වෘත්තීය සමිති නැට්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලය

විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් සම්මේලනයත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් අද නුවරින් හා ගාල්ලෙන් පාගමන් තුනක් අරඹති. 

මෙම පාගමන් සඳහා පැමිණෙන්නැයි සංවිධාන කීපයකින්ම කෙටි පණිවුඩ ලැබී තිබිණි. ඒවා වෘත්තීය සමිති හා වාමාංශික දේශපාලන පක්ෂ ආදියයි. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් අරගලයක මට්ටමින් ඉහළට ඔසවා තබන්නට එහි නායකත්වය සමත් වූ බව පැවසිය යුතුය. මේ වනාහි එහි නායකත්වයේ විශිෂ්ටත්වයයි. මෙවැනි මධ්‍යම පංතික අරමුණු සහිත වෘත්තීය සංවිධානයක් මෙසේ ක්‍රම විරෝධී අරගලයක් වෙත යොමු කරන්නට හැකිවීම ලංකාවේ හැටි අනුව ගත්කල විස්මිතය. 

එයට හේතුව නායකත්වය අවංක හා අව්‍යාජ වීමයි. යටත් නොවන, නොරැවටෙන, පාවා නොදෙන නායකත්වයක පදනම මේ අවංකකම හා අව්‍යාජකමයි. මෙය මේ වනවිට ලංකාවේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ අතිශය විරල දෙයකි. 

විශ්වවිද්‍යාල ආචාර්ය සටනට හොරිකඩකම් කළ වෛද්‍යවිද්‍යාල ආචාර්යවරුන්ට පවා එයට එක්වන්නට බලකෙරෙන තත්වයක් අද වනවිට නිර්මානය වී තිබේ.  ඒ තනිකරම වර්ජකයන්ගේ කැපවීම, අධිෂ්ටානය හා නොසැලෙන ගුණය නිසාය. 

සුපුරුදු පරිදි ‍රාජ්‍ය නොවන සංවිධාන හා ජනමාධ්‍ය පසුපස ගාටමින් කොළඹ රස්තියාදුවන වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂ බුරුත්ත මෙම පාගමන පසුපසින් එල්ලීම නම් මේ සටනට ලොකු ශක්තියක් යයි අපට නොසිතේ. ඔවුන් විසින් කළ යුතුව ති‍බුණේ මේ වලිග ඩියුටිය නොව, මේ හා සමාන්තරව රටේ වෘත්තීය සටන් රැල්ලක් ආරම්භ කර ක්‍රම විරෝධී අරගලය ශක්තිමත් කිරීමයි. මෙම සංවිධාන විසින් මේ වනවිට නොකරමින් තිබෙන ප්‍රධාන දෙය වන්නේ සිය සාමාජිකත්වය සංවිධානය කිරීමයි. අඩු තරමේ සිය සාමාජිකත්වය වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන පිළිබඳ කිසිදු අදහසක් හෝ මෙම සංවිධාන බහුතරයක් විසින් සන්නිවේදනය කර නැත.

මාස තුනකට කිට්ටු කාලයක් තිස්සේ ඇදී යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සම්මේලනයේ සටනට සමාන්තරව පොදු ක්‍රම විරෝධී අරගලයක් තුළට සෙසු වෘත්තීය සංගම්වල අරගල මොළවන්නට මෙම වෘත්තීය සමිති කිසිවක් කර තිබේද?  නැත. ඒ කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රවල ප්‍රශ්න නැති නිසාද? නැත. ඔවුන් පටු අරමුණු වෙනුවෙන් තම සාමාජිකත්වය පාවා දී ඇති නිසා ඔවුන් කෙරෙහි මේ වනවිට සාමාජිකත්වය අතර විශ්වාසයක් නැත. අඩු තරමේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හෝ මාධ්‍ය ප්‍රකාශවලින් ඔබ්බට යන කිසිවක් කර නැත. මේ අරුතින් ඔවුන්ද විපක්ෂයේ ජවිපෙ හා එක්සත් ජාතික පක්ෂය වැනි හිස් ප්‍රලාපය. 

මේ පාගමන්වලදී සිය සුපුරුදු බැනර් ප්‍රදර්ශන හා වහසිබස් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය. මන්ද, අද වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනට එක්වෙමින් තිබෙන පොදු ක්‍රමවිරෝධී අරගලයක ජීවගුණය දියකරහැරීමට ඉඩ නොදිය යුතු නිසාය. 

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වරක් සඳහන් කළ පරිදි මෙම සටන පරාජය වන්නට ඉඩ තිබේ. ඒ ඔවුන්ගේ වරදකින් නොව, මේ රටේ බහුජන නායකත්වයක් නැති නිසාය. බහුජන සංවිධාන නායකත්වය කූට ලෙස අත්පත් කරගෙන සිටින අද පාගමනට එක් වන වෘත්තීය සමිති නායකයන් වැනි ව්‍යාජ චරිත නිසාය. 

සාමාන්‍යයෙන් මෙවැනි අරගලයක් ඉදිරියට යනවිට බොහෝදෙනෙක් උත්සාහ ගන්නේ එය සමග එක්වී තම හිස්බව වසාගැනීමටයි. එහෙත්, වඩා වැදගත් වන්නේ වෘත්තීය සමිති තම කාරයභාරය තේරුම්ගැනීමයි. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන ඔස්සේ වෙනසක් සඳහා වන බහුජන අරගලයට එක් වාසියක් හෝ අත්පත් කරගැනීමට උත්සාහ කළ යුතුය. ඒ වනාහි නව නායකත්වයක් සොයාගැනීමයි. එය දැවෙන අවශ්‍යතාවකි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. පාගමන් තුනක්ද? දෙකක්ද?

    ReplyDelete
    Replies
    1. Jaffna University is organizing a protest march from Point Pedro to Jaffna town on 25th in support of the long march.

      Delete
  2. "මෙවැනි මධ්‍යම පංතික අරමුණු සහිත වෘත්තීය සංවිධානයක් මෙසේ ක්‍රම විරෝධී අරගලයක් වෙත යොමු කරන්නට හැකිවීම ලංකාවේ හැටි අනුව ගත්කල විස්මිතය. "

    හික්ස්....බයිල කියන්න එපා බං. දවල් හීන පේනව වගේ..

    ReplyDelete
    Replies
    1. තැන් තැන් වල කොමෙන්ට්ස් කොට කොට ඉන්නවට වඩා වෙනසක් කිරීමට සිහින දැකීම හෝ යෙහෙකි. ( "හික්ස්..." කියන්නේ මොකද්ද බන්??)

      Delete
    2. උඹල වගේ ගෙදරට ඇවිත් ඇරලා යනකන් දීල ඉන්න අලයෝ පිරිච්ච රටක මෙහෙම දෙයක් වීම ලොකු දෙයක්. උඹට එක තේරෙන්නේ නැත්තේ උඹේ DNA වල වැරැද්ද. ලබන ආත්මේ වත් බලමු ගොඩ යන්න.

      Delete
    3. වෙනසක් කිරීමට සිහින දැකීම බොහොම හොඳයි. උත්සාහ දැරීම ඊටත් වඩා හොඳයි. නමුත් මේකට ක්‍රම විරෝධී අරගලයක් කීම නමි විහිලුවක්. මේ අරගලයේ මූලයේ තියෙන්නෙ යමි තරමක හෝ වරප්‍රසාදිත පන්ති ස්ථරයක වැටුප් ප්‍රශ්නය බව නොදන්නෙ කවුද ("මෙවැනි මධ්‍යම පංතික අරමුණු සහිත වෘත්තීය සංවිධානයක්" ). නමුත් මේ සටන යම් ආශ්වාදයක් බව ඇත්ත. කෙසේ වෙතත් සටනෙ නැති ගුණ වර්නනා කිරීමටයි මගේ විරෝධය එල්ල කළේ.

      Delete
  3. කිරීමට හා ඉදිරියට තවත් බොහෝදේ ලංකාව තුල ඇති නමුත් ඇත්තෙන්ම මෙම පා ගමන පවා විස්මිතය. මහින්ද රජාගේ රාජකීය අනුහසට (රහස් පොලිසිය කියන විදියට) අවුරුදු 3ක් තුල වැදුනාවූ බලවත්ම ඇතුල් පහරයි.

    ජනතාව වෙනුවෙන් ජනතාව!
    ජයෙන් ජය වේවා!

