විනාශ කරන්නට උත්සාහ කළ තවත් ව්‍යවසායකයෙකි. ඔහුගේ පුවත්පත් සමාගම වරක් සම්පූර්ණයෙන් ම බිඳ දමන ලදී. අවසානයේදී එය වසා දමන්නට ද සිදු විය.

ලොකුවිතාන, ධම්මික පෙරේරා වැනි අය ළඟ තිබෙන්නේ රාජපක්ෂලාගේ සල්ලි බව බොහෝ දෙනා කියති. එහෙත්, වර්තමාන ආණ්ඩුව ඔවුන් විනාශ කරනවා වෙනුවට ඔවුන්ගේ මුදල් ආයෝජනය කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා දුන්නේ ය. එය බුද්ධිමත් පියවරකි. 

ව්‍යවසායකයන් විනාශ කිරීම රජයේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තියට කිසි සේත් ම අනුකූල නැත. වෙනත් කිසිවකුට මෙම ප්‍රතිපත්තියට විකල්ප ද නැත. ලංකාවට ඉදිරියට යන්නට හැක්කේ පෞද්ගලික අංශය සමග සම්බන්ධ වෙමින් පමණි. එහි කිසිදු වරදක් නැත.

ලංකාවට හොඳ නායකයන්, හොඳ දේශපාලකයන්, හොඳ නඩුකාරයන්, හොඳ රාජ්‍ය නිලධාරීන්, හොඳ ව්‍යවසායකයන් පමණක් නොව, හොඳ ජනතාවක් ද නැත. ලංකාව ඉදිරියට යා යුත්තේ ඉන්න තැන සිට ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //හොඳ ජනතාවක් ද නැත. //
    why did it come to this? any answers?

    ReplyDelete
    Replies
    1. People of this country are equally corupt like poliricians. The change begins from them.

      Delete
    2. Para,

      his question is "why did it come to this? any answers?" how did the people became so corrupt?

      Delete
    3. සයිටම් කියන්නේ පටන්ගනිමෙන්ම වංචාවක් කල ආයතනයක් නෙවිල් ප්‍රනාන්දු කියන්නේ ගේම කාරයෙක්, නමුත් මේ කාරණය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වියයුතු නෑ, මම එකගයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිවෙනවට, ඔබ ප්‍රංශය ගන්න එරටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා පුද්ගලික රෝහල් තියෙනවා ඕනෑම ප්‍රංශ පුරවැසියෙකුට අසනීපයක් උනොත් නොමිලේ බෙහෙත් ලැබෙනවා (පාර අතුගෑවත් ) මෙවැනි ක්‍රමයක් ඔවුන් නඩත්තු කරන්නේ රටේ සියලුම වැඩකරන මිනිසුන් ගෙන්ම 40% පමණ උපයන ආදායමෙන් බද්දක් ගසන නිසයි මේකයි තත්ත ඇත්ත.

      අපේ රටේ වක්‍ර බදු මගින් මේවා නඩත්තු වෙනවා කියන්නේ මුළු රටම දුවවන්නේ දුප්පතුන් කියල, තව විදියකින් කියනවනම් පෝසතුන් බදු ගෙවන්නේ නෑ. අපිට ඕනේ බදු නොගෙවා මෙවැනි සේවයක් ලබාගන්නයි.

      Delete
    4. most of them are selfish.They vote for money, arrack,promotion,transfer,job, etc.

      Delete
    5. ලංකාවේ ජනතාව දූෂිත වීමට හේතු රැසක් තිබේ. මූලික වශයෙන් ම නායකයන් දූෂිතයන් වීම හා වාමාංශික පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද සමාජවාදී අදහස් හේතුවෙන් යම් ක්‍රම විරෝධීභාවයක් උරුම කර ගැනීම මෙයට හේතු ලෙස සැලකිය හැකි ය.

      Delete
  2. Great article uncle para. Not all the state university people are against SAITM. The hypocrisy of GMOA should be ended.

    ReplyDelete
  3. පැරා අර සාරස ගොයියට මොකද උනේ කියල කියන්නකො තරහ නැතුව.
    දන්නෙ නෑ කියල නම් කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. කියන්න එපා කිව්වට කරන්න දෙයක් නැහැ. මං දන්නෙ නැහැ.

