2013-03-23

'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ

මහින්ද රාජපක්ෂ යනු එක් වකවානුවක ලංකාවේ සිටි ප්‍රබලම ජනාධිපතිවරයාය. 2009 ජුලි මාසයේදී කොටි සංවිධානය සමූලඝාතනය කර යුද්ධයේ ජයග්‍රහණය තහවුරු කරගත් මොහොතේ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සැබෑ වෙනසක් කළ හැකි පුද්ගලයකු විය. 

ලංකාවේ දීර්ඝ කාලීනව පැවති ගැටලු පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහුට තිබුණු අවස්ථාව ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකුට නොතිබිණි. කිසිවකුට ඔහුගේ ක්‍රියාමාර්ගවලට එරෙහි වන්නට තරම් ශක්තියක් තිබුණේ නැත.  ඔහු සිංහල ජනතාව අතර එතරම්ම ජනප්‍රිය විය. ඔහුගේ අදහස් රට වෙනුවෙන් වූ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අදහස් ලෙස ජනතාව සිතූහ.

විශේෂයෙන්ම සිංහල ජාතිවාදී බලවේගවලට ඔහුට අභියෝග කිරීමේ හැකියාවක් නොතිබුණු සංදර්භයක් තුළ රාජපක්ෂට ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ ප්‍රබල ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේ ශක්තිය තිබිණි. ජාතීන් අතර සංහිඳියාව, සාමය ගොඩනැගීම සඳහා පියවර ගැනීම ඒ අතරින් ප්‍රමුඛ විය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යාමේ හැකියාව ඔහුට තිබිණි. ඔහු එය කළේ නැත.

ඔහු ඒ වෙනුවට කළේ මහාරාජ මානසිකත්වයක් නිර්මානය කරගෙන ඒකාධිපතිවාදයක් හා පවුල්වාදී පාලනයක් ගොඩනැඟීමයි. 

යුද්ධයේ අවසන් භාගයේදී සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් කිසිවකුට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් ඒවා නොවේ. කොටි සංවිධානයේද බරපතල දේශපාලන වැරදි හේතුවෙන් සිදු වූ ඒ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ මතකය අකා මකා දැමිය හැකිව තිබුණේ සංහිඳියාව ගොඩනැඟීම සඳහා වූ පියවර ඔස්සේය.යුද්ධයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවිය හැකිව තිබිණි. අවතැන් වූවන්ට යළි ජීවිත ගොඩනඟාගැනීම සඳහා උදව් කළ හැකිව තිබිණි. බලය බෙදාගැනීම ඔස්සේ පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය සඳහා ඒ ප්‍රදේශවල ජනතාවගේ සහයෝගය දිනා ගත හැකිව තිබිණි. 

ඒ වෙනුවට සිදු වුණේ දේශපාලන හා ආර්ථික පාලන බලතල වැඩි වැඩියෙන් රාජපක්ෂ පවුල අත‍ට ගනිමින් මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී මහා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවලට වැඩි අවධානයක් යොමු කිරීමයි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ කොන්දේසි මත පිරිනමා තිබුණු මෘදු ණය හා ආධාර වෙනුවට විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළී ණය ලබාගනිමින් ලංකාව දරුණු මුල්‍ය අර්බුදයක් වෙතද තල්ලු කර දමන ලදී.

ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නිර්මානාත්මක ක්‍රියාමාර්ග ගැනීමෙහිලා ඕනෑතරම් අවස්ථාව තිබුණුමුත් රාජපක්ෂ පවුල් පාලනය සිය පවුල තුළ රට සිර කරමින් ආර්ථිකය පරිහාණිය දෙසට යොමු කළේය. යුද්ධය අවසන් වූ පසු රජය විසින් තොරොම්බල් කරන ලද ප්‍රධාන ආර්ථික උපායමාර්ගයක් වූ ඍජු විදේශ ආයෝජන පිමි පනිමින් ඉහළ යන තත්වයක් නිර්මානය කිරීම පිළිබඳ දැන් ඔවුන් කතා කරන්නේම නැත. ඍජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නිර්මානය කර දීමට රාජපක්ෂ පාලනය අසමත් විය. එපමණක් නොව, සංචාරක වෙළඳපොළ පවා වැඩි ආදායම් ලබාදෙන වෙළඳපොළවල් වෙත යොමු කිරීමට ආණ්ඩුව අසමත් විය. ඒ වෙනුවට ආර්ථික ප්‍රතිලාභ අවම සංචාරක වෙළඳපොළවල් වෙතින් එන සංචාරකයන්‍‍‍්‍ ගැන ඉලක්කම් විජ්ජා පෙන්වීමේ වැඩපිළිවෙලකට ආණ්ඩුව යොමු වී ඇත.

යුද්ධය නිමා වී සිව් වසරක් ගෙවී යද්දීත් ලංකාව තවමත් මැද පෙරදිග වහල් සේවයට යන කාන්තාවන් විසින් රටට එවන මුදල් මත රඳා පවතින ලජ්ජා සහගත ආර්ථිකයකි. 

යුද්ධයේ අවසානය විසින් ලංකාව ඉදිරිපිට විවර කරන ලද අවස්ථාව නාස්ති වී හමාරය. 

සිඟන්නාගේ තුවාලය පැසවන විට එයින් ඇති වන දුකම සිය ජීවනෝපාය කරගැනීමට ඔහු පෙළඹෙන්නා සේ ජනතා අසහනයම සිය පැවැත්මේ ක්‍රමෝපාය බවට පත් කරගැනීම රාජපක්ෂ පාලනයේ දේශපාලන උපායමාර්ගය වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් තහවුරු කිරීම පිණිස එල්ල වන ජාත්‍යන්තර පීඩනය සිය අභ්‍යන්තර ස්ථාවරත්වය ගොඩනඟාගැනීමට යොදා ගැනීම ලෝවැඩසඟරාවේ 'ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපතක් යයි කකුළුව දිය කෙළියේ' යන පද්‍යය සිහිගන්වයි. 

සිය බලය රැක ගැනීම සඳහා රාජපක්ෂ පාලනය විසින් වර්තමානයේදී දිරි ගන්වනු ලබන සිංහල බෞද්ධ නාසිවාදය වැඩිම හානිය කරන්නේ දෙමළ හෝ මුස්ලිම් ජාතීන්ට නොව සිංහල ජාතියටමයි.

දැන් ඉතින් මේ රටේ බුද්ධිමත් ජනතාව 'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න