2020-01-28

කොරෝනා වයිරසය වැඩියෙන් බෝ කරන්නේ ජනමාධ්‍ය විසිනි

අජිත් පැරකුම් ජයසිංහ

නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ.
Translations by Creative Content Consultants
මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු ම වසංගතය වන්නේ 1918-19 ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාවයි (Spanish flu). සුළඟෙන් පැතිරෙන H1N1 වයිරසයෙන් ආසාදනය වූ එම රෝගය ලොව පුරා ම පැතිර ගිය අතර මිලියන 500ක් හෙවත් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු බව වාර්තා වේ. ලොව පුරා මිලියන 20-50 අතර ජනතාවක් එයින් මිය ගිය හ. එක්සත් ජනපදයේ පමණක් 675,000ක් මිය ගිය හ.
1957-58 ආසියානු සෙම්ප්‍රතිශ්‍යාව බෝ වූයේ H2N2 වයිරසය හේතුවෙනි. 1968දී හොංකොං සෙම්ප්‍රතිශ්‍යාව බෝ වුණේ H2N3 වයිරසය නිසා ය. මෙම ලෝක මට්ටමේ වසංගතවලින් ද මිලියන 1-4 දක්වා ජනතාවක් මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරයි. එහෙත්, විද්‍යාගාර පරීක්ෂණවලින් හේතුව ඔප්පු වූ මරණ සංඛ්‍යාව ඊට බෙහෙවින් අඩු ය.
21වන සියවසේ පළමු එවැනි වසංගතයවන්නේ 2009-10 වකවානුවේ H1N1 වයිරසය පැතිරීමයි. 2009දී පමණක් එයින් පුද්ගලයන් 100,000-400,000 අතර පිරිසක් මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, වඩා සාර්ථක ලෙස වයිරස් ප්‍රහාරයට මුහුණ දීමට ලෝකය සමත් වූ අතර වයිරසයට එරෙහි එන්නත් පවා හඳුන්වා දෙන ලදී.
2003දී ආසියාවේ පැතිරුණු SARS වයිරසය ද කොරෝනා වයිරස වර්ගයකි. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් ඇති වී තිබෙන අවධානය එය පාලනය කිරීමෙහි ලා ඉවහල් වනු ඇත. එහෙත්, ජනමාධ්‍ය විසින් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිර්මාණය කරමින් තිබෙන්නේ ලෝක මට්ටමේ භීෂණයකි.
චීනය රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් දැඩි ක්‍රියාමාර්ග සාධනීය ඒවා ය. එහෙත්, එමගින් ලොව පුරා පැතිරී තිබෙන්නේ අසාමාන්‍ය භීතිකාවකි. චීනයේ ආර්ථිකයට පවා එය බලපෑ හැකි තත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ. චීන ආර්ථිකයට හෙම්බිරිස්සාව හැදෙන විට ලොව වෙනත් බොහෝ ආර්ථිකයන්ට නිව්මෝනියාව හැදෙන බව අප අමතක කළ යුතු නැත.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් 9%ක් චීන ජාතිකයන් වන අතර රටට වැඩිපුර ම සංචාරකයන් පැමිණෙන ගමනාන්ත රටවල් අතර චීනය තුන්වන ස්ථානයට පත් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පළමු නව කොරෝනා වයිරස් ආසාදිතයා ලෙස චීන ජාතික සංචාරකයකු හඳුනාගෙන තිබේ.
බොහෝ විට, මෙවැනි වයිරස් වසංගත පාලනය කිරීම සඳහා කරන්නේ රෝගීන් හුදකලා කිරීම, නිරෝධායනය කිරීම, යහපත්පෞද්ගලික ස්වස්ථතාව, විෂබීජ නාශක භාවිතා කිරීම සහ මහජන රැස්වීම් සීමා කිරීමයි.
වසංගත පැතිරීමට හේතු රැසක් තිබේ. නාගරීකරණය, සංචරණය, පාරිසරික විනාශය ආදී කරුණුවල වැඩි වීම එයට ප්‍රධාන හේතු වේ. එසේම, ප්‍රතිශක්තිකරණ විරෝධය, විද්‍යාව අවිශ්වාස කිරීම, මිථ්‍යාව පැතිරීම වැනි හේතු ද මේ පසුපස තිබේ.
කොරෝනා වයිරසය සෙසු සියලු වයිරස් ආසාදන පැතිරීම්වලට වඩා වේගයෙන් මාධ්‍ය හරහා පැතිරී යන බවක් දක්නට ලැබේ. මාධ්‍ය ආවරණය විසින් සාධනීය මෙන් ම නිශේධනීය ප්‍රතිඵල ද ඇති කරනු ලැබේ. එක පැත්තකින් මිනිසුන් ඒ පිළිබඳ දැනුවත් වේ. එහෙත්, අනෙක් පැත්තෙන් මාධ්‍යවල අධි සංවේදීකරණයන් හේතුවෙන් මිනිස්සු භීතියට පත් වෙති. මුඛ ආවරණ පැළඳීමෙන් ආරම්භ වන මෙය දෛනික ජීවිත හා සමස්ත ආර්ථිකය අඩාල වීම දක්වා පැතිරිය හැකි ය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට මෙම යුගයේ පුවත් හිඟයක් තිබේ. එබැවින් මේ වන විටත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අධි සංවේදීභාවයක් සමාජය තුළ නිර්මාණය කර හමාර ය. රෝගය වැළඳුණ විට මිනිසුන් හිටිහැටියේ කෙසෙල් කඳන් සේ කඩා වැටෙන බවට ද පුවත් පළ විය. වෙනත් රෝග නිසා ද රෝගීන් ක්ලාන්ත වීම, සිහිසුන් වීම සිදු වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ අධිසංවේදීකරණයන් සම්බන්ධයෙන් කප්ගැසූ මාධ්‍ය කොරෝනා භීතිකාව නිර්මාණය කිරීමෙහි ද ඉදිරියෙන් ම තිබේ. පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම ශ්‍රී ලංකාවේ සමාජය තුළ ඉතා නරක තත්වයක් ඇති විය හැකි ය. රෝගීන් හිංසාවට ලක්වීමට පවා ඉඩ තිබේ.
ශ්‍රී ලංකාවේ ඩෙංගි වසංගතය තවමත් අතිශය භයානක මට්ටමක ය. ගිය අවුරුද්දේ පමණක් ලක්ෂයකට පමණ ඩෙංගි වැළඳී 100ක් පමණ ජනයා එයින් මිය ගිය හ. ලෝක මට්ටමෙන් බැලුවත් ටියුබර්කියුලෝසිස් හෙවත් ක්ෂය රෝගය නිසා 2018දී පමණක් ලක්ෂ 15ක් ජනතාව මිය ගිය හ.
බිලියන 1.4ක් පමණ ජනගහනයක් සිටින වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන රටක් වන චීනයේ තවමත් මෙම ආසාදනයෙන් මියගොස් ඇතැයි සැලකෙන රෝගීන් සංඛ්‍යාව 100ට අඩු ය. ආසාදිතයන් සංඛ්‍යාව 3,000ට අඩු ය. චීනය මෙම තත්වය පාලනය කරගත හැකි පාලනයක් සහිත රටකි. මේ වන විට ප්‍රතිජීවක සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කෙරේ.
සරලව කිවහොත් නව කොරෝනා වයිරසයට උවමනාවට වඩා බිය වීමෙන් අපි කොරෝනා වයිරසයට යටත් වන්නෙමු.