      Delete
    2. හරිම සර්ප්රයිස් එක කියන්නේ අර්ජුන්ලාට කෙලෙවෙන්න අරන් ගත්ත පත්තර වලටත් සල්ලි නොගෙවා පොල්ල තියන්න පටන් ගත කාලෙමයි සරසත් නැවතුනේ,අන්බිලිවබ්ල් කොඉන්සිඩ්න්ට් එකක් තමයි.

      Delete
  4. "මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලලිත් කොතලාවල විනාශ කළේ ය. දඬුවම් මුදලාලි මරා දැම්මේ ය. සියලු තැන්පත්කරුවන් එකවර සිය මුදල් ආපසු ලබා ගන්නට ආවොත් කඩා නො වැටෙන කිසිදු බැංකුවක්, මුල්‍ය ආයතනයක් ලංකාවේ නැත. "

    උබ බබා.....

    තැමපතු කාරයො 1500/- කට අඩු ගානකට ගෙවන එක කරගන්න බැරි තරමට ගෝල්ඩන් කී වැටුනේ මොකද ? මිනිස්සුන්ගෙ සල්ලි අරගෙන කොතලාවලගෙ කල්ලිය මොකද කලේ, කොහේද ආයොජනය කලේ කියල අදටත් දන්නේ නැ.

    ReplyDelete
  5. මේවා හොඳයි england වගෙ රටවල් වලට saitm වගෙ ඒවා තව dammoth වෙන්නේ මිනිස්සු මැරෙන eka විතරයි.india වගෙ economic and social සංස්කෘතිකාංගයක් ලංකාවේ තියෙන්නේ.හොර doctors la edei ambanekata

    ReplyDelete
  6. සුදුසුකම්, දක්ෂතා සහ අවශ්‍යතාව ඇති දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දිමට රජයට ප්‍රතිපාදන නොමැති නම්, පෞද්ගලික වියදමින් හො එම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීම රජයේ ද වගකීමකි.

    ReplyDelete
  7. සයිටම් යන්න හිටි අය වැඩේ අතහැර දායිද? රට යයිද? රට ගියොත් ලංකාවේ සල්ලි කොපමණක් පිටරටට ඇදෙයිද? වාසිය කාටද? අඩුපාඩු හදවා ඉන්දියාවට, නේපාලයට,චීනයට,රුසියාවට ඇදෙන විදේශ සිසුන් ද ටික දෙනෙක් මෙහාට ගෙන්වා ගැනීමට උත්සහ කීරීම නේද කළයුතු දෙය?

    ReplyDelete
  8. There are no good leaders in Sri lanka,no good politicians,no good judges, no good public servants,no good businessmen and even no good citizens but there good block writers. They are perfect in every aspect.They measure and value what they have done for the progress of the country or society

    ReplyDelete
  9. වැදගත් වගේම කාලෝචිත, සංවාදයට බඳුන් විය යුතු මාතෘකාවක්. නමුත් එකඟ විය නොහැකි කරුණු කීපයක් තියනවා.

    //පන්ති වර්ජනය කර සිටින සිසුන්ට විශ්වවිද්‍යාල නො වසන්නේ ඇයි?//
    මීට හේතු කීපයක් තියනවා. එකක් මේ පන්ති වර්ජනය නිසා ආණ්ඩුව දෙපැත්තකින් හිර වෙනවා. එක පැත්තකින් ලබන වසර සඳහා සීමාවාසික වෛද්‍යවරු නැති වීම. අනෙක් පැත්තෙන් නවක සිසුන් ඇතුළත් කිරීමට නොහැකි වීම. ඒ නිසා ආන්ඩුවට සිසුන් නැවත ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යයි. වෛද්‍යපීඨ වැසුවොත් ඒ අරමුණ තවත් ආන්ඩුවෙන් ඈතට යනවා.
    අනිත් කාරනාව වෛද්‍යපීඨ වල සිසුන්ට ඉගැන්වීම හැරුණුකොට වෙනත් කාර්යයන් රැසක් වෙනවා. විවිධ අධ්‍යයන කටයුතු, පර්⁣යේෂණ, සමීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ සහ මහාචාර්ය ඒකක වල නම් රෝගීන්ට ප්‍රතිකාර වගේ කටයුතු.

    //මහජන මුදලින් වෛද්‍ය පීඨ නඩත්තු කරන්නේ එයට තේරෙන සිසුන් හරියට ඉගෙන ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එය හරියට නො කරන අමනයන් මේ රටේ බදු ගෙවන ජනතාවට කරන්නේ වංචාවකි.// 
    මෙය සිදුවන ආකාරය පුලුවන් නම් පැහැදිලි කරන්න.

    //සයිටම් වසා නො දමන බව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා නැවතත් අවධාරණය කළේ ය.//
    කටින් කියන්නෙ එසේ වුවද මේ වනවිට සයිටම් ආයතනයේම මහාචාර්යවරු තම දරැවන් ඉවත් කරගෙන අවසන්ය. රාජිතද ලේලිය ඉවත් කරගෙන අවසන්ය. ඉතිරි සිසුන් හා දෙමාපියන් රජයේ පීඨාධිපතිවරුන්ගෙ යෝජනා පිලිගන්නට බල කරමින් රජයේ සිසුන් හා දෙමාපියන් සමග එක්ව අවසන්ය. ප්‍රශ්නය වෙන්නෙ ඇත්තටම මේ ආයතනය නියාමනය කිරීමට වත් උත්සාහ නොකර ඒකපාක්ෂිකව ( නෙවිල් ප්‍රනාන්දු පාර්ශවිකව) මෙම ගැටලුව විසඳීමට ආන්ඩුවට ඇති උවමනාවයි.

    //ඉතා පැහැදිලිව ම එය නො කළ යුතු දෙයකි. (අහෝසි කිරීම) එය බරපතල දේශපාලන ආර්ථික ප්‍රතිවිපාක සහිත ක්‍රියාවකි.// 
    කිරීම කෙසේ වෙතත් නොකිරීම බරපතල විපාක ගෙන දී අවසන්. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය තුලින් ඔබ පවසන පරිදි සෞඛ්‍ය කේෂ්ත්‍රය සෞභාග්‍යයට පත්වූ රටකට උදාහරණයක් දෙන්න. විනාශයට ගිය රටවල් වලට උදාහරන නම් ලඟම තියනවා.

    //සයිටම් යනු ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ඇති තැනක් බවට ඇති තර්කය අපි පිළිගනිමු. //
    වැදගත් .....
    //මෙම ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුව බොහෝ රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවලට අදාළ ය. //
    පැහැදිලිවම... ගැටලුව වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල අඩුපාඩු විසඳීමේදී ආන්ඩුවට සයිටම්හි ගුණාත්මක බව වැඩි කිරීමට ඇති උවමනාව නොමැති වීමයි. යාපනය, රජරට, මඩකලපුව වෛද්‍ය පීඨ වල සේවයේදී ඇති ගැටලු විසඳා ගැනීමට ආචාර්යවරුන් පැවති මෙන්ම වර්තමාන ආන්ඩුව සමග කරන සාකච්ඡා මීට කදිම උදාහරණයක්.

    //එහි ගුණාත්මකභාවය නැංවීම සඳහා උපකාර කිරීමේ වගකීම ද රජය සතු ය. //
    හෙට තවත් කවුරුහරි මටත් පෞද්ගලික වෛද්‍යපීඨයක් තියනවා. ආන්ඩුව ගානෙ මේකෙ ගුණාත්මක බව වැඩි කරලා දෙන්න කිව්වොත් එදාටත් ඔබේ පිලිතුර මෙයම වෙතැයි හිතනවා.

    //එහි ලාභ නියාමනය කිරීමට ද රජයට හැකියාවක් ඇත.//
    එයට හැකියාවක් නැත. උවමනාවක්ද නැත. ඊට උදාහරන ඕනෑතරම් පහුගිය කාලෙ දැක්කා

    //සෞඛ්‍යය සඳහා රටේ සිදු වන වියදම්වලින් 44%ක් ම මහජනතාව තම සාක්කුවෙන් කරන වියදම් ය. //
    මේක කන්න ඕනෙ වෙලාවට තල⁣ගොයා වෙන කබරයෙක්. රජයට තමන්ගෙ වියදමත් අඩු කරගෙන පෞද්ගලික අංශයෙන් ශුද්ධ බදු ආදායමක් ගද්දි මේක හොඳ ඉලක්කමක්. සෞඛ්‍ය වෘත්තිකයන් එක්ක ආන්ඩුව හැප්පෙද්දි මේක සෞඛ්‍ය වෘත්තිකයන්ගෙ ගුණාත්මක බාවයෙ අඩුවක් නිසා වෙන දෙයක් සහ නරක ඉලක්කමක් . එතනදි ආන්ඩුව අමතක කරනවා භෞතික හා මානව සම්පත් වැඩි දියුනු කිරීමට ඇති ඔවුන්ගේ කාර්ය භාරය. ඒ කියන්නෙ මෙම 44% අගය අනියමාර්තයෙන් පවත්වාගෙන යන්නෙ ආන්ඩුවමයි. ඒකට සෞඛ්‍ය වෘත්තිකයන්ගෙ දායකත්වය අඩුයි.

    //දොස්තරලා ප්‍රධාන රජයේ සේවකයන් තමන් ගන්නා වැටුපට සාධාරණ සේවයක් මහජනතාවට ලබා දෙනවා ද? //
    නොදෙන අය ඉන්නවා. බහුතරය දෙනවා. හැබැයි ඒ දෙන අය දිහා බලන්න අපේ මනස හැඩ ගැහිලා නෑ. ඒවා දැක්කත් නොදැක්කා වගෙ ඉන්න අපි පුරුදු වෙලා. මේක හැම කේෂ්ත්‍රයකටම අදාලයි.
    මන් කැමතියි ඔබ එහෙම නැහැයි කියන්නෙ මොන පදනමකින්ද කියල. ඒ වගේම සයිටම් හරහා ඒ ගැටලු විසදෙන හැටිත්.

    ReplyDelete
  10. //මහජනතාව කරන මෙම වියදම් වෙනුවෙන් ඔවුන්ට උසස් සේවාවන් ලැබෙන බවට තහවුරු කිරීමේ වගකීමක් රජයට තිබේ.//
    මේක කවදාවත් නොවෙන වැඩක්. අත්දැකීමෙන් කියන්න. මේක කරන්න ගියොත් වෘත්තිකයන්ගෙ ගුණාත්මක බවේ අඩුපාඩු අභිබවා රජය විසින් ලබාදෙන පහසුකම් වල අඩුපාඩු මතු වෙනවා. ඒ තරමට අඩුපාඩු. ඒ නිසා මේ තියන තත්වයෙන් ආන්ඩුව එවැනි තහවුරු කිරීමකට යන්නෙ නෑ

    //දේශපාලන අරමුණු සහිත ආණ්ඩුවක පාලනයට යටත් රජයට වඩා එවැනි අරමුණුවලින් තොර ස්වාධීන ආයතන තිබීම හොඳ ය.//
    පැහැදිලිව හොඳයි. නමුත් සයිටම් එවැන්නක් නෙවෙයි. රජයේ විශ්වවිද්‍යාල සිසුන් මෙන් උද්ඝෝෂණ, වර්ජනය නොකලාට සයිටම් තනිකරම දේශපාලනය මත පදනම් වූආයතනයක්. වරෙක සයිටම් ආයතනයේම සිසුන් හා දෙමාපියන් චෝදනා කරා දේශපාලන බලවතුන්ගේ හා මහාචාර්යවරුන්ගෙ දරුවන්ට වංචාකාරී ලෙස පන්ති සාමාර්ථ ලබාදෙන බවට. රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන් දේශපාලනය කලත් පාලනාධිකරණය එතරම් පහත් මට්ටමකට දේශපාලනීකරනය වෙලා නෑ.

    //නෙවිල් ප්‍රනාන්දු සොරෙකු ද නැද්ද යන්න සොයන්නට අපට විශේෂ උවමනාවක් නැත. //
    ඇයි එවැනි උවමනාවක් නැත්තේ ??? ඔහු අසාධාරණ ලෙස ⁣උපයන්නෙ බහුතරයක් දෙමාපියන් සාධාරණ ලෙස ඉපයූ මුදල්. මේ මොහොත වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවරා ගැනී⁣මෙන් තොරව නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාසිකව ලබාදෙන්නෙ රටේ බදු මුදල්. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් බදු මුදල් නාස්ති වෙනවයි කියලා එක පැත්තකින් කියලා අනිත් පැත්තෙන් මේ ගැන හොයන්න උවමනාවක් නැත්තෙ ඇයි???

    //ඔහු අභියෝගාත්මක ව්‍යවසායකයෙකි. ඔහු රැක ගැනීම ඔහු වැනි වෙනත් අයගේ විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වේ.//
    ආර්ථික විද්‍යාව සම්බන්ධව මාගේ ප්‍රාථමික දැනුට අනුව ව්‍යවසායකයා ජනතාව/ පාරිභෝගිකයා තෘප්තිමත් වන යමක් දිය යුතුයි.(මා වැරදි වෙන්න පුලුවන්) ඇත්තටම මෙතන එහෙම දෙයක් වෙනවද? අධ්‍යාපනය ලබන සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් පවා තෘප්තිමත් නැති කොට. මෑතකදී ඔවුන් නීතිමය පියවර වලට පවා ගියා ⁣අවසන් වසර සිසුන්ට නියමිත පුහුණුව නොදී අවසන් වසර විභාගය පවත්වනවා යැයි කියමින්.

    //නෙවිල් ප්‍රනාන්දුට හා සයිටම් ආයතනයට සොර චෝදනාව නගන දොස්තරලා කීදෙනෙකුට තමන් රජයේ රෝහලේ වැඩ කරන සත්‍ය කාලය හා තමන් විසින් ම පුරවන දිනපොතකින් ලබා ගන්නා අතිකාල ආදිය පිළිබඳ විමර්ශනයකට මුහුණ දෙන්නට පුළුවන් ද? එතැන ඇත්තේ මහජන මුදල් මහ දවල් මංකොල්ලකෑමක් නො වේ ද?//
    පැහැදිලිවම මංකොල්ල කෑමක්. හැබැයි ඒක සයිටම් ආයතනයට ඇති සොර චෝදනාව ඉවත් කිරීමට හේතුවක් නෙවෙයි.

    //ලොකුවිතාන, ධම්මික පෙරේරා වැනි අය ළඟ තිබෙන්නේ රාජපක්ෂලාගේ සල්ලි බව බොහෝ දෙනා කියති. එහෙත්, වර්තමාන ආණ්ඩුව ඔවුන් විනාශ කරනවා වෙනුවට ඔවුන්ගේ මුදල් ආයෝජනය කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා දුන්නේ ය//
    මෙය ආයෝජකයන් ප්‍රවර්ධනය කිරීමක් ලෙස දැකීම බොලඳ කමකි. මෙහි ඇත්තේ රාජපක්ෂට දැක්වූ අනුග්‍රහය තමන්ටද දක්වනවාද නැද්ද යන සරල කාරනාව මත ආයෝජකයන්ගෙ අනාගතය තීරණය වීමක් පමනයි. මෙහිදී මම වැරදියි වෙන්නත් පුලුවන්. මොකද දේශපාලනය ගැන ඔබට තරම් මට අත්දැකීම් නෑ පැරා.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සෞඛ්‍ය කේෂ්ත්‍රය වගේම වෛද්‍ය වෘත්තීයත් පරිහානියට යන යුගයක් මේක. ඒකට කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනෙ. හැබයි සයිටම් කියන්නෙ ගැටලු උග්‍රකරවන දෙයක් මිස ඒ එකකටවත් පිලියමක් නෙවයි. පිලියමක් කියලා කියනවා නම් ඒ කොහොමද කියලා පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    ව්‍යවසායකයන් රටකට අවශ්‍යයි. නමුත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය තුලින් ඒ අරමුණු ඉටු කරගන්න ගිහින් රටට ආදායමක් අරගෙන සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ගුණාත්මක බවත් වැඩි දියුනු කර ගත්ත රටවලට උදාහරන දෙන්න. එහෙම නොවුන රටවලට උදාහරන නම් ලංකාවට උඩින් කීපයක්ම තියනවා. රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන ලෝකයේ ඉහලම සෞඛ්‍ය සේවාවක් සහිත රටවල්ද තියනවා.

    ReplyDelete
  11. Para oyata thiyenne wanashika paksha samaga prashnayak bawai matanam therenne education its the right eka privet hari govenment hari kohoma unath hamotama eka vidiyatama labenna ona sitam wage ewa ethena thiyanawada kiyana ekai gataluwa

    ReplyDelete
  12. Really Ajith..oyage katawa hariyatama hari. Ape rate minissu hemawelema hithanne aduwen weda karala wediyen padi ganna eka gena witharai. Anduwe office wala thathwe anthimai. Gunathmaka sewayak kiyala board gahala thibunata, sewaye kisima gunathmaka bawak nehe. Minihek wedak karaganna giyahama e ayage winodaya nethi karanna apu hathurek diha balanawa wage thamai minissu diha balanne. Eththatama me ratahadanna ona nam binduwe indan patan ganna onamai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා