ගැමියකුගේ බ්‍රෝඩ්බෑන්ඩ් ජංජාල අත්දැකීම
මං ඉතින් ගමක ජීවත් වෙන මිනිහෙක් නේ. කාට හරි ඔය බ්‍රෝඩ්බෑන්ඩ් සංවාදයට වැදගත් ය කියා හිතෙනවා නම් මේ අදහස් ටිකත් ගන්න පුළුවන්.
මං නම් ඔය බ්‍රෝඩ්බෑන්ඩ් ගැන එච්චර දන්නෙ නැහැ. ගම්වල ඉන්න අපට ලැබෙන බ්‍රෝඩ්බෑන්ඩ් ඇත්තෙන් ම හරි ම නැරෝබෑන්ඩ්. අපි ඔව්වයෙ වේගෙ මනින්න යන්නෙ නැහැ. මැනලා වැඩක් නැහැ. යන්තං ෂේප් කර ගන්නවා. ඒකයි ගමේ ඇත්ත. හැබැයි, අපි අපට අදාළ ක්ෂේත්‍රවලදී ගමේ ය කියලා ගොඩේ විදියට වැඩ කරලාත් නැහැ කියලා කියන්න ඕනැ.
මං දැන් මේ අන්තර්ජාලය හරහා මාධ්‍ය හා ව්‍යාපාර කටයුතු කරන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් වෙනවා. මං වෙබ් අඩවි, බ්ලොග්, සමාජ මාධ්‍ය කටයුතු වගේ ම පසුගිය වසර 10ක් තිස්සේ සාර්ථක පරිවර්තන හා අන්තර්ගත රචනා ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරගෙන ගිය කෙනෙක්.
මං මේක පටන් ගත්තෙ ලංකා බෙල් එකේ සීඩීඑම්ඒ දුරකථනයකින්. 2005 විතර කාලෙ ඒ වෙනුවෙන් මාසෙකට රු. 4000ක විතර බිලක් ගෙව්වා.
2007 විතර වෙනකොට දේශපාලන හේතු නිසා මට ගුරු රැකියාව අහිමි වුණා. ඉන් පසුව අන්තර්ගත රචනය හා පරිවර්තනය තමයි මගේ ප්‍රධාන රැකියාව වුණේ. අවුරුදු තුනකට විතර පසුව රැකියාව නැවත ලැබුණත් ඒ තත්වය දිගට ම තිබුණා.
ඔය කාලෙ ටෙලිකොම් එක මතුගම පැත්තේ බ්‍රෝඩ්බෑන්ඩ් දුන්නා. අපේ ගෙදර දුරකථනයක් තිබුණේ නැහැ. මං එකක් ඉල්ලුවා. ඇවිත් මැන්නා. ලූප් තිබෙන බවත් කිව්වා. මේක මනිනවා අපේ ඉස්සරහ ගෙදර ඉන්න වෘත්තීය ඉරිසියාකාරයා දැක්කා. මෑන්ස්ගෙ නංගි මතුගම ටෙලිකොම් එකේ රස්සාවක් කළා. දුරකථනය ගැන හාහූවක් නැතිකොට මම විපරම් කෙරුවා. මෙන්න බොලේ ලූප් නැහැ කියපි.
දැන් මොකද කරන්නෙ? අපේ අල්ලපු ගෙදර, ඒ කියන්නෙ තාත්තායි, අම්මායි ඉන්න ගෙදර ටෙලිකොම් දුරකථනයක් තිබුණා. මං ඒක නිල මාර්ග ඔස්සේ අපේ ගෙදරට මාරු කර ගත්තා. තවමත් ඒ දුරකථනය තිබෙන්නෙ අපේ තාත්තගේ නමට. ඒකට බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න මට කලුතර ටෙලිකොම් එකට යන්න වුණා. එක්ස්චේන්ජ් එකේ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටර් පහයි මීටර් 100ක් තියෙන නිසා බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්න බැහැ කිව්වා. ඒත්, මං දැඩිව ඉල්ලා සිටියාම මගෙන් ලියුමක් ගත්තා වේගය අඩු වුණාට ඒගොල්ලන් වග කියන්නේ නැති බවට මං එකඟ වෙනවා ය කියලා.
ඔන්න ඊට පස්සෙ ටෙලිකොම් එකෙන් ලියුමක් ආවා ඔබගේ දුරකථනය දෙන්න පුළුවන්, සල්ලි බඳින්න ය කියලා.
මේ අන්තර්ජාල සම්බන්ධතාව මං අවුරුදු පහක් විතර පාවිච්චි කළා. මුලින් රු. 2500ක් සම්බන්ධතාවට ගෙව්වත්, පසුව ඒක රු.1000 දක්වා අඩු කළා. ඒකෙ දත්ත මැනීමක් තිබුණෙ නැති බව මට තේරුණා. කොච්චර දත්ත භාවිතා කළත් බිල වෙනස් වුණේ නැහැ. මට මොකද, මං ෆුල් ආතල් එකේ අන්තර්ජාලයේ සැරිසැරුවා.
හැබැයි, රවුටර් තමයි පුදන්න බැරි වුණේ. අකුණු ගහනකොට අපේ ගෙදර ටෙලිෆෝන් එක රිං වෙනවා. ඒ වෙලාවට ඒක කණේ තිබුණොත් මොනවා වෙනවා ද කියලා තාම ටෙස්ට් කරලා බලන්න බැරි වුණා. කොහොම වුණත්, අකුණු ගහන වෙලාවට රවුටරේ වයර් එක ගලවලා තිබුණෙ නැතිනම් පහුවෙනිදාට අලුත් රවුටර් එකක් ගේන්න ඕනැ.
ඒ මදිවට මේක කැඩෙනවා ඉවරයක් නැහැ. එක වතාවක් සුමානයක් එක දිගට ඉන්ටනෙට් නැතුව ගිය වෙලාවේ මට අසූහාරදාහට ම කේන්ති ගිහින් ලියුමක් දුන්නා ඒක විසන්ධි කරන්න ය කියලා. ඇත්ත ම කියනවා නම් මං නෙමෙයි දුන්නෙ. අපේ තාත්තගේ නමටනේ දුරකථනය තාම තියෙන්නේ.
ඊට පස්සෙ මං ඩොංගල්වලට මාරු වුණා. මං මොබිටෙල්, එයාටෙල්, ඩයලොග්, හච් සම්බන්ධකම් පාවිච්චි කරලා තියෙනවා. .
දැන් මගේ ප්‍රධාන ඩොංගලේ මොබිටෙල්. ඒක ඒ තරම් ම අවුල් නැහැ. ඒත්, කවදාවත් ඒකෙන් ඔය කියන තුන ජී එකක්නම් මං දැකලා ම නැහැ. HSPA+ තමයි තියෙන්නේ. මතුගම ටවුමට ගියත් එහෙමයි.
මගේ ටැබ් එකේ සම්බන්ධතාවෙන් ගෙදරදී අන්තර්ජාලයට යන්න බැරි තරම්. ඒකත් මොබිටෙල් එකක්. මතුගම ටවුමට ගියාම තුන ජී ඔටෝමැටික්. ඒ කියන්නේ එනවා යනවා.
මට ලැප්ටොප් එකත් එක්ක නොමිළේ ලැබුණ එයාටෙල් සම්බන්ධතාව මං එපා කිව්වා. ඇත්තම කියනවා නම් ඒක එපා වුණා. මතුගම ටවුමෙදිවත් ඒකෙන් අන්තර්ජාලයට යන්න හරි අමාරුයි.
මගේ ජංගම දුරකථනෙ ඩයලොග්. ඒකෙන් මං අන්තර්ජාලයට යන්නෙ හික්කඩුවේ ඉඳලා කොළඹ යන කෝච්චියේ යන දවසට වැඩිපුර ගෙවලා දෙවෙනි පංතියේ හිටගෙන යන ගමන් පත්තර ටික බල බලා යන්න. ඒක කෝච්චියට වඩා ගොඩක් ස්ලෝ.
අපේ ගෙදරට ඩයලොග් කණුව පේනවා. ඒත් තුන ජී නම් නැහැ.
මහින්දගේ කාලෙ රස්සාවත් නැතිව, ගෙදරත් ඉන්න බැරිව හිටිද්දි, 2007දී, මං අර ලංකා බෙල් සීඩීඑම්ඒ එකයි, මගේ පරණ ඩෙස්ක්ටොප් පරිගණකෙයි අරගෙන යක්කලමුල්ලෙ හෙණ ඩොටේ මගේ බිරිඳගේ අම්මලාගේ ගෙදර හැංගිලා හිටියා. එතකොට අපේ දූ ඉපදිලා හිටි නිසා බිරිඳ හිටියෙ මාතෘ නිවාඩු පිට. ජීවත් වෙන්න සල්ලි ඕනැ නිසා අර දුරකථනෙට ඇන්ටෙනා එකක් සවි කරලා, මීටර් පනහන් විතර කන්ද උඩ හිටවලා එක කණුවක් සිග්නල් අරගෙන ඒකෙන් මං කලම්බු පේජ් වෙබ් අඩවියේ රස්සාව බේර ගත්තා.
පසුගිය නත්තල් සමයේ මම හිටියෙ එහෙ. සෙනසුරාදා පොඩි ෂේප් එකක් දාගන්න හිටියත්, සිලෝන් ටුඩේ පත්තරේ වැඩ වෙනදාටත් වඩා වැඩි වුණා. වෙනදා එහෙදි මොබිටෙල් ඩොංගලේ වැඩ නො කළට ටැබ් එකෙන් පොඩි ෂේප් එකක් දාගන්න පුළුවන් ටිකක් ඇවිදලා සිග්නල් තියෙන තැනක් හොයාගෙන. එදා නම් කිසිවක් හරි ගියේ නැහැ. ජංගම දුරකථනයේ සිම් එක ඩොංගලේකට දාගෙන යන්තම් ආටිකල් වගයක් බා ගත්තා. හැබැයි මොනවා කරලාවත් ආපහු යවා ගන්න සිග්නල් පොඩ්ඩක් හොයා ගන්න බැරි වුණා.
බැරිම තැන මං ලැප්ටොප් එක කාරෙකේ දාගෙන පාර දිගේ ගාලු පැත්තට ගියා සිග්නල් අහුල අහුල. යක්කලමුල්ල ටවුමෙ සමහර තැන්වල එජ් එකේ සිග්නල් තිබුණා. ඒත් ඊමේල් ගිනුමට යන්න බැරි වුණා. මාගෙදරත් පහු කරගෙන කොට්ටව පැත්තටත් ගිහින් බැලුවා. සිග්නල් තියා ක්ලෝගාඩ්වත් නැහැ.
ඒ පාර එදා දවස යන්තම් වැඩ ටික කර ගත්තෙ කරාපිටියේ අපේ නෑනගේ ගෙදරට ඇවිත්.
මගේ ටෙලිකොම් සම්බන්ධතාව තිබුණු කාලෙ අන්තර්ජාලෙට ගෙව්වා වගේ දෙගුණයකටත් වැඩිය දැන් මං ගෙවන නිසාත්, ගෙදර තිබෙන ස්ථාවර දුරකථනෙන් වෙන වැඩක් නැති නිසාත්, ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනිය සදාකාලිකව ම වැස්සට වැඩ නො කරන නිසාත්, මං ඉන්නේ තෙත ම තෙත කලාපයක නිසාත්, මාස කීපයකට කලින් මං මතුගම ටෙලිෂොප් එකට ගිහින්, අන්තර්ජාලෙයි පියෝ ටීවීයි එකට තිබෙන බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාව ගන්න පුළුවන් ද ඇහුවා. අවුරුදු අටකට විතර පස්සෙත් අර මීටර් සීය වැඩි නිසා පියෝ ටීවී දෙන්න බැහැ කිව්වා. කලින් තිබුණු නිසා බ්‍රෝඩ්බෑන්ඩ් නම් දෙඤ්ඤං කිව්වා. හැබැයි වේගයට වගකියන්නෙ නැහැ.
ඔන්න ඕකයි අපේ ගම්වල බ්‍රෝඩ්බෑන්ඩ් තත්වෙ. 2007යි, 2015යි අතර වෙනසක් මට නම් පේන්න නැති තරම්.
මේක රිසර්ච් එකක් නෙමයි. ගමක මිනිහෙක් අන්තර්ජාලයත් එක්ක හැප්පෙන අරගලයක්. ඔය බ්‍රෝඩ්බෑන්ඩ් ගැන කතා කරන මහත්තුරුන්ට ඕනැ නම් මේ ගැනත් හිතන්න පුළුවන්.
මතක තියා ගන්න, මං අපේ ගම්වල එවුන්ට පරම්පරාවක් ඉස්සරහින් ඉඳගෙන අන්තර්ජාලෙන් රස්සාවක් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ බ්ලොග් එක කළෙත් ගමක ඉඳන්. ඒ හින්දා බ්‍රෝඩ්බෑන්ඩ් ජංජාලෙ කොළඹට විතරක් තිබිය යුතු දෙයක් ය කියා හිතන අය නැවත හිතා බලන්න.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
හැම ජාතියකම සිම් දාලා ඩොංගල් වලින් නෙට් ගියපු මට ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් නම් රත්තරං වගේ...සිම් දාදා ඉන්නේ නැතුව රවුටරේ ඔන් කරන්ඩ විතරයි ඕනේ....
ReplyDeleteඔබතුමාගේ මේ ප්‍රශ්නේ කතාකරන්ඩ ඕනේ RTOM එක්ක....ලුප් නෑ කියන එක් නොදී ඉන්ඩ හේතුවක් නෙවෙයි! ඉල්ලීම් කරන කස්ටමර්ලා ඉන්නවනම් DP එකක් දාලා දෙන්ඩ එයාට පුළුවන්!
DP එකක් දාන්න නම් තුන් දෙනෙක් ඕනි.... ඔය වයස එක්ක පැරාට ඔව්වා ඔරොත්තු දෙයිද මන්දා....
Deleteමේ වයසට මේ කොරන හරිය මදෑ
Deleteගමේ බයියංට මොන බ්‍රෝඩ් බෑන්ඩ් ද බං?
ReplyDeleteකොහොමද බයියොන්ගේ අයවැය! - මහින්ද රාජපක්ෂ 2014 අයවැය කතාවෙන් පසු
Deleteකොහොමද බයියොන්ගෙ බ්ලොග්! - පැරා, හිට්ස් තිසිපන් ලක්ෂයක් සමග
පැරා, පට්ටයි නේන්නන් බය්යගෙ වැඩ!
Deleteඅළුත් අවුරුද්දෙ පැරාට පියෝ ටීවී සමග බ්‍රොඩ් බෑන්ඩ් එකක් ලැබේවා!!
Nodanna reddawal gana liyan natuwa hitiyanam iwaraine ban. Monada me liyala tienne,
ReplyDeleteලෝකෙ ඉන්න සියලු දෙනා නො දන්න දේ නො දන්නා විදියට ම හිටියා නම් ලෝකය තවමත් බොහෝ දේ දන්නේ නැහැ.
Deleteසුභ නව වසරක් වේවා පැරා !!!
ReplyDeleteලංකාවේ ඔය කොයි එකත් එකයි. ඇඩ් නම් යනවා රටම කවර් කළා, අධිවේගෙි අන්තර්ජාල අරව මේව කියල. හැබැයි ගත්තට පස්සේ ඇති රෙද්දක් නැහැ...
ReplyDeleteකොළඹට කිරි ගමට කැකිරි.. දැං නං ලංකාවටම ජංජාලෙ දුන්නට පාඩු නෑ.ස්මාට් ෆෝන් තියෙන නිසා.ඒත් ගමේ බයියො ෆෝම් කරගෙනත් බෑ නෙ.හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
පැරා,
ReplyDeleteසුභ නව වසරක්!
ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන කිව්වොත්, මෙය විතරයි මේ අවුරුදු කීපයේ රජයකින් මිනිසුන්ට ලැබුන එකම දේ,
මා සිටිනා ප්‍රදේශයේ මේ සම්බන්ද තාවය ඉස්තරම් ලෙස එනම් 10MBPS පමණ තිබෙන බව කියන්න ඕනේ
මේ ය විශාල දියුණුවක්. විනාඩි 5 ඇතුලත් මෙගාබයිට් 200ක පමණ ගොනුවක් බාගත හැකියි.
මගේ මිතුරන් සිටින කුලියාපිටිය වැනි ප්‍රදේශ වලත් 2 MBPS වැනි සම්බන්දයක් තිබුන බව කියන්න ඕනේ.
සිදුවනේ කුමක්දැයි පැහැදිලි නැතත් බොහෝදෙනා නොදන්නා දෙයනම් ශ්‍රී ලංකාවට මුහුද යටින් fiber optic cable 6 ක
පමණ සම්බන්දයක් ඇති අතර 2004 දී තිබුනේ 1 පමණක් බව මතක තබාගන්න.
ඔබ කිව්වා ඩයලොග් කනුව පෙනී පෙනී ඔබට වේගය ලබාගත නොහැකි බව මිට හේතුව ඔබ ප්‍රදේශයේ මෙම සේවාවන් යොදාගන්න
පිරිස අවම වීමයි, මෙම ආයතන ඔබගේ වැනි අඩු ඉල්ලුමක් ඇති ප්‍රදෙශ වල SERVERS ලබාදෙන්නේ නෑ, සැලකිය යුතු පිරිසක්
බලපෑම් කලොත් ඔවුන් ට (අදාළ සමාගම් වලට ) ආදායමක් ඇත්නම් මෙය ක්‍රියාත්මක කරනු ඇති..
අද අපරටේ බොහෝදෙනා නොදන්නා දෙය නම් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම අන්තර්ජාල සම්බන්දය ඇති රටවල් කීපයකින් එකක්.
මා සිටින ප්‍රදේශයේ fiber optic සම්බන්දය පවා ලබාදෙනවා මෙය 50 සිට 100 MBPS වැනි වේගයක්.
ඔබ ප්‍රදෙශ වල ඇති ප්‍රශ්නය පරිබෝගිකයන්ගේ නොදැනුවත් කමයි, මුල් කාලයේ අප ප්‍රදේශයේ නරක සේවාවක් සපයන විට SLT ආයතනයට දැඩි පීඩනයක් දීමට මෙහිසිටින තරුණයන් පියවර ගත්ත, සමහර තැන්වල මා පුද්ගලිකව අදාළ පුද්ගලයන්ට බලපෑම් කල බව කියන්න ඕනේ. මේ සියල්ල පාරිබෝගිකයන්ගේ අයිතියයි.
මේ ගැන දැනුවත් නොවන මිනිසුන් සිටින ඔබ ප්‍රදේශයේ ලැබෙන්නේ ඔවන් සේවයක් තමයි ඔහොමවත් ලැබීම ගැන සතුටු වන්න.
නිවාඩුවට ගමේ ගිය පසු ඔබටත් එහා ගමක ඉඳල මම ෆෝන් එකෙන් නෙට් ගිහින් බ්ලොග් කීපයක් එහෙම බලා කියාගෙන එනවා...
ReplyDeleteඉඳල හිටලා කමෙන්ට් එකක් කාරියත් දානවා...
වැඩි කාලයක් ඔෆිස් එකේ ඉන්න නිසා කිසි කරදරයක් නැතුව නෙට් යන්න ඇහැකි මෙන්න මේ පහළ ලින්ක් එකේ තියෙන Web Master කියන පැකේජ් එකෙන්...
http://www.slt.lk/en/personal/internet?item_id=105
කොම්පිතර 24 කට විතර වේගය හොඳටම ප්‍රමාණවත්...
හම්මේ ඒ අතින් මම හෙන වාසනාවන්තයි.ටව්මට 12km දුරින් උනත් slt 18Mbps තියනවා.dialog hspa තියනවා hspa+ නැ ..mobitel 4G තියනවා ..dialog signal මදි හින්දා ebay එකෙන් antana එකක් ගෙනාවා..
ReplyDeleteහම්මේ ඒ අතින් මම හෙන වාසනාවන්තයි.ටව්මට 12km දුරින් උනත් slt 18Mbps තියනවා.dialog hspa තියනවා hspa+ නැ ..mobitel 4G තියනවා ..dialog signal මදි හින්දා ebay එකෙන් antana එකක් ගෙනාවා..
ReplyDelete//ඒත්, කවදාවත් ඒකෙන් ඔය කියන තුන ජී එකක්නම් මං දැකලා ම නැහැ. HSPA+ තමයි තියෙන්නේ.//
ReplyDeleteමේ කියල තියන විදිහට, පැරා හිතන්නෙ HSPA+ වලට වඩා 3G ස්පීඩ් කියල ද?
GPRS(General Packet Radio Service)
GPRS is a packet-based* wireless communication service. It is a 2G technology network that support a download speed of up to 114Kbps.
Limitation of GPRS is that GPRS data cannot be sent while a voice call is in progress.
EDGE(Enhanced Data GSM Evolution)
GPRS and EDGE are both 2G technology but EDGE is significantly faster with a download speed of up to 384Kbps. EDGE is sometimes called a 2.5G network as it also has some characteristics of a 3G network but it doesn't satisfy the specification.
3G
Introduction of 3G network made video calling and seamless streaming of video possible, with download speed of up to 3.1Mbps.
HSDPA(High-Speed Down-link Packet Access)
It is based on the 3G network and an enhancement to 3G. Thus has a faster speed, download speed can be up to 14Mbps. HSDPA is sometimes called 3.5G.
HSPA+(Evolved High-Speed Packet Access)
HSPA+ is an evolution HSPA(HSDPA&HSUPA). It is a 4G technology that allows download at a rate of up to 168Mbps.
4G LTE(Long Term Evolution)
LTE is a 4G communication standard that supports HD video streaming, download speed as high as 299.6Mbps.
Summary
GPRS(114Kbps) < EGDE(368Kbps) < 3G(3.1Mbps) < HSDPA(14Mbps) < HSPA+(168Mbps) < 4G/LTE(299.6Mbps)
http://www.nairaland.com/1096698/differences-between-gprs-edge-3g
ඔය පැත්තට අකුණු වදිනවා වැඩි නිසා හොයලා බලලා හොඳ සර්ජ් ප්‍රොටෙක්ටර් එකක් ගන්න. සුබ නව වසරක්!
ReplyDeleteඅන්තර්ජාලය යනු පර සුද්දා විසින් සිංහල බෞද්ධ ජනී ජනයාට කැත පුරුදු පුරුදු කිරීමට ඇටවූ උගුලකි. අන්තර්ජාලයේ නිරුවත බලන්නේ දේශ ද්‍රෝහීන්ය. එම දේශ ද්‍රෝහීන්ට මඩු වලිගයෙන් තැලිය යුතුය. සිංහල බෞද්ධ ක්‍රමයටනම් අධ්‍යාත්මික සිග්නල් භාවිත කර ඊමේල් යැවිය හැක.
ReplyDelete:D
DeleteWhat happened to goo loon? ;-)
Deleteමමත් සියලුම අන්තර්ජාල වර්ග අත්හදාබැලුව ලංකබෙල් හැර, දැන් එස්.එල් ටී අන්ත්ර්ජාල පහස විඳිනව. අන්තර්ජාල පහසුකම ගත්ත දවස් වල පුල් ස්පීඩ් එක නවත්තගන්න බැහැ මක් කරලවත්, අනේ ඒකට දැන් දීපු වේගෙන් බාගයයි.
ReplyDeleteසෑම කලු වලාවකම රිදී ඉරක් තිබුනට සෑම සෙලියුලර් කනුවකම 3ජී පහසුකම නැත.
පැරා,
ReplyDeleteමමත් 1998 දී තරම ඉඳල අන්තර්ජාලය භාවිතා කරනවා.හැබැයි මම නම් තවම ඉන්නේ slt එකත් එක්ක. මුල් කාලයේදී මම මාසෙකට රුපියල් 4000 කට වඩා ගෙව්වා තමයි. පස්සේ broad band වලට මාරු වෙලා රුපියල් 500 පැකේජයට ගියත් ගෙදර අන් සාමාජිකයන් පාවිච්චි කරන ඒවටත් මමම බිල ගෙවන්න ඕනෑ නිසා මගේ බිල වැඩි උනා. ඊට පස්සේ මම මාසෙකට 1600ක් ගෙවන සීමාවක් නැති පැකේජයට මාරු උනා. ඒකෙන් පස්සේ මට දවසේ ඔනැම වෙලාවකට මුදල් ගෙවීම සසසුරුවම් කම ගැන හිතන්නෙ නැතිව අන්තර් ජාලයේ ඉන්න පුළුවන්.පවුලේ අන් අය ඕනෑ තරම් චිත්‍රපටි ඩවුන් ලෝඩ් කර ගත්තත් හිතේ කහටක් නැතිව ඉන්න පුළුවන්. ඩෙස්ක් ටොප් එක මා වැඩියෙන්ම පාවිච්චි කරන අතර,ලැප් ටොප් එක පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ හවුලෙ. මේ අල්ලපනල්ලේ මිනිබිරිට ටැබ් එකක් ලැබිල. වයස අවුරුදු 9 උනාට එයාගේ පන්තියේ කොපියුටර් උගන්නවා. එයත් අන්තර් ජාලයේ යනවා.
