කොළඹ පොත් සල්පිල ආයුධ වෙළඳපොලකි

මුන්ට පිස්සු නැද්ද?
'ගියාද පොත් ප්‍රදර්ශනේ බලන්න?' සමහරු අසති.

'අපි පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා.' තවත් සමහරු කියති.

පොත් ප්‍රදර්ශනේ බලන්න ගිය අය අනෙක් අයට වඩා උජාරුවෙන් හැසිරෙති. 'අපි නම් හැම අවුරුද්දෙම බලන්න යනවා'යි කියති. 'නොගියොත් අවුරුද්දම ඩල්' යි කියති. 'අපේ පඩියෙන් වැඩිගානක් යන්නෙ පොත්වලට' යි කියති. 

පොත් ප්‍රදර්ශනය පවත්වන දින නමයේදී ලැබෙන වට්ටමටම ඒ පොත් අවුරුද්දේ සෙසු කාලවලදීද ඒ පොත් ප්‍රකාශනය කරන අයගේ සාප්පුවලින් නිදහසේ තෝරා මිළදී ගත හැකිය. ඒ පොත් සාප්පු වැඩිහරියක් ඇත්තේද පිටකොටුවේ සිට බොරැල්ල දක්වා මරදාන පාරේය. පොත් ප්‍රදර්ශනයේදී සෙනග පොදිකන්නේද මේ පොත් කඩවලමය. බොහෝදෙනෙක් කැමති හැත්තෑව දශකයේ පාන් පෝලිම්වල සේ දාඩිය පෙරාගෙන, පොරකකා පොත් ගන්නටය.

පොත් කියන්නේද මාර පොතකි. ඒවායේ හොඳ හොඳ දේ ඇත. පොත් ලියන නිර්මානකරුවෝ හා උගත්තු අප සමග ඔවුන්ගේ ජීවිතය බෙදාගනිති.

පොත් කියවීම හොඳ දෙයකැයි සමාජය පිළිගනියි. රූපවාහිනී බැලීම නරක යයිද සමාජය කියයි. මම වැඩිපුර කියවන්නේ අන්තර්ජාලයයි. මම එතරම් පොත් කියවන අයෙක් නොවෙමි. ඒත් මම කියවමි. පොත් කියවන අය මා කියවන අයෙක් ලෙස නොසලකති. මට ප්‍රශ්නයක් නැත. මා කියවන්නේ මට උවමනා දේ මිස උන්ට ඕනෑ දේ නොවේ. 

'අර පොත කියෙව්වද?' කියා යමෙකු ඇසූවිට එය කියවා නැතැයි කීම ඉස්සරනම් මටද ලජ්ජාවට කරුණකි. ඒ නිසා සමහරවිට 'ටිකක් කියෙව්වා', 'ගත්තා කියවන්න - තාම බැරිවුණා - කොහෙද වෙලාවක් නැහැනේ' වැනි වල්පල් කියා ඇත. බොහෝවිට 'අර පොත කියෙව්වද?'යි ඒ පොත කියවූ අය නොකියවූ අයගෙන් අසන්නේ ආධිපත්‍යය පතුරුවන්නටය. 

පොත් කියවන සමහරු කියවනවාට වඩා තමන් පොත් කියවන බව කියවති. කියවූ අය ලෙස හැසිරෙන්නට වෙහෙසෙති. පොත් අතින් ගෙන සිටිති. පොත් රාක්ක පසුබිමේ සිට පොත් කියවන්නා සේ ඡායාරූප ගනිති. දැන්නම් ඩිජිටල් තාක්ෂණයෙන් පසුබිමින් පොත් රාක්ක දම්මවා ගනිති. පොත් ඇඳගෙන සිටිති. 

මධ්‍යම පංතික අම්මලා තමන්ගේ දරුවන් පොත් කියවන බව අනෙක් අයට කියන්නට මහත් සේ කැමතිය. 'පොතක් අතට ගත්තාම කියවලා මිසත් නවත්වන්නේ නැහැ,'යි කියති. 'කන ගමනුත් පොත් කියවනවා,'යි කියති. 

