මා ගිය මුහුදු ගමනක්
මේක මහලොකු අත්දැකීමක් නෙමෙයි. මෙතන ඉන්න අයට මීට වඩා බොහෝ අත්දැකීම් ඇති. මේක මට මැජික්. මට වගේම අපේ රටේ ජනගහනයටත් මැජික් ඇයි කියන එක මං ලිපියේ අග හරියෙ කියනවා.
1989 කැරැල්ලෙන් පස්සෙ නිදහස් වෙලා ඇවිත් මං අපිත් එක්ක එකට වීරවිල හිටපු බන්දු අයියගෙ ටැංකි බෝට්ටුවෙන් දවස් හතක විතර මුහුදු ගමනකට සහභාගී වුණා. ඒ පුංචි බෝට්ටුව කොච්චර අබලන් එකක්ද කියනවා නම් හැමදාම හවසට ධීවරයෙක් පතුලට බැහැලා වතුර බාල්දි විස්සක් විතර ඉහලා දානවා.
මුහුදු ගමන පිටත් වුණේ අපි හතර දෙනෙකු බේරුවලින්. මං පුංචි අත්උදව් කළා මිසක් ලොකු වැඩක් කළේ නැහැ. රෑ නිදාගන්න එක පුදුම අමාරු වැඩක් වුණා. කැබින් එක යට මිනී පෙට්ටියක් වගේ ඉඩක තමයි දෙන්නෙක් නිදාගත්තෙ. මට ක්ලොස්ට්‍රොෆෝබියා නිසා එතන නිදාගන්න තියා එතනට බහින්නවත් බැරි වුණා. ඊට උඩින් ලෑලි දාලා ඒක උඩ අනෙක් දෙන්නා නිදාගත්තා. බන්දු අයියා උස මිනිහා. එයාගෙ කකුල් දෙක කැබින් එකේ දොරෙන් එළියට දාගන්නවා. කැබින් එකේ දිග අනුව මං නිදාගන්නට ඕනැ කකුල් අකුලගෙන. එහෙම නින්ද ගියේ ටික වෙලාවයි.
මේ බෝට්ටුව යද්දියි, එද්දියි ප්‍රධාන නැව් මාර්ගයේ දැල් එලුවා. ඒක රෑට සුරපුර සේ ප්‍රීති සාර වේ. ඒ කියන්නෙ ලයිට් දාපු නැව්වලින් මුහුද පිරිලා. නැවක් එක සිතිජයකින් මතු වෙලා අනෙක් සිතිජයෙන් නොපෙනී යන්න පැය දෙකක් විතර ගතවෙනවා. හැම තිස්සෙම නැව් දහයකට වඩා මුහුද පුරා. මේ සමහර නැව් ඇඟටම එනවා. එහෙම එක වතාවක අපි රෑ නැගිටලා වක් පිහියත් ලෑස්ති කරගෙන හිටියෙ දැල කපාගෙන නැව ගියොත්, බෝට්ටුව ඇදිල යන එක වළක්වන්න දැල කපන්න.
බන්දු අයියා බිව්වෙ නැහැ. අනෙක් ධීවරයන් දෙන්නාත් බිව්වෙ නැත්තෙ ඇයි කියන එක මං දන්නෙ නැහැ. මං වීරවිලදි නායකයෙකු වගේ හිටපු නිසා මට නොපෙනෙන්න හොරෙන් බිව්වද දන්නෙ නැහැ. හැබැයි, කට්ටියම දුම් බිව්වා. මං එතකොට ඒකත් නැහැ. සිගරැට් ටික ඔක්කොම දවස් කීපයකින් ඇදලා දාලා, බීඩි මිටි ගානකුත් ඉවර කරලා, ගැඹුරු මුහුදෙදි කෑමයි වතුරයි විතරයි අන්තිමට ඉතුරු වුණේ. කට්ටියට සික් වගේ. ගැඹුරු මුහුදෙදි සමහර දවස්වල දවසටම බෝට්ටුවක්වත් දකින්නට ලැබුණෙ නැහැ. ඒ වගේ වෙලාවක ඈත බෝට්ටුවක් දැක්කොත්, දෙගොල්ලොම පැය ගානක් තිස්සෙ එකිනෙකාට ළං වෙනවා. කොහෙන්ද ආවෙ අරව මේවා කතා කරනවා. බීඩි, බුලත් විට එහෙම හුවමාරු කරගන්නවා. මාළු අහුවුණාද ඇහුවම කියන්නෙ වැඩක් නෑ පාඩුයි කියලමයි. ඒගොල්ලන් යනකොට බන්දු අයියා කියනව එතකොට යකෝ ඔය බෝට්ටුව ඔච්චර බර වෙලා තියෙන්නෙ මොනවයින්ද කියලා.
බන්දු අයියට නම් ඇත්තෙන්ම ඒ ගමන පාඩුයි. ඒ කාලෙ වළාල කාලයක්. කරමල් දැල්වලට එච්චර මාළු අහු වුණේ නැහැ. දවස් දෙකක් විතර අපි දැල් එලපු මුහුදෙ කල්බ කියලා කලාමැදිරි වගේ එළිය දෙන මුහුදු පැළෑටි වර්ගයකුයි, ජෙලි වගේ පාසි ජාතියකුයි තිබුණා. ඒ නිසා මාළු හිටියෙම නැති තරම්.
බෝට්ටුවෙ කැබින් එකේ ලී පටියක් අල්ලගෙන බෝට්ටු බඳ උඩ වාඩි වෙලා මළපහ කරන එක තමයි පුදුම අමාරු වැඩක් වුණේ. පස්ස හෝදන්න, අත් හෝදන්න, මූණ හෝදන්න, නාන්න වතුර නැහැ. එහෙම මළපහ කරන්න ට්‍රයි කරන වෙලාවල බෝට්ටුව ඒ පැත්තටම නැවෙනවා. මුහුදට වැටුණොත් අබ සරණයි. ධීවරයන් තුන්දෙනෙකු හිටියට උන් එකෙකුටවත් පීනන්න බැහැ. මට විතරයි ටිකක් හරි පුළුවන් වුණේ.
මගේ ජීවිතේට මතක ඉන්න තරම් ඩොල්ෆින් දැක්කා. උන් බෝට්ටු බඳ ළඟටම ඇවිත් සර්කස්කාරයන් වගේ කරනම් ගැහුවා. ඩොල්ෆින් එක්ක කෙළවල්ලා ඉන්න නිසා ඈත ඩොල්ෆින් අයිනක් දැක්ක හැටියෙ ඒ දිහාවට බෝට්ටුව පදවනවා. බිලී දාලා බලයන් කෙළවල්ලන් බානවා. ඇවුලුම් බිලියෙනුත් අල්ලනවලු. මාළු අයිනක් දැක්කම ධීවරයන්ට ඉවසුම් නැහැ. එක සැරයක් පාවෙන ලොකු කඹයක් වටේ ඒ වගේ දැවැන්ත මත්ස්‍ය ජනපදයක් හමු වුණා. පාරිභෝගිකයන් මාළු ගණන් අහලා උන් හරියට මාළුන්ට කන්න බොන්න දීලා හදනවා වගේ කීවට මාළු අල්ලන එක දඩයමේ යනව වගේ අමාරු වැඩක්. කැබින් වහල උඩ පවා එක්කෙනෙක් නැගගෙන ඇස් පුංචි කරගෙන බලාගෙන යනවා ඈත කොහේ හරි මාළු අයිනක් පේනවාද කියලා.
පොල් ගහක් විතර උඩට වතුර කඳක් ප්‍රශ්වාස කරපු තල්මහෙකු අනෙක් පැත්ත හැරිලා යනකොට උගේ දැවැන්ත වරලයි, පිටයි දැක්ක එකත් සදා අමතක නොවන මතකයක්.
ආපහු එනකොට මං නම් දැඩිව හෝම් සික් වෙලා හිටියෙ. එක වතාවක් මට බෝට්ටුව පදවන්න දීලා බන්දු අයියා නිදාගත්තා. මං ඈත පෙනෙන ගොඩබිම දිහාවටම අල්ලලා පැදෙව්වා. ධීවරයෙකු කිව්වා ඔය පැත්තට නෙමෙයි උතුරට යන්න කියලා. ඒ වුණාට මට හෝම් සික්නෙ. බන්දු අයියා නැගිටලා ඇවිත් බලලා මට මොකුත් නොකියා අනෙක් පැත්තට බෝට්ටුව පැදෙව්වා. ටිකකින් ගොඩබිම නොපෙනී ගියා.
බේරුවල වරාය පිටත මුහුදෙදි රෑ නැවත දැල් එලුවා. එදා බෝට්ටුව මාර දියවැලකට අහුවුණා. දැල අකුලගන්නකොට ගොඩබිම සම්පූර්ණයෙන්ම නොපෙනී ගිහින්. පැය ගානක් ආපහු ඇවිත්, වරාය කිට්ටුවදි දැල්ලන් අල්ලලා මුහුදු වතුරෙන්ම උයාගෙන කෑවා. පාන්දර වඩදිය අල්ලලා තමයි වෙරළට ආවෙ.
මට වදෙන් පොරෙන් ලොකු මාළුවෙකු ඔතලා දුන්නා. මං පාන්දර අලුත්ගමට ඇවිත් මාළුවාත් අරන් බස් එකේ ගෙදර ආවා. ගොඩ බැහැලා ටිකක් වෙලා යනකල් පැද්දි පැද්දී හිටපු මං ගෙදර ගියාම හම යන්නට පටන් ගත්තා. ඒ කාලෙ මං ඇක්වයිනාස් එකේ පුවත්පත් කලාව ඉගෙන ගන්නවා. සතියක් විතර ඒකට ගියෙත් නැහැ කළු වැඩි නිසා.
ඒ කාලෙ මට රජයෙ රස්සාවක් ලැබිලා, වැලේ වැල් නැතුව ඉඳිද්දිත් අවදානම් තීරණයක් අරගෙන ඒ රස්සාවට නොගිහින් ඉංග්‍රීසි ගුරු පත්වීමක් එනකල් බලාගෙන හිටියෙ. මං මුහුදෙ ඉඳිද්දි ඒක මිස් වෙයිද කියලාත් බයක් තිබුණා. බන්දු අයියා මට කිව්වා ඕවට ගිහින් කවද හැදෙන්නද මහත්තයො අපිත් එක්ක දිගටම මුහුදු යමු කියලා. බන්දු අයියා හොඳ මරක්කලේ. අතේ මාළුවෙකුගෙ පිංතූරයක් එක්ක සාගරේ ජීවිතේ කියල පච්ච කොටලා තියෙනවා. පපුවෙ සල්ලි අපට විහුළු කරයි කියලා කොටලා තිබුණා. විහිළු නෙමෙයි විහුළු. ඊට පස්සෙ මට බන්දු අයියා මගහැරුණා. දැන් ඔහු බේරුවල ලොකු ව්‍යාපාරිකයෙකුලු.
ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර්ගෙ ‘ද ඉන්දියා වේ’ කියන පොතේ ,ඉන්දීය සාගරය අවට ලංකාව වගේ රටවල ජනතාව මුහුදෙන් ඈත් වුණ හැටි ගැන සාකච්ඡා කරනවා. මේ බොහෝ රටවල මුහුදු ප්‍රජාව වෙරළේ ඉඳලා ඉතා පටු දුරකට සීමා වෙලා. මතුගම ඉඳලා වුණත් මුහුදු වෙරළට සැතපුම් දුසිමක්වත් නැහැ. ඒ වුණාට මුහුද එක්ක සම්බන්ධකම තියෙන්නෙ බේරුවල ඉඳලා යතුරුපැදිවල මාළු පෙට්ටිය බැඳගෙන එන මාළුකාරයන් නිසා විතරයි. වෘත්තීය ධීවරයන් අපේ ගම්වල ඇත්තෙම නැති තරම්. ඒ වුණාට සමහර තරුණ තරුණියන් කොරියාවෙ ගිහින් ධීවරයන් වුණා. ඒ අයවත් ලංකාවට ආපහු ඇවිත් මුහුදු රස්සාවට යොමු වෙන්නෙ නැහැ.
ලංකාවට ලොකු නීල ආර්ථිකයක උරුමය තියෙනවා. ඒත් එහි ආර්ථික ප්‍රතිලාභ නෙළාගන්නට නම් රටේ ජනතාව මුහුදට යොමු විය යුතුයි. ධීවර කර්මාන්තය එහෙම නවීකරණය විය යුතුයි. කොටින්ම මේ පිංතූරෙ තියෙන මුග්ධ මට්ටමෙන් උඩට නම් අනිවාර්යයෙන් ආ යුතුයි.
වෙරළබඩ ජනතාවක් විදියට අප නැවත මුහුද වෙත යොමු විය යුතුයි. එහෙම නොකර දේශීය කර්මාන්ත ගැන බොරුවට කයිවාරු ගැහුවට වැඩක් නැහැ. ජයසංකර් මහත්තයගෙ පොත ඒ කාලෙ කියවලා තිබුණා නම් මං බන්දු අයියා කියපු එක අහනවා.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.