2017-02-21

සරසවි ළමයින් වධකාගාර පවත්වාගෙන යන්නෙ, ඉස්කෝලෙ ළමයින් මහපාරෙ ගහගන්නෙ ඇයි?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක ළමයින් අතර ගුටිකෙළි ගැන පසුගිය සතියේ වාර්තා වුණා.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කුලියට ගත් නිවසක් වධකාගාරයක් ලෙස භාවිතා කරමින් කණිෂ්ඨ සිසුන්ට නවක වධය දීම සඳහා යොදා ගැනීම පිළිබඳ පුවතක් ඊයේ වාර්තා වුණා. එම සිසුන් 1998 අංක 20 දරන නවක වධ පනතේ අංක 2, 2-II, 3 සහ 6 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

ඇතැමෙක් මේවා කොලු වැඩ ය කියලා බැහැර කරන්නට හදනවා. හැබැයි, අපේ ළමයින්, තරුණයන් මෙසේ ප්‍රචණ්ඩ වෙන්නේ ඇයි ද කියන එක ගැන අප ඊට වඩා ගැඹුරින් සිතන්නට ඕනැ.

එක පැත්තකින් ළමයින් තුළින් නිරූපණය වන්නේ සමස්තයක් ලෙස සමාජයේ තිබෙන ප්‍රචණ්ඩත්වය ම මිස අනෙකක් නොවෙයි කියලා තර්ක කරන්නටත් පුළුවන්. ඒ වුණාට අපේ අනාගත පරම්පරාව අපටත් වඩා නරක නම් ඒක ඉතින් ඇත්තෙන් ම කණගාටුදායක තත්වයක්. හේතුව, දැන් රටේ යුද්ධයකුත් නැහැ.

මං ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු නැති සාමාන්‍ය මෝඩයෙකු නිසා මට ඔය රැග් ගැන අත්දැකීම් තියෙන්නෙ වධකාගාරවලයි. හමුදාවේ තියෙන රැගිං මං දැකලා තියෙනවා. කවුරුහරි උසස්වීමක් ගත්තාම එහෙම දෙනවා නියම අමානුෂික රැගක්. ඒ නවක වධයයි, අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට දෙන වධයයි අතර වෙනස තියෙන්නේ හමුදාවේ නවකයා නො මැරෙන ගානට වධ දෙන එක විතරයි. ඒ වගේ රැගිං හමුදාවෙන් විශ්වවිද්‍යාලයට ඇවිත්, ආපහු විශ්වවිද්‍යාලවලින් හමුදාවට ගිහින් ආදී වශයෙන් එකිනෙකාගෙන් පෝෂණය වෙමින් දිගට ම සිදු වෙනවා වෙන්නට පුළුවන්.

ඒ වගේ නවක වධයක් විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි ඇතැම් ගුරු විද්‍යා පීඨවලත් තිබෙන බව මගේ අධ්‍යයනවලින් දැන ගන්නට ලැබුණා. දැන් ඔය පේරාදෙනිය කෘෂි විද්‍යා පීඨයෙන් මතු වී තිබෙන්නේ එවැනි නවක වධයක් පිළිබඳ තොරතරුයි. අප අමතක නො කළ යුතු කාරණයක් තමයි, 1975දී නවක වධය නිසා ස්ථිර ආබාධිතභාවයට පත් වී, අධ්‍යාපනය ද කඩාකප්පල් වී පසුව සිය දිවි නසා ගත් රූපා රත්නසීලිත් පේරාදෙනියේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියක් බව.

නවක වධකයන් විසින් එයට එරෙහි වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත විතානගේ ශිෂ්‍යයාට පහර දීම නිසා ඔහු රෝහලේදී මිය ගියා.

නවක වධය සම්බන්ධ භයානක ම කාරණය වන්නේ එයට භාජනය වන නවක සිසුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය විසින් දෙනු ලබන මිථ්‍යා මත විශාල ප්‍ර‍මාණයක් ජීවිතය පුරාම කරපින්නාගෙන යමින්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතයේ යම් යම් සාධනීය ලක්ෂණවලට නවක වධය දායක වූවා යයි සිතමින් එය ආරක්ෂා කිරීම හෝ එයට විරෝධය පළ නො කර සිටීමයි.

මෙම විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ තිබෙන සින්නා, ජුන්නා, අයියා, මල්ලි වැනි ගොන් පාට් සංකල්ප ඇතැම් ප්‍ර‍ගතිශීලීන් පවා දිගට ගෙන යන ආකාරය මා දැක තිබෙනවා. විශ්වවිද්‍යාලයේ එකට සිටියදී ගොඩනැගුණු මිත්‍ර‍ත්වයන්ට හේතුව එම උප සංස්කෘතිය යයි සිතන අය නො සිතන කරුණක් වන්නේ ඔය වැනි මිත්‍ර‍ත්වයන් එකට හිරේ හිටිය අය අතරත් තිබෙන බවයි. අධ්‍යයනය කර බලන්න 71 සංසදය.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය රැක ගන්නට ඉවහල් කර ගන්නා තවත් එක් තත්වයක් තමයි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වී තිබෙන්නේ මේ උපසංස්කෘතිය නිසා ය යන මිථ්‍යා මතය. එය විශේෂයෙන් ම ප්‍ර‍වර්ධනය කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයෙන් පැවැත්ම තහවුරු කර ගන්නා වාමාංශික පක්ෂ විසිනුයි. ඇත්තම කියනවා නම්, අපේ රටේ රජය විසින් තෝරා ගත් සිසුන් පිරිසකට නොමිළේ දෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නට කිසිදු යෝජනාවක්, කවුරුවත් මේ දක්වා කර නැහැ. පැමිණි යෝජනාවලින් මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා වැඩි කරන්නටත්, බරපතල අධ්‍යාපන ප්‍ර‍තිසංස්කරණ කරන්නටත් යෝජනා වුණා. එහෙත්, දිළිඳු දරුවන්ට රජයේ පාසල්වල, විශ්වවිද්‍යාලවල ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නට කිසිවෙක් යෝජනා කරලා නැහැ. ගෙනා යෝජනා පදනම් කරගෙන මෙවැනි අදහස් ප්‍ර‍බන්ධ වුණා. තමන්ගේ රජය යනු තමන් නොව වෙනත් අද්භූත සතුන් පිරිසක් ය කියා පිළි ගැනීමට සූදානමින් සිටින ලංකාවේ ඊනියා රැඩිකල් තරුණයන් හා සාමාන්‍ය ජනතාව හැමදාමත් මේ බෝල ගිල්ලා.

පේරාදෙනිය නවක වධයේදී සිසුන් පිරිස වධකාගාරය වෙත පැහැරගෙන යන්නේ යතුරුපැදිවලින්. මහපොළ දිළිඳු සහනාධාරය ගන්නා සිසුන් අතරත් යතුරු පැදි, නවීන ජංගම දුරකථන විතරක් නෙමෙයි, කාර් පවා තිබෙනවා. ඔවුන් ඇතැමෙක් පෞද්ගලික විභාග විතරක් නෙමෙයි, පෞද්ගලික ව්‍යාපාරත් කරනවා. විශ්වවිද්‍යාලවල ඉන්නේ දිළිඳු සිසුන් ය කියන එකත් අර උපසංස්කෘතියේ මිථ්‍යාවලින් එකක්. මේ පිළිබඳ පසුගිය දිනෙක උමේෂ් මොරමුදලි මෙවැනි සටහනක් තබා තිබුණා:

වෛද්‍ය විද්‍යාල වලට ඇතුල්වන සිසුන්ගෙන් 47% නාගරික සිසුන්ද 41% අර්ධ නාගරික සිසුන්ද 11% පමණක් ග්‍රාමීය සිසුන්ද වේ.
ශාස්ත්‍ර පීඨ වලට ඇතුල්වන සිසුන්ගෙන් 15% පමණක් නාගරික සිසුන් වන අතර 51% ග්‍රාමීය සිසුන් වේ.
මූලාශ්‍රය - උසස් අධ්‍යාපන අමාත්‍යංශය

අන්තරේ කයිය ගහන ආකාරයට සමාජයේ පහල ආදායම් ලබන ග්‍රාමීය සිසුන් මහ ගොඩක් වෛද්‍ය විද්‍යාලයට එන්නේ නැත. ටියුෂන් පිහිටෙන් වෛද්‍ය විද්‍යාලයට එන්නේ ඉහළ මධ්‍යම හා මධ්‍යම පාන්තික සිසුන්ය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව කරන්නේ එකී වෛද්‍ය සිහිනය ආරක්ෂා කිරීමේ සටන විනා නිදහස් අධ්‍යාපනයේ සටනක් නොවේ.

විශ්වවිද්‍යාල උප සංස්කෘතියට එරෙහිව අරගල නො කර, නවක වධය නැති කරන්නට බැහැ. නවක වධය ගැන මට ඉතා විසුළු සහගත අත්දැකීමක් තිබෙනවා. ඒ මහරගම ගුරු විද්‍යාලයේදී. අවුරුදු 28න් ගුරු වෘත්තියට බැඳුණු මා පුහුණුව සඳහා ගුරු විද්‍යාලයට බැඳුණේ වයස අවුරුදු 32දීයි. අපගේ කණ්ඩායමේ සිටි ගුරු සිසුන් අතර මට වඩා වියපත් අය රැසක් සිටියා. ගුරු විද්‍යාල (විද්‍යා පීඨ නෙමෙයි) බඳවා ගැනීමේ පටිපාටිය අනුව, යමෙකු ගුරු විද්‍යාලයට ඇතුළත් වන්නේ අවම අවුරුදු තුනකවත් සේවයකින් පසුවයි. ගුරු විද්‍යාලයේ සිටි බහුතරය අවුරුදු 25ට වැඩි අය. රජයේ සේවයේ වසර ගණනාවක් සේවය කර තිබුණ අය. ඒත්, විශ්වවිද්‍යාල යන්නට අවස්ථාව නො ලද, උසස් පෙළ සමත් හෝ අසමත් වී කාර්මික විද්‍යාල, ඩෙලික් වැනි පාඨමාලා කර ගුරු වෘත්තියට බැඳුණු මෙම පිරිස අතර විශ්වවිද්‍යාල සිහිනය දැකීමේ බොළඳ ආශාවක් මා ගුරු විද්‍යාල නවක වධය තුළ දැක්කා. හිනා කා මැරෙන කාරණයක් වුණේ අවුරුදු 25, 30 වූ ජ්‍යේෂ්ඨ ගුරු සිසුන් අවුරුදු 40, 45 වුණ කණිෂ්ඨ සිසුන්ට මල්ලි යයි කතා කිරීමයි. 

ඒ වන විටත් මා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ නිසා ‘ශිෂ්‍ය ව්‍යාපාරය' ගැන කතා කරමින් අපට රැග් කළ ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ මෝරච්ච ගුරු සිසුන් අඩු තරමේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්වත් වන්නට ඇතැයි මා සිතුවා. එහෙත්, පසුව බැලූ කල මට වැටහුණේ ඔවුන් ගුරු වෘත්තීය සමිතියකට බැඳුණොත් තමන් කැපිලි කෙටිලිවලට ලක් වනු ඇතැයි සිතා සිටි සාමාන්‍ය බියගුලු ගුරුවරුන් වූ බවයි. රජයෙන් පූර්ණ වැටුප් ලබමින්, අධ්‍යයන නිවාඩු මත ඉගෙනුම ලැබූ ගුරු සිසුන් මෙම ගුරු විද්‍යාල නායකයන් විසින් ඉතාම නීති විරෝධී, බොළඳ අරගලයකට යොමු කළා. ඒ, පුහුණුවෙන් පසුව අවුරුදු පහක් රජයේ පාසලක අනිවාර්යයෙන් ම වැඩ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සමග එළඹිය යුතු ගිවිසුමට එළඹීම වැළැක්වීමයි. එහෙත්, අවසානයේදී සහතිකය ලබා ගන්නට අනිවාර්යයෙන් ම ඒ ගිවිසුම දිය යුතු වුණා. මේ අය නවක වධය දිහා බැලුවේ විශ්වවිද්‍යාවල උපසංස්කෘතිය නිර්මානය කරන්නට ඉවහල් වුණ සාධනීය දෙයක් ලෙසයි. මා මේ කරුණ ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාලවලින් බැහැර සමාජය පවා මෙම විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ඉතා වටිනා දෙයක් බව කල්පනා කරන බව පෙන්වීමටයි.

මේ රැග් කිරීම පාසල්වල ශිෂ්‍ය භටයන්, ශිෂ්‍ය නායකයන්, ක්‍රිකට් කණ්ඩායම් ආදිය අතර විතරක් නෙමෙයි, රජයේ 10 ශ්‍රේණියේදී අලුතෙන් දිග කලිසම් අඳින මල්ලිලාට 11 වසරේ අයියලා රැග් කිරීම දක්වා ම පැතිරිලා තිබෙනවා. පාසල්වලින් බැහැරව රැකියාවලටත් මෙය පැතිරී තිබෙන බව පසුගිය කාලයේ බැංකුවකින් පිට වූ වීඩියෝවකින් පෙනුණා.

සමස්තයක් ලෙස, පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ සමාජය මීට වඩා අවදි විය යුතුව තිබෙනවා. බලය, පරපීඩන කාමුකත්වය, ආදරය ගැන සංවේදී නො වීම, සහකම්පනය නැතිකම වැනි කාරණා රැසක් නවක වධය සමග සම්බන්ධයි. නවක වධය අනෙක් පැත්තෙන් සමාජයේ තව බොහෝ දේ සමගත් සම්බන්ධයි. මෙය සරළ ප්‍ර‍ශ්නයක් නෙමෙයි. 

නවක වධය ගැන වැදගත් ලිපි දෙකක්‍:

වධක මානසිකත්වයට දැන් වත් තිත තබමු ද?

නවක වධය හා කාන්තාවන්ට එරෙහි හිංසනය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.