මේ ලියන මටනම් ‍ලෝකයේ රසම පොතටත් වඩා බඩගිනි වෙලාවට කන දෙය රසය. ඒ ඉතින් අපි පොත්කාරයන් නොවන නිසා වන්නට පුළුවන. 

වාම දේශපාලන, කලා, බුද්ධිමය ආදී ආකාශයන්හි හැසිරෙන අය තමන් අනෙක් අය නොකියවූ පොත් කියවා ඇති බව පෙන්වන්නට මහත් ඇල්මක් දක්වති. එක් කාලයක් එක්ස් කණ්ඩායමේ අය කීවේ දේශපාලනය කරනවානම් අරක කියවා එන්න, මේක කියවා එන්න කියාය. ඒ වුණාට ඔවුහුද ඒ කියූ පොත් කියවා ඇද්ද යන්න සැකසහිතය. ඒ පාර අනෙක් වාමාංශික බුවාලාද දඩබඩ ගා ඒ පොත් කියවන්නට පටන් ගත්හ. ලොකුම වැඩේ කියවීම බවට පත්විය. කොච්චර කියවීම ගැන හිතුවාද යත් ඔවුන්ට නිර්මානාත්මක සිතීම අමතක විය. 

උන්ට වෙච්ච දේ ගැන තවම පොතක් ලියා නැති නිසා උන් තාම එය දන්නේ නැත. මන්ද ඔවුහු සිතන්න දන්නේ නැත. තමන්ට හිතන්න බැරි නිසා ලෝකයේ කොහේ හෝ කවුරු හෝ ඔහු ජීවත්වන සංදර්භය ගැන ලියූ මොකක් හෝ පොතක් හොයාගෙන මෙහේට පූට්ටු කරන්නට වලිකති. 

පොත් කියවීම හොඳ දෙයකි. එහෙත්, ඒ පොත පතින් ලැබෙන අත්දැකීම් ඔස්සේ අපි අපේ ජීවිත 'හොඳ' අතට වෙනස් කරගන්නවානම් පමණි. 

පසුගිය දිනෙක මගේ මිතුරෙක් මට ගාන්ධි ගැන රසවත් පොතක් කියවන්නට දුන්නේය. ගාන්ධි ගැන මහත් ඇගයීමෙන් කතා කරන ඔහු උග්‍ර ජාතිවාදියෙත් පමණක්‍ ‍නොව කුලවාදියෙක්ද දැඩි පුරුෂෝත්තමවාදියෙක්ද වේ. ඔහු බොහෝ පොතපත කියවයි. එහෙත්, ඒවායේ කරුණු දැනුමක් ලෙස ඔහුගේ මොළයේ තැන්පත් වනවා මිස ඔහුගේ ආකල්පවලට බලපාන බවත් මට නොපෙනේ. 

පොත් කියවන සෙසු බොහෝ අයද, බොහෝ පොත් ලියන මහත්වරුද මෙවැනිය. 

පොත් ඇසුරු කරන අය අතර 'හොඳ' මිනිස්සු සුලබ නැත්තේ ඇයි? 

පොත් ඔය කියනතරම් 'හොඳ' දෙයක්දැයි මට සැකයක් ඇත. මට හිතෙන්නේ පොත් යනු තුවක්කු වැනි බලය නිර්මානය වන අවි විශේෂයක්ය කියාය. 

කොළඹ පොත් සල්පිල ආයුධ වෙළඳපොලකි. 

'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' කියා කියූ ෆ්‍රැන්සිස් බේකන් ධනවාදය තුළ සොබාදහම වධයට පමුණුවා සූරා කෑ යුත්තේ මධ්‍යතන යුගයේ පල්ලිය ස්ත්‍රිය වධයට පත් කර මෙල්ල කළ අයුරින් යයි කීවේය. 

කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ නැත. මිනිසා සම්පූර්ණ වන්නේ ජීවිතය විඳීමෙන්, ජීවිතය බෙදාගැනීමෙන් හා නිදහස් හා නිර්මානශිලී ලෙස සිතීමෙනි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. පට්ට ළිපිය... මටත් මෙතන දාර්ශනික මතයක් ලියන්නට අවශ්‍ය වේ. ඒද පොත් ගැනමය.

    ඔබ පොත් හෝ යම් කිසි දෙයක් ලියන නිර්මාණකරුවකු නම් හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් ඇත්නම්,කිසි දිනෙක එකම් විෂයකට ඇබ්බැහි වීමෙන් වලකින්න, පිස්සෙක් මෙන් පොත් කියවන්න එපා. එතුලින් බිහිවන්නේ ඔබ නොව, ඔබ කියවු වෙනත් කෙනෙකි.

    මහාචාර්ය මාතලන්

    ReplyDelete
    Replies
    1. ඔබටත් එකඟයි මහචාර්‍ය තුමනි

      Delete
  2. පොත් හෝ වෙන දේවල් කියෙව්වා කියලා මිනිසුන් වෙනස් වෙන්නේ නැහැ. ඒකට තව දේවල් බල පානවා. සමහරුන් උපතින්ම දුෂ්ටයි. ඔවුන්ව වෙනස් කරන්න පුළුවන්. නමුත් අමාරුයි. මේ දුෂ්ට ගති කුඩා කාලෙම හෙළි දරව් වෙනවා. අනික් අයගේ බලපෑමෙන් මේ මිනිසුන් වෙනස් කරන්න පුළුවන්. පොතුත් ඒකෙ එක අංශයක් පමණයි. පොත් කියවනවා හෝ නොකියවනවා කියලා ප්‍රසංසා හෝ ගරහන්න අවශ්‍ය නැහැ. අනාත

    ReplyDelete
  3. අවබෝධයෙන් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනුවෙන් නිවැරැදි විය යුතුය. මක් නිසාද යත් නිකං කියවන්නා වාලේ කියවන උන් නිසා රටේ සිදුවී ඇති පරිහානියක මහත දැනෙන-දකින නිසාය.

    ReplyDelete
  4. හොඳ ලිපියක් පරා...ඔබ සමඟ එකඟයි...පොත් ප්‍රදර්ශනේට ගියා කියන එක අද විලාසිතාවක් බවට පත්වෙලා කියන එක තමයි ඇත්ත..ඒත් එහෙම හරි කමක් නැහැ මිනිස්සු කියවෙන්නෙ නැතුව රාක්ක වල තියන්ට හරි පොත් ගන්නවනම්...කවදක හරි කවුරු හරි කියවල ප්‍රයෝජනයක් ගනී කියල හිතා ගමු......ගෙදර පොත් තියනවයි කියන එක විලාසිතාවක් වෙන එක හොඳ නැද්ද හප්පෝ පොත් කියවන්ට කාටද වෙලා තියෙන්නෙ...නිකම් කිසිම තේරුමක් නැති වැඩක්නෙ කියල හිතනවට කියනවට වඩා?

    Reading maketh a full man; conference a ready man; and writing an exact man. 

    ෆ්‍රැන්සිස් බේකන්ගෙ සම්පූර්ණ කියමන මෙහෙමයි...ඒකත් මෙහෙම වෙනස් උනානම් වඩාත් සුදුසුයි කියල මටත් හිතෙනව.

    Sifting through what you read and making your life better for the sake of you as well as the world maketh a full man.

    '' කියවන දෙයින් ජීවිතයට අවශ්‍ය දේ පමණක් ලබාගෙන ඉන් ජීවිතය යහ මඟට වෙනස් කරගැනීමෙන් මිනිසා සම්පූර්ණවෙයි ''

    ReplyDelete
    Replies
    1. ravi+++++++++++
      මාත් කියන්නේ කටේ කාසි තියාගත්තු ගෙම්බෝ වගේ දේවල් ගෙයි පේන්න තියනවට වඩා කොච්චර හොඳද කවුරු හරි පොත් රාක්කයක් තියාගත්තම. පේන්න හරි!

      Delete
    2. මෙතැන ඇත්තේ පොත් කියවීම මෝස්තරයක් බවට පත් වීමට වඩා අපේ රටේ මිනිසුන්ට සමාජමය ක්‍රියාවන්හි යෙදීමට ඇති අවස්ථා අඩු කමයි. පොත් ප්‍රදර්ශනය තුල පොර කෑම මෙන්ම ධාතු බැලීමට සැතපුම් ගනන් දිග පෝලිම් වල ලගින්නේත් ඒ අඩුව පිරිමසා ගැනීමටය. ඔවුන්ට සමාජීය ජීවිතයක් නැතිකම එයට හේතුවයි. නාට්‍ය , චිත්‍රපටි බලන, සමාජ ශාලාවකට හෝ නැ‍ටුම්හලකට ග්සො සවසට විනෝද වීමට ඔවුන්ට හැකියාවක් හෝ අවස්තාවක් ද නැත. එසේ තිබුනා නම් මේ විකාර හැසීරීම් ඇති නොවෙන්නට ඉඩ තිබුනි. ( මතක තියා ගන්න, ඉඩ තිබුනි.)

      Delete
  5. පොතක් කියවල සාමකාමී සතුටක් ලබන අයත් ඉන්නවා. හැමෝම ෂෝ එකටම පොත් කියවන්නේ නෑ. මොනවා උනත් හොඳ ලිපියක්.

    ReplyDelete
  6. ASEEMANTHIKA KIYAWEEMEN LOKAYA WENAS KALA NOHAK,LOKAYA WENAS KALA HAKKE BUDUDUMATH MINISUNNGE PRAYOGIKA KRIYAWALIYAKINI.
    POTH YANU EKKO ATHDAKIMYA NATHAHOTH PARIKALPANYANYA EWA WADAGATH WANNNE PRAGOGIKA BUDDIYA NATHI MINISUNTAYA.

    LAK RATHNE

    ReplyDelete
  7. බොහො ම හොඳ ලිපියක්...
    ගොඩක් අය, ඔයාගේ යාළුවා වගේ කියවන්නන් වාලේ පොත් කියවලා මොළේ දැනුමෙන් පුරවනවා මිසක් ආකල්පය වෙනසක් ඇති කරගන්න උනන්දු වෙන්නේ නෑ. ඇත්තට ම පොත් කියවීමේ වටිනාකම තියෙන්නේ ඒ තුළින් පුද්ගල දිවිය හැඩ ගැස්වීම ට ඇති හැකියාව මතයි. දැනුම වගේ ම ආකල්ප දියුණුවක් ද ළඟා කරගන්න පාඨකයින් ට හැකියාව තියෙන්න ඕනේ. ඒත් අවාසනාවක ට නැත්තෙත් ඒකමයි. පොත් කියවීම 'ශෝ' එකක් වෙලා තියෙන්නේ ඒ නිසා....

    ReplyDelete
  8. පොත් කියවීම හොඳ දෙයකි. එහෙත්, ඒ පොත පතින් ලැබෙන අත්දැකීම් ඔස්සේ අපි අපේ ජීවිත 'හොඳ' අතට වෙනස් කරගන්නවානම් පමණි.

    ReplyDelete
  9. Yes Para.. I totally agree with you. Here in Sri Lanka all things exaggerate an exhibitionism. Be it religion, race, sex, sports, education. Reading is no exemption. Our people read for the sake of reading... they don't know to read between the lines nor they have an reading application.



    ReplyDelete
  10. මට නම් පොල් කුඩු හා පුන්නක්කු වෙළ|දපොලකි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා