මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද?

ලංකාවේ මේ මොහොතේ දේශපාලන සංවාදය තුළ අවධානයට ලක් වී තිබෙන ප්‍රධාන කාරණා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න බැඳුම්කර කොමිෂමයි. දෙවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

බැඳුම්කර කොමිෂම යනු යහපාලනය පිළිබඳ වර්තමාන ආණ්ඩුව හා විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන මේ රටේ ජනතාව විසින් තබන ලද විශ්වාසයේ මිනී පෙට්ටියයි. ඉතිරිව ඇත්තේ නඩු විභාගයක් හරහා පෙට්ටියට ඇණ ගැසීම හා ආදාහනය පමණි.

එවන් ආණ්ඩුවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවක් කළමනාකරණය කර ගත නො හැකි ය. හේතුව අන් කිසිවක් නොව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි ගැඹුරු සමාජ පරිවර්තනයක් සිදු කිරීමට අත ගසන නායකත්වයකට ප්‍රබල මහජන විශ්වාසයක් තිබිය යුතු වීමයි. වර්තමාන ආණ්ඩුවට එවැන්නක් නැත. එය ගොඩනගා ගැනීමට බැරි වීමට ප්‍ර‍ධාන හේතුව බැඳුම්කර ප්‍ර‍ශ්නයයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් දිනා ගැනීම සඳහා උප්පරවැට්ටියක් දමා ගත හැකි වීම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ප්‍රමාණවත් නො වේ.

ලංකාවේ අලුත් ව්‍යවස්ථා ගෙන ආ 1972 හෝ 1978 අවුරුදු සලකා බලන විට පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ ඒ ඒ වකවානුවල පැවති ආණ්ඩු බලවත් හා ජනප්‍රිය තත්වයන්ගෙන් පැවති බවයි.

වසර 1978දී හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බවට ප්‍රබල මතයක් සිවිල් සමාජය තුළ ඇති බව සැබෑ ය. එහෙත්, ඒ වනාහි බෙදුණු අදහසකි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර 1972ට කලින් පැවති විධායක අගමැති ක්‍රමය හඳුන්වා දීමෙන් ලංකාවේ ප්‍රශ්න විසඳේ යයි සිතීම මුලාවකි. කවුරු කොහොම කීවත්, ලංකාව නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හතෙන් හතරක් ම අප ජීවත් වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ය. ජාතික ප්‍රශ්නය ගැඹුරු වී, තිස් අවුරුදු යුද්ධයක් සිදු වූයේ ද, ඒ යුද්ධය අවසන් වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය තුළයි.

ලංකාවට නව ආණ්ඩුක්‍ර‍මයක් අවශ්‍ය බව ඇත්ත ය. එහෙත්, අවශ්‍ය කුමන ආකාරයේ ආණ්ඩුක්‍ර‍මයක් ද යන්න පිළිබඳ සමාජයේ එකඟතාවන් අවම ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාව දිගට පවත්වාගෙන යාම ඉතා වැදගත් ය. එහෙත්, නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් ගෙන ඒම හදිසියේ කළ යුතු නො වේ. හේතුව අන් කිසිවක් නොව, පටු අරමුණු සහිත ආණ්ඩු විරෝධීන්ට එය පනින රිලවුන්ට බඳින ඉණිමගක් වන හෙයිනි. ආණ්ඩුව කොයි තරම් ප්‍ර‍ජාතාන්ත්‍රික ස්වරූපයෙන්, පොදු සහභාගිත්වයෙන් මෙම ක්‍රියාවලිය ගොඩනැගුවත්, ඒකාබද්ධ විපක්ෂය වැනි වල් සතුන් දැන් එයින් පිට පැන හමාර ය. ඔවුන් අල්ලා බැඳ ගැනීම කෙසේ වත් කළ නො හැකි ය. එහෙත්, ප්‍ර‍ශ්නය එය නො වේ. ඔවුන්ට පහසුවෙන් මෙහෙයවා ගත හැකි බලවත් ප්‍ර‍තිගාමිත්වයන් රැසක් සමාජයේ පැවතීමයි. ඒ ප්‍ර‍තිගාමීන් දැනටමත් කතා කිරීමට පටන් ගෙන තිබේ.

අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයකටත් වඩා මේ රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගනු ලබන පියවරයි. ආර්ථික ස්ථාවරත්වය සමාජ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය ය. අලුත් ආණ්ඩුක්‍ර‍මයක් ගැන තීරණාත්මක පියවර ගත හැක්කේ එවිට ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එක්තරා විදේශ තානාපති කෙනෙක් කියූ කථාවක්.

    මහින්දට ඊලම වුණත් සිංහල මිනිසුන්ට 'විකුණන්න' පුළුවන් රනිල්ට පළාත් සභා ක්‍රමයක් වත් විකුණන්නන් බැහැ.

    ReplyDelete
  2. ගැහැණියක් සොරකම් කරන්නී
    අඹ ගෙඩි තුනක්
    නැති බැරි කමට
    හා හා හොරකමක්
    දිය යුතුය දඬුවමක්
    යා යුතුය ඈ
    සපිරි ගෙට

    බාල් නටන මිනිහෙක්
    ඇඹනිය සමග
    ඌ හොරෙකි
    මුළු රටම දන්නා
    සුවිසල් නිවසකය ඉන්නා
    වැඩක් වැරදුන තැන
    Dimentia වෙන් පෙළෙන්නා

    I don't know මචං
    I can't remember.

    ReplyDelete
  3. පූජිතගේ පොටෝඑක කවරයෙ නැතිලූ
    ඒකට ඌට උගෙ මල පැනලා ඇතිලූ
    සහනාධාර බෙදුමට ඉන් බාධයි ලූ
    යහපාලනය ගං වතුරේ යයි යාලූ

    ReplyDelete
  4. චන්ද්‍රිකාගේ පැකේජය ගිනි තැබුණි. මේ ආණ්ඩුවේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව ලත් ඇත්නම ලොප්ය . ජේ. ආර් මහතා තවදුරටත් සාදාකාලික වෙයිද ?
    විචාරක දියණිය

    ReplyDelete
  5. ගයි ෆෝක්ස්October 23, 2017 at 10:18 PM

    අලුත් ව්‍යවස්තාවක් හැඳිමට රනිල්ට ජනවරමක් නැත
    අනිත් අතට වඩාත් හොර නඩය මෙතෙක් කිසිදු හොරකමක් හරියට අල්ල ගන්න බැරිවූ රාජපක්ෂලාද නැතිනම් රනිල් මෛත්‍රී බේදය නිසාම එලියට ආ බැඳුම්කර මගඩියෙන් හෙලිවූ කෙනාද ? නැතහොත් අර ඉහත බේදය නිසාම එලියට ආ රුසියන් නාවික යාත්‍රාව හා සම්බන්ධ රජ ගැහිල්ලට සම්බන්ධ කෙනාද ?
    ඇස් පනා පිට මේ රජය ජනමතයට විරුද්ධව කටයුතු කරන බව දැන දැන කටු කන බල්ලෙක් මෙන් සත්‍යට පිටු පාන්නේ ඇයි?
    හොරකම් කළත් රාජපක්ෂ ඉන්නා කාලේ රට හැදුනේය දියුණු වුනේය
    අද රට හැදෙන්නෙත් නැත හොරකම්ද වැඩිවී ඇත
    ඉදින් කලින් "හොරා" ම රටේ බලය ඇල්ලීමේ කිසිම වරදක් නැත ගෝඪා එනවා නම් තව හොඳය - එදාට පැරකුම් ලාට කලිසමේ පහවන අයුරු බලන්නට ආසාය (දැන් මේ කොමෙන්ටුවටත් හැම දාම වගේ ඩෝන්ට් කෙයා ටෝක් එකක් අජිත් දාන බවට මෙන්න කැට) නැත්තං මේක නොදැක්කා මෙන් සිටිනු ඇත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා