2020-01-19

මකරානන්දය නම් නවකතාව ගැන සටහනක්

අජිත් පැරකුම් ජයසිංහ

විරාජිනී තෙන්නකෝන් ලියූ මකරානන්දය නවකතාව කියැවීමි. එතරම් පොත් නොකියවන අයෙකු වන මා මෑත කාලයේ කියැවූ සිංහල නවකතා තුනක ම, වැර වෑයමෙන් ගොඩනැගූ කතා කියවන්නට ලැබිණි. මීට කලකට ඉහතදී ලංකාවේ නවකතාව සම්බන්ධ මූලික ගැටලුවක් වූයේ කතා කලාව නොදන්නාකම ය. එහෙත් දැන් කතා ගොඩනැගීම සඳහා බැරෑරුම් අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. එය යහපත් තත්වයකි.
නූතන සිංහල නවකතාවට යම් දුරකට ඩබ්ලිව්.ඒ. සිල්වා යුගයේ සෙවණැල්ල වැටී තිබේ යයි මට සිතේ. එනම්, කතා තුළ අභිරහසක් ගැබ්කිරීමට හා කතාවේ විකාශය තුළ අභිරහස විසඳීමට දරන උත්සාහයයි. නිදසුනක් ලෙස, යමෙකුගේ උපත, අතීතය සම්බන්ධ අභිරහසක් විසඳීම ඇතැම් නවකතාවල ප්‍රධාන කාර්යය බවට පත් වී තිබේ. එය කතාකරුවාගේ නිදහසයි. අප කතාවක් කියවන්නේ එම කතාව විසින් අපගේ කුතුහලය රඳවා තබාගන්නා නිසා ය.
මකරානන්දයේ යෙදෙන කතාව සමග ඓන්ද්‍රිය සම්බන්ධයක් නොමැති දීර්ඝ විස්තර පවා කියවමින් ඉදිරියට යාමට අප ඇද බැඳ තබාගන්නේ මේ අභිරහස් විසඳාගැනීමට අපට ඇති කරන කුතුහලයයි. එහෙත්, මෙකී ඔබ්බන ලද විස්තර පවා කතාව සමග ගොතා ඉදිරිපත් කිරීමට කතුවරිය උත්සාහ කර තිබේ. උදාහරණයක් ලෙස ගාල්ලේ හෝටලය හා එහි හිමිකරු ඩෙනිස් සහ පද්ම ශ්‍රී අතර ඇති සම්බන්ධය කතාවට ගැටගසන්නට කතුවරිය මහත් ආයාසයක් දරයි. ඩෙනිස් හා පද්ම ශ්‍රී අතර සම්බන්ධය ඇති වන්නේ සිරගෙදරදී ය. මේ දෙදෙනා ම සිරගතව ඇත්තේ එතරම් වැදගත් සිදුවීම්වලට නොවේ. ඔවුන් පොඩි පොඩි වැරදිවලට පැටලී ඇත්තේ ම කතුවරියට මේ දෙදෙනා අතර සම්බන්ධය ගොඩනගා දෙන්නට ම ය. එසේම, මේ නොගැලපෙන මිනිසුන් දෙදෙනා අතර ඇති දැඩි මිත්‍රත්වයට හේතුවක් ද කතාවේ පැහැදිලි නොවේ. එහෙත්, ඒ සම්බන්ධය පද්ම ශ්‍රීගේ චරිතය ප්‍රශ්න කරන හා දාර්ශනික අදහස් රැසක් සාකච්ඡා කරන සංවාද මාලාවක් නිර්මාණය කිරීමට කතුවරියට දොරටු විවර කර දෙයි. අවසානයේ සෝමේට පන්සලේ පොඩි හාමුදුරුවන් සමීප කරන්නට ද ගාල්ලේ හෝටලය අදාළ වේ. මෙම චරිත කතාව තුළින් ස්වයංව පැනනගිනවාට වඩා කතුවරියට උවමනා කාර්යයන් ඉටුකරදීම සඳහා නිර්මාණය කරගෙන තිබෙන බව ඩෙනිස් වැනි චරිතයකින් පෙනේ.
සමස්තයක් ලෙස ගත් කල, මකරානන්දය කතාව ආයාසයකින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයකි. ප්‍රබන්ධකරණය වෙනුවෙන් ආයාසයක් ගැනීම වරදක් නැත. ඔහේ සිතට නැගෙන සිතුවිලි ලියා දමනවා වෙනුවට කතුවරිය තමන් රචනා කරන විෂයයන් ගැඹුරින් අධ්‍යයනය කිරීමට උත්සාහ කර තිබේ. එහෙත්, ප්‍රබන්ධයක විශිෂ්ටත්වය මතුවන්නේ කතාව ගොඩනැගීමට කතාකරුවා දරන ලද ආයාසය පාඨකයාට නොපෙනෙන තරමට ය.
Translations by Creative Content Consultants
කෙසේ වෙතත්, හොලිවුඩ් පන්නයේ කතා රචනයන්හිදී සුලබ ලක්ෂණයක් වන සුළු විස්තර අමතක කර ප්‍රධාන කතාව සමග ඉදිරියට යාම නම් ලක්ෂණය මගහැරීමට කතුවරිය උත්සාහයක් දරයි. මෙය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම්, හොලිවුඩ් චිත්‍රපට කතාවල වීරයා ඇතැම් විට නන්නාඳුනන සතුරු භූමියක ඇඳිවත පමණක් සහිතව අතරමං විය හැකි ය. එහෙත්, සතුරන්ගෙන් බේරෙන ඔහු ඊළඟ මොහොතේ යුරෝපීය ඇඳුමින් සැරසී ගුවන් යානයකින් තම රටේ ගුවන් තොටුපලට ගොඩබසින අයුරු පෙන්වන්නට ඉඩ තිබේ. සියල්ල අහිමි වූ තැන සිට ගුවන් යානයෙන් සියරටට ගොඩබසින තැන දක්වා අභියෝග විවරණය කිරීම එම වර්ගයේ කතාවලට අදාළ නැත. මෙය මෑත කාලීන ඇතැම් සිංහල නවකතාවල ද දැකිය හැකි ලක්ෂණයකි. මකරානන්දය කතුවරිය ඒ අන්දමින් පාඨක බුද්ධියට නිගා කරන්නේ නැත. කතාවේ ගලායාමේ සෑම සියුම් විස්තරයක් ම මග නොහැර, තර්කානුකූල කතාවක් ගෙතීමට ඇය මහත් පරිශ්‍රමයක් දරයි. එහෙත්, ඇතැම් සිදුවීම් අභව්‍ය ය. උදාහරණයක් ලෙස, තඹර වෙහෙරට කොත සාදන්නට මුස්ලිම් මුදලාලි කෙනෙකු එන්නේ කතාවෙන් නොවේ. ජාතිවාදයට විරුද්ධව විරාජිනීගේ හිත හොඳකමෙනි. හිත හොඳකම හා කලාව පටලා ගන්නා අය පටලා ගත්තාට අපට පැටලෙන්නේ නැත.
කතාවට ඇතුළත් කර තිබෙන මකර චිත්‍රය, තඹර වෙහෙර, කුකුරුමාන් ගෙඩි, රාජාලියා වැනි සංකේතවල සුන්දරත්වය පසුපස මෙකී ආයාසය ද දක්නට ලැබේ. කතාව ප්‍රබන්ධයක් බව කීම සඳහා දරන උත්සාහය ද එබඳු ය. ඒ වෙනුවෙන් ලේඛකයකු බවට පත් වන සනීපාරක්ෂක කම්කරුවකු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වාර්තා කාමරයක ඇති අභිරහස් ලිපිගොනුවක්, සාමූහික කතා ලිවීමක් මෙන් ම මෙම කතාව වෙනත් ලේඛිකාවකගේ නමින් පළ වන බව කියා සත්‍ය ලේඛිකාව ප්‍රබන්ධකරණය කිරීමක් ද දක්නට ලැබේ. බටහිර හා දේශීය ජනප්‍රිය සම්භාව්‍ය නවකතාවේ ලක්ෂණ රැසක් අනුකරණය කිරීමට ලේඛිකාවට අවශ්‍යව තිබේ. එහෙත්, ඇය එම ප්‍රයෝග දක්ෂ ලෙස උපයෝගී කරගන්නා බැවින් සියුම් සැතකින් කෘර ලෙස කපා කොටා බලන, විචාරකයන් නොවන අප වැනි කුහකයන්ට පමණක් ඒවා හසු වේ. එහෙත්, දන්නා සියලු වැඩ දැමූ පමණින් කෘතියක් මහා නිර්මාණයක් වන්නේ නැත.
මකරානන්දය ලාංකීය සමාජ සංවර්ධනයේ පැතිකඩක හරස් කැපුමක් නිරූපණය කරන කතාවක් ලෙස සැලකිය හැකි ය. අනවසර පදිංචිකරුවන් ලෙස වැවක් අසබඩ පදිංචි වී මිරිදිය ධීවරයන් ලෙස ජීවනෝපාය සරි කරගන්නා දුප්පතුන් පිරිසක් ජීවන අරගලය හා සමාජ සංවර්ධනය සමග ගැටෙමින් ජීවිත ගොඩනගාගන්නා ආකාරය සත්‍ය ඉතිහාසය ස්පර්ශ කරගෙන යන විවරණයක් සමග නවකතාවේ ඉදිරිපත් කෙරේ. අත්දැකීමෙහි යම් පොදුබවක් තිබේ.
මෙම කතාව අවසානයේදී එහි ප්‍රධාන චරිත සියල්ලම පාහේ භෞතික සංවර්ධනය අත්පත් කරගෙන කතාව අවසන් වන්නේ කිසියම් සුඛාන්තයක් ලෙස ය. එහෙත්, භෞතික සංවර්ධනය හා සතුට අතර ගැටුම හා අන්තර් සම්බන්ධය පිළිබඳ කිසිදා නොවිසඳෙන පැනය තවදුරටත් ඉතිරි කරමින් කතාව යම් ආකාරයක විවෘත අවසානයකින් කෙළවර වේ.
එහි චරිත නිරූපණය ද මනරම් ය. දිළිඳුකම, අසරණකම, බේබදුකම, සල්ලාලකම, ස්ත්‍රී පීඩනය, පන්ති හා පැළැන්ති භේදය, ජාතිවාදය, දූෂණය, දේශපාලනය, සංචාරක කර්මාන්තය, චිත්‍ර කලාව, බුදු දහම, සංඝ සංස්ථාව වැනි බොහෝ මාතෘකා පිළිබඳ පාඨක මනස අවදි කරවන්නට කෘතිය සමත් වේ. ඒ අතර කතුවරිය ද මැදිහත් වී ඇගේ දැක්ම එහි බහාලන මුත්, පාඨකයාට එය ගිල්ලවන්නට හදන බවක් දක්නට ලැබෙන්නේ නැත.
කතාවේ ‘මකර චෝර කතා වස්තුව’ නම් කොටස ලංකාවේ දේශපාලනය, ව්‍යාපාරකරණය, බලය, දූෂණය හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජනප්‍රිය විරෝධාකල්පික ප්‍රබන්ධයේ නැවත ලිවීමකැයි මට සිතේ. සමාජයේ රැඩිකල් බලවේග මෙවැනි අති සරල, පැතලි විවරණයන් වෙත ආශක්ත වන ආකාරය හා එය සත්‍ය සමාජ විවරණයක් ලෙස වැළඳගන්නා ආකාරය දක්නට ලැබේ. දේශපාලනය ගැන මෙම කුමන්ත්‍රණ කතා බොහෝ දුරට පදනම් වන්නේ ඉහළ පැළැන්තියේ මධු සාද සාමීචි හා ඕපාදූප මත ය. ඒවායින් නිර්මාණය කරගන්නා දේශපාලනය කුමන්ත්‍රණ කතාව විසින් ඇත්ත වශයෙන් ම සිදුකරන්නේ සමාජ ප්‍රගමනයට දායක වීමක් නොවේ. ඒ වෙනුවට කරන්නේ, සත්‍යය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට පාඨකයා යොමු නොකර සරල ප්‍රබන්ධයක් තුළ ඔවුන් සිර කිරීමයි. වින්දනය සඳහා ප්‍රබන්ධකරණයේදී මෙය ගැටලුවක් නැත. එහෙත්, එය සමාජය විප්ලවීය ලෙස වෙනස් කිරීමේ ලා දායක වන ප්‍රගතිශීලී සාහිත්‍යයක් ලෙස අලෙවිකරන්නේ නම් හා පාඨකයන් එසේ භාරගන්නේ නම් ඇත්තෙන් ම සිදුවන්නේ ජනතාව ගොනාට ඇන්දවීමකි. අවශ්‍ය, අනවශ්‍ය බොහෝ දේ කතාවට ඇතුළත් කරන්නට යාමෙන් මෙහි දේශපාලන හතර බීරි කතා රැසක් ද ඇතුළත් වී තිබේ.
සමස්තයක් ලෙස ගත් කල, මකරානන්දය නම් දීර්ඝ නවකතාව කියවීමට වැය කරනු ලබන කාලයත්, ඒ ගැන සටහනක් තබන්නට වැය කරන දත්තත් නරක ආයෝජනයක් නොවේ.