    ReplyDelete
  4. ඇත්තටම මේ පා ගමනට එකතුවෙන දේශපාලන පක්ෂ වල ඒවුන් එන්නේ රෙදි ඇඳගෙනද. උන් කරන්න අවශ්‍ය දේ අද අචාර්ය වරුන්ට පටවලා. උන්ටත් හොඳ පාඩම් පත්තරේ අත්සන් එහෙම දාල පත් කර ගත්ත උන්නේ. මුන් හින්දා 83 පාරට වැටුන ඒවුන්ගේ ප්‍රශ්නෙවත් විසඳපු නැති ආන්ඩුවකින් මොන ඉල්ලීම්ද. කස්ටියට වෙන්නේ බර්ටිට උන දේම තමයි.

    ReplyDelete
  5. දැනටමත් මෙ අරගලය ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ බල අරගලයට මැදි වී හමාරයි. දඹර අමිල සහ ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති එක එක්ක කරපු පළමු සාකච්ඡාවෙන්ම පස්සේ පෙරටුගාමීන්ට සම්බන්ධ අන්තරය කපා හරින ලෙස සෝමවංශගෙන් ආ බලපෑමට නිර්මාල් යටත්වුනා. මේක එක්තරා ආකාරයක දේශපාලන පක්ෂවල පටු උවමනාවන් හමුවේ අරගලයේ ස්වාධීනනත්වය පාවාදීමක්.
    පෙරටුගාමීන් මර්දනය කරන්න ජවිපෙ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රය එක්ක හවුල්ව වැඩ කළ බව රහසක් නෙවෙයි. අන්තරේ කැදවුම්කරුව අත් අඩංගුවට ගත්තේත් ජවිපෙන් දීපු සිග්නල් එකක් නිසයි. අන්තරේ මේ සටනෙන් ඈත්කරන්නත් ඒක මර්දනය කරන්නත් ආණ්ඩුව යොදාගන්නේ ජවිපෙයි.
    පහුගිය අවුරුදු ගාන තිස්සෙම කරපු හොරිකඩකම් නිසා දියවෙලා කුණුවෙලා හිටපු ජවිපෙ මේ සටන අස්සෙන් ඔලුව උස්සන්න හදනවා. පහුගිය කාලය පුරාම රාජ්‍ය අංශයේ වෘත්තිය අරගල ජාතිවාදය සටන්පාඨ හමුවේ දියකරලා ජනතාවට පටිතදකරගෙන යුද්දෙට සහාය දෙන්න කියපු සෝමවංශලාට නිර්මාල්ගේ කොන්දක් නැති සෙවල වැඩ නිසා මේ සටන පාවාදුන්නා.

    ReplyDelete
  6. Anonymous September 25, 2012 10:26 AM සමඟ සම්පූර්නයෙන්ම එකඟ වෙමි. මේ අරගලය කිසිම විදිහකින් ක්‍රම විරෝධී අරගලයක් කියල මට ද නොපෙනෙන බව කනගාටුවෙන් වුවත් කිව යුතුමයි. මේ අරගලය පටන් ගත්තෙ වැටුප් වැඩිකර ගැනීමේ අරමුණින්. ඒ වෙලාවෙ ආණ්ඩුව ඒ ඉල්ලීම් වලට කැමති උනා නම් ඔය ක්‍රම විරෝධී අරගල මොකුත් නෑ. කට්ටියම ආපහු යයි වැඩිවෙච්ච් පඩියත් සාක්කු දාගෙන සුපුරුදු Hibernation Mode එකට.

    වැඩේ කෙරුනෙ නැති නිසා දැන් මහජන සහයෝගය ගන්ට ඒකට ක්‍රම විරෝධී පොඩි පින්තාරුවක් කරල තියෙනව විතරයි. ඒ අතර අධ්‍යාපනයට 6% වෙන් කිරීම වගෙ දෙකයි පණහෙ යෝජනාත් තියනව. නිර්මාල්ගෙ හයිය හින්දම තමයි මෙච්චර දුරක්වත් මේ වැඩේ අරගෙන ගියේ...

    ඒත් හරක් හොරෙක් මහණ වෙලා බණ කියන්ට ආවත් අපි පොඩ්ඩක් බණ අහන්නෙ හිතේ දෙගිඩියාවෙන් නේද?...විශ්ව විද්‍යාල ආචාර්ය වරු කියපු ගමන්ම මගෙ හිතට එන්නෙ පහුගිය ජනාධිපතිවරණ, මහ මැතිවරණ කීපයකදිම පත්තර හතර පහකම මැද පිටු පුරා පළවෙච්චි දැන්වීමක්..මගෙ කරුමයක් ද මන්ද මට ඒ පත්තර පිටු දෙක හිතෙං අත ඇර ගන්ටම බෑ නෙව...හෙහ්, හෙහ්,

    ඒ නිසා එදා ඔයගොල්ලො පත්තර පිටු පුරා දැන්වීම් දාල කියාපු දේ අහපු නැති කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ '' යන්න යන්න පා ගමන් යන්න...අපි උපේක්ෂාවෙන් බලා සිටිමු '' කියල විතරයි...

    ReplyDelete
    Replies
    1. පා ගමන් නම් හොඳයි. බත් කාල ආරලා තියන බඩ ගෙඩි වත් බහින්න රවී. නමුත් නිර්මාල් කෙරුවයි පළ වෙලා තිබුන කතාවේ හැටියට මේකට ආවේ නැති සේරම උරගයන් හා සිව්පාවන්. එහෙම කීමත් කැතයි නේද? දැන් ගනිමු ව්‍යාපාරයක් කරගෙන බදුත් ගෙවාගෙන තමන්ගේ දරුවා පෞද්ගලික පාසලකට යවන (හොර කොටි නොවේ, අවංක මිනිහෙක්) මේකට ආවේ නැත්නම් ඒත් උරගයෙක්ද? එයාලගේ දරුවන්ට ඔය විශ්ව විද්යාලත් වරම් නැහෙනේ මහත්තයෝ. මේ වගේ කතා කරන කොට හැමෝම ගැන හිතා කතා කරන්න. සුළුතරයක් වෙන්න පුළුවනි, බහුතරයක් වෙන්න පුළුවනි. ඔයාල නේද රටේ ඉන්න බුද්ධිමත්ම පිරිස කියල හඳුන්වා ගන්නෙත්. මා තරහකට නොවේ කියන්නේ. ඔය වගේ මෝඩ කතා තමයි ජේ වී පි එකත් කියන්නේ. චන්දෙ දුන්නේ නැත් නම් මිනිසුන්ට බනිනවා. ඉතින් එහෙම බලෙන් චන්ද ගන්න පුලුවන්ද මහත්තයෝ?

      Delete
    2. මම එහෙම කතාවක් කිව්වේ නැහැ
      nirmal ranjith Dewasiri

      Delete
  7. To all who condem this action!

    මෙච්චර කල් ආණ්ඩුව අධ්‍යාපනය විනාස කරනකොට දෙපැත්තම වහගෙන හිටපු ගොඩක් අයගේ කොන් දෙකම රත් වෙලා වගේ මේකේ comment දාන්නේ. අයි මේකට බය, ජනතාව නැගිටිනකොට ආණ්ඩුවට වඩා කඩේ යන එවුන්ට රිදෙනවා වැඩියි වගේ.. එකෙන්ම තේරෙනවා මේකේ තියෙන සාර්ථක බව. ටිකක් කුහක නොවී අලුත් ප්‍රවණතා දිහා විවුර්තව බලමු නේද, නිකන් පක්කලි කතා නොකිය. මොකද උඹල එකෙක් වත් ඔහොම පාගමනකට තියා චන්දෙ දාන ටිකට වත් ගිහිල්ල හරිදේ කරන්න බැරි කාලකන්නි ටිකක් නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. සොමවන්සල, රවිල, ගැන ගැටුලු තියෙනවා.. එත් උඹල අහන්නේ නෑ පාර්ලිමේන්තුවේ 161 වෙච්ච ආණ්ඩුවේ එවුන් එකෙක්ට වත් මේකට එන්න බැරිද කියල. උන් එන්නැති එක උඹලට ප්‍රශ්නයක් නෙමේ, හැබැයි බොරුවට හරි එන එකාව අල්ලාගෙන උගේ චරිත සහිතක ලියල පොදු ජනතාව වෙනුවෙන් යන්තම් හරි ආරම්බ වෙච්ච සටනක් පාච්චල් කරන එක තරම් සක්කිලි වෙඩක් තවත් නෑ. සමාවෙන්න මෙහෙම ලිවුවට හැබැයි උඹල වගේ කාලකන්නින්ට කතාකරන්න වෙන ක්‍රමයක් උඹල ඉතුරු කරලත් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා