කාලයේ ඝන කැලෑවෙන් වැසී ගිය “ඉඳුරුපිටිය ඉස්කෝලෙ”

 

බුද්ධික ප්‍රදීප් අතුකෝරළ

බස්නාහිර පළාතෙ වලල්ලාවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත්ව තිබූ ඉඳුරුපිටිය ඉස්කෝලෙ දැන් තත්වය ගැන හොයලා බලන්න අද මාත් ඉඟුරුදළුව ඉස්කෝලෙ ගුරුවරු දෙන්නෙක් වන රොශාන් සහ නුවන් ප්‍රසන්න මහත්වරු දෙන්නා එක්ක ගියා.

මගේ මතකය නිවැරදිනම් ඒ ඉස්කෝලෙ වැහුනෙ 1990 ගනන්වල වෙන්න ඕන. ඇත්තටම ඒක අති දුෂ්කර පාසලක්. යන්න එන්න හරි හමන් පාරක් තොටක් අදටත් නෑ. අපි ගියෙත් ජල දුර්ඝ වන දුර්ඝ පහු කරන්. බොරලුගොඩ රිචල් මුදලාලිලගෙ ගේ ගාවින් උඩහට ගිහින්.

පලයන් කියලා යන්න ලෑස්තිවෙලා ඇහුවහම තාත්තා කිව්වා. තාත්තා ඒ දවස්වල ඕවයෙ නොගිය තැනක් නැතුව ඇති. ඒනිසා මැප් එකට වඩා එයා කියන පාරවල් ශුවර්.

කොහොමින් හරි තැන හොයාගන්න එක ලේසි උනේ නෑ අපි තුන් දෙනාට. නුවන් අයියා දහම් පාසල් යන කාලෙ නාට්‍යයක් පුරුදු වෙනවා බලන්න ආපු මතකයක් තියනවා කියලා කිව්වා. කොහොමින් හරි ගමේ මනුස්සයෙක්ගෙන් හටියටම ඉසව්ව හොයාගෙන ආවා. කැලෙන් වැසී ගිය පඩි පෙලක් නැඟලා ගොඩනැගිල්ල තිබ්බ තැන හොයා ගත්තා. ඒක අසූවයි විස්සෙ වේදිකාවක් සහිත විශාල ගොඩ නැගිල්ලක් කියලා ඉතිරිව තිබ්බ බිත්ති කෑලි වලින් සහ කණුවලින් තේරුම් ගන්න පුළුවන් වුණා.

ඉස්කෝලෙ පිළිබඳව හරි හමන් විස්තරයක් දැන ගන්නෙ කාගෙන්ද කියලා කල්පනා කරකර ඉන්නකොට මට එක පාරටම අපේ හිටපු කොළඹ දිස්තික් ලේකම් සුනිල් කන්නන්ගර මහත්තයව මතක් වුණා. එතන ඉඳන්ම කෙටි පණීවිඩයක් යැව්වා ඉඳුරුපිටිය ඉස්කෝලෙ ගැන මොනවගේ මතකයක්ද තියෙන්නෙ කියලා.

“ඔය ඉස්කෝලෙ ඔය පැත්තෙ තිබුණ පරණ ඉස්කෝලයක්. අතලෙ ඉස්කෝලෙ ආරම්භ කළේ 1910. ඒ ආසන්න කාලයක තමයි ඉඳුරුපිටියත් ආරම්භ කරලා තියෙන්නෙ. අතලෙ අබේජීව මහත්තයා ඉන්න කාලෙ ඕකෙ හිටියෙ කොතලාවල මහත්තයා. ඉඟුරුදළුවෙ ආරම්භක විදුහල්පති මද්දහෙට්ටි මහත්තයා ඉගෙන ගත්තෙත් ඔය ඉස්කෝලෙ. දෙවන ලෝක යුද්ධෙ වෙලාවෙ කොළඹට බෝම්බ ගහද්දි, බෝම්බ ගැහුවොත් බේරෙන්න කියලා කන්ඩියෙ උමගක් කපන්න පටන් අරන් කොහොමින් හරි ඒ උමගෙ පස් කණ්ඩියකට යට වෙලා ළමයෙක්ව මැරිලා. ඒකට අහුවෙලා ජීවිතේ බේරගත්ත එක්කෙනෙක් තමයි අපේ බාප්පා ගුණේරිස් කන්නන්ගර කියන්නෙ. තව ඔය ඉස්කෝලෙන් මුලින්ම සාමාන්‍ය පෙල පාස් උනෙත් අපේ මාමා 1950 ගනන්වල”

ඔය තියෙන්නෙ සුනිල් කන්නන්ගර මහත්තයා මගේ කෙටි පණිවිඩේට එවලෙම එවපු විස්තරේ. ඉස්කෝලෙන් පහළ තමයි ගුරුනිවාසය තිබිලා තියෙන්නෙ. ඇත්තටම ඒක මධ්‍යම පාන්තික නිවසක් වගෙයි. ඒක දෙමහල් නිවසක් දන් ජරාවාස වෙලා වවුල්ලු පදිංචිවෙලා. ඒකෙ අයිති කාරයො දැන් උන්. වල් වැදුනු මිදුලේ තිබ්බ පැරණි සුවිසල් බෙලි ගහ මේ සේරම ඉතිහාසය දකින්න ඇති කියලා හිතුනට කොහෙද ගස් වලට කතා කරන්න පුළුවනෑ….

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා