දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

 

අජිත් පැරකුම් ජයසිංහ

ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින් අවශ්‍ය පරිවර්තන සිදු කිරීමටය. විප්ලවීය බලහත්කාරයක් යනු වෙනස් තත්වයකි. එහිදී විධායකය සෙසු අංශ යටපත් කරගෙන කටයුතු කරයි. ඒකාධිපතිත්වයක් ද ඒ හා සමානය.

ශ්‍රී ලංකාවේ නම්, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අවබෝධයෙන් කටයුතු කරන ස්වභාවයක් දක්නට නොලැබේ. මේ තුනම වෙන වෙනම ගත් කල කටයුතු කරන්නේ එකිනෙක අංශ කෙරෙහි අන්‍යෝන්‍ය ගෞරවයකින් නොවන බව පෙනේ.

පොලිස්පතිවරයා තෝරා පත් කරගැනීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමින් අර්බුදකාරී තත්වයක් නිර්මාණය කිරීම, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් වීම, ඔහු මානව හිමිකම් උල්ලංඝනයක වරදකරුවකු බවට පත් වීම, කාදිනල්වරයා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් නඩු පැවරීම හා පොලිස්පතිවරයා තනතුරෙහි රාජකාරි කිරීම අධිකරණය විසින් වාරණය කිරීම එක පසුපස එක බැගින් සිදු වූ සංයුක්ත සිදුවීම් පෙළකි.

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ නියෝජිතයන් පවා පත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට මිස, දේශපාලන කුමන්ත්‍රණ යයි අනුමානය කළ හැකි සෙවල තීරණ ඔස්සේ කඩාකප්පල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීමට නොවේ. අමුවෙන්ම කියනවා නම්, මෙම සිවිල් සමාජ නියෝජිතයන් දෙදෙනා එක්කෝ පක්ෂව, නැතිනම් විරුද්ධව ඡන්දය දිය යුතුව තිබිණි. පොලිස්පති අර්බුදය නිර්මාණය කිරීමට මූලික වන්නේ මෙම ඊනියා ස්වාධීන සිවිල් සමාජ නියෝජිතයන් දෙදෙනාය. ඔවුන් පක්ෂව හෝ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබිණි.

ස්වාධීන යයි කියන කොමිෂන් සභාවලට පත්වීම සිවිල් සමාජය තුළ අලුතෙන් බෝවෙන ප්‍රභූ රෝගයකි. එසේම එය වරප්‍රසාද සහිත ප්‍රභූ තත්වයකි. ඇතැම් කොමිෂන් සභාවල සාමාජිකයන්ට ඇති වැඩක් නැත. සමහර ඒවාට වැඩ තිබෙන්නේ සමහර කාලවලට පමණි. විවේක කාලයේදී රාජ්‍ය නොවන සංවිධාන සමග රට පුරා රස්තියාදුවේ යමින් ඒවායින් කන, බොන, හෝටල්වල ලගින, ඊනියා ස්වාධීන කොමිෂන් පාළුවන් පිරිසක් ද දැකිය හැකිය. ඇතැම් කොමිෂන් පාළුවන්ගේ අරමුණ නැවත වතාවක් එම කොමිෂමටම හෝ වෙනත් කොමිෂමකට පත් වීමයි. ඒ සඳහා ඔවුන් කරන්නේ දේශපාලන සුළං හමන අත දෙස බලාගෙන පන්දම් ඇල්ලීමයි.

2022දී රට භාර ගැනීමට බිය වූ විපක්ෂ නායකයා කඩාකප්පල්කාරීත්වයන් ප්‍රවර්ධනය කරන වගකීමකින් තොර පුද්ගලයෙකි. ජනාධිපති වීමේ දැඩි පෞද්ගලික උන්නතිකාමයකින් කටයුතු කරන ඔහුට ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් හෝ ඉවසීමක් නැත.

අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යයට එරෙහි ඇරියස්කාර දේශපාලනය 2022 අරගලයේ පරාජය හමුවේ පසුබැසීමට සූදානම් නැත. මිනිසුන් මහ මග පොලු ගසා මරා දැමීම, ගෙවල් හා වාහන ගිනි තැබීම වෙනුවට දැන් ඔවුහු ඊට වඩා සියුම් ක්‍රියාමාර්ග ඔස්සේ සිය බල පරාක්‍රමය පතුරුවමින් සිටිති.

සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යයේ සංකේතීය නායකත්වය මහින්ද රාජපක්ෂය. ඔහුට විකල්පයක් තවමත් නිර්මාණය වී නැත. ඔහු මෙන්ම ඔහුගේ බලවේගය ද, ඔහු ආරක්ෂා කරන වත්මන් නායකත්වය ද පරාජය කර සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික ආධිපත්‍යවාදී දේශපාලනය පරාජය කිරීම එයට විරුද්ධ බලවේගයේ අරමුණයි.

සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යය ඉතිහාසයක් මුළුල්ලේ කටයුතු කර ඇති ආකාරය අනුව, සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි නොවන බලවේගවල නායකයන් දැඩි හීනමානයකින් හා වෛරයකින් කටයුතු කිරීම පුදුම විය යුතු තත්වයක් නොවේ. හේතුව, නිදහසින් පසු ශ්‍රී ලංකාව නිර්මාණය කරනු ලැබුවේ ඉහත කී අධිපති බලවේගය විසින් වීමයි. ශ්‍රී ලංකාව නම් රාජ්‍යය නිර්මාණය කළේම ජනවාර්ගික, කුල, සමාජභාවී සුළුතරයන් සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය අධිපතිවාදයට යට කරමිනි. එහෙත්, මුළුමනින් බැහැර කිරීමක් තිබුණේ නැත. අධිපතිවාදයට යටත් වූ සුළුතරයන්ට අවස්ථා ද තිබිණි.

මෙය ලෝකයේ හැම තැනකම එවැනිය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවන් ලෙස පෙනී සිටින ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය තුළ ඉදිරි ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හා කමලා හැරිස් තරගයක් නිර්මාණය වුවහොත් මෙය පැහැදිලිව දැකිය හැකි වනු ඇත. ලෝකයේ හතර දිග්භාගයෙන් පැමිණි සංක්‍රමණිකයන්ගෙන් නිර්මාණය වූ රටවල පවා මුල් හා පසු කාලයේදී මුලින් පැමිණි ප්‍රජාවනුත්, බහුතර ප්‍රජාවනුත් භූමිපුත්‍රයන් ලෙස අධිපතිවාදය පතුරවන ආකාරය පැහැදිලිව දැකිය හැකිය. එවැනි භූමිපුත්‍රයන් කරන්නට අකැමැති දුෂ්කර රැකියා සඳහා ඒ රටවලට සංක්‍රමණය වී ලංකාව දෙස බලාගෙන දිගින් දිගටම විරවන ශ්‍රී ලංකාවේ විදේශගත දෙමළ, සිංහල ආදී ප්‍රජාවන්ගේ සාමාජිකයෝ මේ තත්වය හොඳින් දනිති. ලංකාවේ සමානාත්මතාව ගැන ඔවුන්ට කැක්කුම වැඩි වන්නේ ඒ රටවල ඔවුන් අතපල්ලෙන් වැටෙන තරමටය. ලංකාව හදන්නට කැක්කුම වැඩිම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල්වලට ගොස් බලන්න. ඔවුන් එම රටවල පැරණි පුරවැසියන්ට යවන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් පවා ඔවුන් පිළි නොගන්නා බව ඔබට දැකිය හැකි වනු ඇත. භූමිපුත්‍රයන්ගේ තත්වය එයයි.

ලංකාවට කවදා හෝ වෙන්නට ඉඩ තිබුණු බංකොලොත් වීම සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යයේ සංකේතීය නායකයන් වන රාජපක්ෂ පවුලේ පාලනය තුළ සිදු වීම ඇරියස්කාර සුළුතර බලවේගවලට කදිම අවස්ථාවක් විය. 2022 අරගලයේ නායකත්වයේ සිටි බලවේගය නම් වශයෙන් ගෙන විමසා බලන්න. ඒ වනාහි සිංහල, බෞද්ධ, ගොවිගම නොවන බලවේගයකි. සුළුතර ලිංගික ප්‍රජාවන් ද එයට ඇල්මෙන් සහභාගී වූ මුත්, අරගලය ද පිරිමි මූලික එකක් වූ හෙයින් එහි කාන්තා නායකත්වයකටවත් අවස්ථාව ලැබුණේ නැත. අරගල නායිකාවක වූ ජීන් ආන්ටි පළවාහැරීම මගින් නිරූපණය වූයේ එයයි.

සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි නොවන බලවේගයේ බලය සඳහා වූ අරගලයේ වාසිය ඇත්තේ සජිත් ප්‍රේමදාසටය. එම බලවේගයේ ඊනියා පඬිවරුන්ට සජිත් ප්‍රේමදාස මදිය. එහෙයින් ඔවුහු සජිත් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට මැලිකමක් දක්වති. එහෙත්, ඔවුන්ට සිටින නායකයා ඔහුය. ඔවුන්ගේ අර්බුදය ද එයය.

සිංහල, බෞද්ධ, ගොවිගම ප්‍රජාව සංඛ්‍යාත්මක වශයෙන් බහුතරයයි. සෙසු සියලු ප්‍රජාවන්ගේ එකතුවට වඩා සංඛ්‍යාත්මක බලයක් ඔවුන්ට ඇත. සෙසු ප්‍රජාවන් වනාහි විසිරුණ බලවේගයකි. ඔවුන්ට ස්ථිර ඒකරාශි වීමක් නැත. අරමුණු විවිධාකාරය. සිටින එකම නායකයා සජිත් වුව ද ඔවුන් අඩු තරමේ එම නායකත්වය ප්‍රසිද්ධියේ පිළිගැනීමටවත් කැමති නැත. මෙවැනි බලවේගයක් විසින් බලයට ගෙන එන නායකයකුට සිදු වන්නේ ඉක්මනින්ම ජන සහයෝගය අහිමි වීමයි. රට නැවත විපතට පත් වීමයි.

2022දී ලංකාවට අත්වෙන්නට තිබූ ඉරණම වැළකුණේ ද සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික දේශපාලන බලවේගයේ ගලවා ගැනීමේ මෙහෙයුම නිසාය. රනිල් වික්‍රමසිංහට නායකත්වය හිමි වීම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඔහුට හිමි වීම එම ඉරණම වැළැක්වීමට ඉවහල් විය. ඉතා සරලව කියනවා නම්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ටිරාන් අලස්ගේ පොලිසිය විසින් කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩ බලවේගය මර්දනය කිරීම වත්මන් තත්වය නිර්මාණය කිරීමට හේතු විය. එහෙත්, එම මර්දනය විසින් සිංහල, බෞද්ධ, ගොවිගම නොවන බලවේගවල වෛරය තව තවත් උග්‍ර කර තිබේ.

මේ වන විට පාස්කු බෝම්බකරුවන්ට කිසිදු හානියක් නැත. ජවිපෙ ජාතික ලැයිස්තුවක සිටි ඊබ්‍රාහිම් වැනි ත්‍රස්තවාදී සැකකරුවන්ට ඇප ලැබී ඇත. නඩුවක් තිබියදීත්, කෝ නඩු යයි ජවිපෙ නායකයෝ පවා අසති. සෙසු ත්‍රස්තවාදී සැකකරුවන්ට චෝදනා ගොනු කර ඇති ආකාරයම විසුළු සහගතය. එම නඩුවල අවසානයක් දැකීම පහසු නැත.

ඒ අතර, මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වී තිබෙන්නේ සිංහල බෞද්ධ ප්‍රභූන් පිරිසකි. ඒ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ වළක්වා ගැනීමට අසමත් වීමයි. මේ අතර, ඊට වඩා ප්‍රබල මහමොළ ප්‍රබන්ධයක් ද ඇත. එය තනිකරම සිංහල බෞද්ධ නායකයන් ඉලක්ක කරගත් එකකි. එසේම, බෝම්බකරුවන් හා ඔවුන් පසුපස සිටි බලවේග වගකීමෙන් ගලවා ගැනීමේ මෙහෙයුමකි. එහෙම බැලූ කල, පාස්කු ප්‍රහාරවල මහමොළ ගැන වෙනස් ප්‍රබන්ධයක් ද නිර්මාණය කළ හැකිය. එහෙත්, අපි එවැනි බාල කුමන්ත්‍රණ න්‍යාය ප්‍රවර්ධනය කරන්නේ නැත.

පොලිසියේ නායකත්වය සම්බන්ධයෙන් වර්තමානය වන විට නිර්මාණය වී තිබෙන අර්බුදය වාසිදායක වන්නේ කාටද යන්න විමසා බැලිය යුතුය. පසුගිය සමයේ කඩාකප්පල්කාරීන්ට හා පාතාලයට එරෙහිව නිර්භීත අන්දමින් කටයුතු කළ ටිරාන් අලස් ඇමතිවරයාට මෙහි දැඩි බලපෑමක් තිබේ. එසේම, අවදානම් ගනිමින් රාජකාරි කළ පොලිස් නිලධාරීන් ද මෙම අර්බුදය හමුවේ පත්වන්නේ දැඩි අර්බුදයකටය. ලංකාවේ පොලිස් සේවය කටයුතු කරන්නේ වෘත්තීය සංවර්ධනය, යටිතල පහසුකම්, වැටුප්, පෞද්ගලික ආරක්ෂාව හා සමාජ පිළිගැනීම පිළිබඳ ගැටලු රාශියක් ඔස්සේය. ඔවුන් නැගී එන කඩාකප්පල්කාරීත්වයන් හා අපරාධ සමග කටයුතු කරන්නේ කෙතරම් දුෂ්කර තත්වයක් යටතේ ද යන්න තේරුම් ගැනීමට උනන්දුවක් සමාජයේ නැත. පොලිසියේ මානසික ශක්තිය බිඳ දැමීම කඩාකප්පල්කාරින්ට හා අපරාධකරුවන්ට විශාල රුකුල් දීමකි.

නිර්මාණය වී ඇති තත්වයේ අවසාන වාසිය කඩාකප්පල්කාරීන්ට, පාතාල අපරාධකරුවන්ට හා මොන අන්දමින් හෝ බලය ගැනීමට කෙළ හලන වැඩපිළිවෙලක් නැති බල පෙරේතයන්ටය.

අපි මුල සිටම සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යය ප්‍රතික්ෂේප කළෙමු. මා ශ්‍රී ලංකාව යන යෙදුම පාවිච්චි කරන්නේ රජය හැඳින්වීමට පමණි. මගේ රට ලෙස මා සලකන්නේ ලංකාවය. එය අප විසින් ගොඩනැගිය යුතුව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී, සියල්ලන් ඇතුළත් කරගන්නා සමාජයයි. ලංකාව නිර්මාණය කළ හැක්කේ එහි බහුතර ප්‍රජාව බැහැර කර හෝ යටපත් කර නොවේ. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තහවුරු කරමිනි. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යය විසින් නිදහසින් පසු අතීතයේ කරන ලද වැරදි නිවැරදි කළ යුතුය. ඒ වෙනුවෙන් එම ප්‍රජාව වෙතින් සූදානමක් දැකිය හැකිය. එය දිරිගැන්විය යුතුය. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යයට එරෙහි විරෝධයේ නමින් එන පුළුල්ව හා ගැඹුරට පැතිරුණු කඩාකප්පල්කාරීත්වය පරාජය කළ යුතුය. එම කඩාකප්පල්කාරීත්වයට ගොදුරු නොවී සිටීම ද පහසු නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා