පහේ ශිෂ්‍යත්වය ගැන කුමක් කළ යුතු ද?

පහේ ශිෂ්‍යත්වය ගැන තවත් ලිපියක් මෙතනින් 
පහේ ශිෂ්‍යත්වය කියන්නෙ වර්තමාන තත්වය අනුව ජීවිතේ වැදගත් කඩඉමක්. එය ලංකාවේ ළමයින්ගේ ජීවිත බරපතල විපර්යාසයකට ලක් කරන දැඩි තරගකාරී විභාගයක්. එය නිදහස්, නිර්මානශීලී අනාගත පරපුරක් බිහි කිරීමේ ලා බරපතල බාධාවක් බව ඇත්ත. ඒ පිළිබඳ විවේචන එමටයි.

ඒ වුණාට මේ විභාගය දිහා ජනප්‍රිය නිශේධාත්මක ඇසින් බලන එක හරි ද?

මේ පිළිබඳ සිතන්නට මා පෙළඹුණේ පිලිප් ශාන්තගේ ‘ශිෂ්‍යත්ව විභාගය ජීවිතයකට කිසිම වටිනාකමක් එකතු නොකරයි' කියන අදහසත් එක්ක.

ග්‍රාමීය හෝ නාගරික පරිවාරයන්ගේ දරුවකුට රජයේ වඩාහොඳ පාසලකට ඇතුළත් වන්නට තිබෙන එකම සාධාරණ අවස්ථාව පහේ ශිෂ්‍යත්වයයි. එහෙත්, ඒ සඳහා අසාමාන්‍ය දක්ෂකමක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස, අනුරාධපුරයේ සිට කිලෝමීටර් 150ක් පමණ ඈතින් පිහිටි වැලිඔය ගජබාපුර සිංහල පාසලේ දරුවෙකුට ලකුණු 160ක් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම කළත්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට තරම් ඒ ලකුණු ප්‍රමාණවත් නැහැ.

ගමේ පාසල හොඳම පාසල යන්න ඇත්තක් නො වේ. ගමේ පාසල්වල පහසුකම් අවමයි. උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම් ලැබෙන්නේ මෙතනින් තේරී හොඳ පාසල්වලට යන දරුවන්ට ය. මේ සියලු වටිනාකම් ශිෂ්‍යත්වය අසමත් වන පරිවාරයේ පාසල්වල දරුවන්ට අහිමි වේ.

ශිෂ්‍යත්වයෙන් වටිනාකම් එකතු වෙන්නෙ නැහැ ය කියන එක වැරදියි. මේකට විසඳුමක් යෝජනා නො කර පහේ ශිෂ්‍යත්වයට බනින එක තේරුමක් නැහැ. මගේ දුව පහේ ශිෂ්‍යත්වය ලිව්වා. ඇය දැනට එතරම් අධ්‍යාපනයට නැඹුරු අයෙකු නෙමෙයි. පාසලේ හවස පන්ති තිබුණා. තවත් පන්තියකටත් ඇය ගියා. මගේ බිරිඳ ගෙදරදී උදව් කළා. ඒ වුණාට එයා ඒ එකක්වත් ඇඟට ගත්තේ නැහැ. එයාගේ ගානට විතරයි එයා කළේ. මට හිතෙන විදියට ලොකු පීඩනයක් එයා ගත්තෙ නැහැ. අපට තිබුණා. ස්විමිං හා නැටුම් පන්ති නවත්වන්නට වුණා. ඒක ලොස් එකක්. හැබැයි, එයා එච්චර ක්‍රීඩාවට දක්ෂ ළමයෙකු නෙමෙයි. එයා ලියන රචනාවලට හැමදාම හොඳ ලකුණු ලැබෙනවා. ගණිතයට ටිකක් දුර්වලයි. මං උදේ කතා කරලා ඇහුවා ප්‍රතිඵල බලමුද කියලා. අනෙක් පැත්ත හැරිලා නිදා ගත්තා. ලකුණු 152ක් තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම නම්, මේ ශිෂ්‍යත්වය වෙනුවෙන් කරපු වැඩ කිරීම නිසා දරුවාගේ යම් අධ්‍යාපනික අඩුපාඩු නැති වුණා. අධ්‍යාපනයට නැඹුරු නැති ළමයෙකු ඒ පැත්තට නැඹුරු වුණා. විශේෂයෙන් ම ගණිතය පැත්තෙන් ලබපු සංවර්ධනය වැදගත්.

පහේ ශිෂ්‍යත්වය පටන් ගත්තෙ කන්නන්ගර මහත්තයා හතළිස්ගණන්වල. ගමේ සාමාන්‍ය ගැහැනියක වෙන්නට ඉඩ තිබුණ මගේ නැන්දම්මා ඉංග්‍රීසි ගුරුවරියක වුණේ පහේ ශිෂ්‍යත්වය නිසා. මගේ නැන්දම්මාගේ ජීවිතයට එකතු වෙලා තියෙන්නෙ වටිනාකමක් නෙමෙයි ද?

මම 1975දී පහේ ශිෂ්‍යත්වය සමත් වුණා. පිරිමි ළමයින් දෙන්නයි පාස් වුණේ. එකෙක් කොළඹ ආනන්දෙට ගියා. මං මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙම නතර වුණා. දරුවන් සිව්දෙනෙකු සිටි, ගෙයක් හදා ගන්නට දත කමින් සිටි, රැකියාව විතරක් තිබුණු රජයේ ගුරු යුවලකගේ පුතකු වන මට ශිෂ්‍යත්ව සල්ලි නො ලැබීමත්, මගේ මව්පියන්ට මා වඩා හොඳ පාසලකට යවන්නට වියදම් දරා ගැනීමට නො හැකි වීමත් එයට හේතු වෙන්නට ඇති. මං ගිය ඉස්කෝලෙ විෂය අධ්‍යාපනය පිළිබඳ ගැටලු තිබුණෙ නැහැ. ඒත්, විෂය බාහිර වැඩ සඳහා එක ක්ලබ් එකක්වත් තිබුණෙ නැහැ. බිග් මැච් එකක් නිසා පැවතුණු ක්‍රිකට් හැරෙන්නට වෙන කිසිම ක්‍රීඩාවක් අවම හෝ පිළිවෙලකට කෙරුණෙ නැහැ. ජීවිතයට වටිනාකම් එකතු වෙන්නෙ විෂය අධ්‍යාපනයෙන් ම නෙමෙයි. මේ වගේ ඉස්කෝලවලින් නව යොවුන් වියේ අපේ පොපියන උනන්දුවට බුබුළු නැගෙන්නට අවකාශයක් සපයන්නට බැරි වුණා. ඒ නිසා තමයි, මෙවැනි පාසල්වලට ගිය අපි වගේ ළමයි, විවෘත වුණ ආස්වාදනීය අවකාශය වන කැරැලිකාරී දේශපාලනය වෙත යොමු වුණේ.

මෙය පිලිප් කියන්නා සේ පෞද්ගලික ආවේගයක් නෙමෙයි. සජීවී උදාහරණයක්. පහේ ශිෂ්‍යත්වයෙන් ජීවිතවලට එකතු වෙන හොඳ දේත්, නරක දේත් දෙකම තියෙනවා. පහේ ශිෂ්‍යත්වය කියන්නෙ ක්‍රියාවලියක්. ඒක හුදෙක් විභාගය සහ ප්‍රතිඵලය පමණක් නොවෙයි. අනෙක පහේ ශිෂ්‍යත්වය ඒ වයසේ දරුවන්ට කරන හානිය හා සමාන ම එකක් උසස් පෙළ විසින් ඒ වයස් කාණ්ඩයේ දරුවන්ටත් කරනවා. මේවායේ ගැටලු තිබෙනවා. ලංකාවේ සමස්ත අධ්‍යාපනය ම ගැටලු ගොඩක් තමයි. හැබැයි ඒවාට විසඳුම් හොයන්නට වන්නේ තිබෙන දේවල් වෙනස් කරමින් මිස පරමාදර්ශ උඩින් පාත් කරමින් නෙමෙයි.

පහේ ශිෂ්‍යත්වයට නිකම් බැන්නා ය කියලා වැඩක් නැහැ. මේ ගැන ටිකක් ගැඹුරින් සංවාදයක් ගොඩනගා ගන්නට ඕනැ. ඒ ගැන කරුණු සහිත තවත් ලිපියක් මා ලිව්වා. එයත් කියවන්න.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)