පැරා මගේ අත්දැකීම නම් Slt එක හොඳයි. ප්‍රශ්න ඇති උනාම ගිහින් කතා කරන්න පුළුවන්. හරියට විසදෙන්නෙ නැත්නම් බනින්න උනත් පුළුවන් නැත්නම් ඉහලට පැමිණි කරන්නත් පුළුවන්. හැබැයි ඊට පස්සෙ ආපහු එතනට හිගිල්ල ඒ අය සමග හොඳින් කතා කරලා සම්බන්ධතාවය නොකඩවා ඉදිරියට ගෙන යන්නත් පුළුවන්. හරියට කසාදය වගෙයි. හැබැයි මම නම් තවම අන්තර්ජාලයෙන් මුදල් උපයලා නැහැ.
සමරසේකර
අම්මෝ......මමත් පාවිච්චි කරන්නේ ඔය පැකේජයම තමා. මම මේ වනවිට චිත්‍රපටි 200 කට වඩා බාගෙන DVD වලට ගහගෙන තියනවා. මම බ්ලොග් ලියන්නෙත් online. බ්ලොග් ලියන ගමන්, තොරතුරු හොයන්න අන්තර්ජාලය පීරන ගමන්, ටොරන්ට් බාන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. හැබැයි ළඟදී මේ පැකේජය නවත්වන්න යන බවට කනින් කොනින් ආරංචි ලැබෙනවා.
Deleteමේ පැකේජ් එක ලබාදීම 2013 සිට නවත්වලා දැම්මා.
මම මුලින්ම පාවිච්චි කලේ සන්ටෙල් දුරකතනයක ඩයල්අප් සබද තත්වයක් සිරියල් පොර්ට් එකෙන් ත්නමා කනෙක්ට් උනේ කොමට..කාර්ඩ් එකක් දාල පැයක් විතර බලන් ඉදලා පේජ් එකක් ලෝර්ඩ් කරගැනීමේ හැකියාවක් තිබ්බා...ඊට පස්සේ ජංගම දුරකථනය මොඩමයක් විදියට පරිගණකයට සම්බන්ද කරලා නෙට් ආවා..සන්ටෙල් එකට වාඩා වේගවත් උනත් ගිනි ගන්න ගානට 4න් එක රත් උනා..ඒ දවස් වල ඩේටා පැකේජ් තියා 3g වත් තිබ්බේ නෑ..
ReplyDeleteඊළගට කොලබ ඩයලොග් එකෙන් රු9000 වගේ මුදලකට ගෙනාපු ඩොන්ගලෙට සිග්නල් නැති කොට රු3000ක් ද කොහෙද දීලා ලෝක් එක කඩාගෙන තිබ්බ හැමජතිම සිම් පැකේජ් පාවිච්චි කාලා.වත්තේ 4කොනට ජාති 4ම කුළුණු පෙන්න තිබබත් අපේ මිදුලට 4න් එකට පැලෙන්න සිග්නල් තිබ්බත් මහේ කාමරේට එක කණුවක් නෑ..මෑතකදී ටෙලිකොම් එකට මාරු උනා අස්ස වෙලාවට ගෙරෙවුවේ නැතත් මෙහ මගුලේන් නෙට් යන්න බෑ..යන්තම් ගොරෝනකොට වයරේක ගලොගත්තේ නැත්නම් ඊලග දවසේ අලුත් රවුටරයක් ගන්න ඕනි.. ඒ ඇරෙන්න වෙන චාරදක් නැටත් ඩයලොක් 4g ජිරිබිරිස් එකක් හෙට අනිද්දා උස්සන් එන්න ඉන්නේ..