2014-04-26

ටයිටැනික් නැවේ සිට දෙකේ ඇලේ අත් ට‍්‍රැක්ටරය දක්වා හදිසි අනතුරු ගැන සමාජවාදී විශ්ලේෂණයක්

මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී වැඩි කලක් යන්නට පෙර තවත් ඛෙදවාචකයක් වාර්තා විය. පෙරළී ගිලී ගිය සෙවොල් නම් දකුණු කොරියානු නෞකාවේ ගමන් කරමින් සිටි මගීහු සිය ගණනක් මිය ගිය හ. මරණ සංඛ්‍යාව තවමත් අවිනිශ්චිත ය. මිය ගිය අයගෙන් වැඩි දෙනෙක් විනෝද චාරිකාවක් යමින් සිටි පාසල් සිසු පිරිසකි. නැවේ සිටි මගීන් 476දෙනා අතරින් 339දෙනෙක් ම පාසල් සිසුවෝ වූ හ. බේරා ගත හැකි වී තිබෙන්නේ 174දෙනෙකු පමණි.

නැව පැදවූ 69 හැවිරිදි කපිතාන්වරයා නොසැලකිලිමත් ලෙස වේගය අඩු නොකර නැව හැරවීම මෙසේ පෙරළී ගිලී යාමට හේතුව ලෙස සැක කරනු ලැබේ. අවසන් මගියා ද පිට වීමට පෙර නැවෙන් පිට වී තිබෙන කපිතාන්වරයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. නැවේ කාර්ය මණ්ඩලයේ 29දෙනෙකුගෙන් 22දෙනෙක් දිවි ගලවා ගන්නට සමත් වූ හ. ඔවුහු වැඩි දෙනෙක් උදව් අවශ්‍යව සිටි මගීන් නො තකා හැර තමන්ගේ දිවි ගලවා ගත් අය වෙති.

මෙම නැව යාත්‍රා කරමින් තිබුණේ පසුගිය දිනවල ලංකාවේ විකාශය වූ ජනප්‍රිය කොරියානු ටෙලි නාට්‍යයක් වන චංගුමී චරිතය අඩංගු සුජාත දියණි මාලා නාටකයේ ද සඳහන් වූ ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් තිබියදී ය.

කිමිදුම්කරුවෝ සීතල අඳුරු දියේ මළ සිරුරු සොයමින් සිටින්නේ අතපත ගාමිනි. තමන් මෙවැනි අසීරු කාර්යයන් කිරීමට පුහුණුව ලබා සිටියත්, උඩු යටිකුරු වූ නැවේ කැබින්, ශාලා වැනි අවකාශ අතර අඳුරේ මළමිනියක් අත ගැටුණු විට දැනෙන හැඟීම අතිශය සංවේදී බව එක් කිමිදුම්කරුවෙක් මාධ්‍යවලට පවසා තිබිණි. 


අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව ද තවමත් හරි හැටි තොරතුරක් සොයා ගැනීමට ලෝකය අසමත් වී තිබේ. 

ලංකාවේ ද පසුගිය අලුත් අවුරුදු සමයේ ඛෙදජනක මාර්ග අනතුරු කීපයක් වාර්තා විය. ඒ අතර මගී ප්‍රවාහනය සඳහා යෝග්‍ය නොවන ඉඩම් වාහනයක් මගීන් සමග ඇලට වැටුණු සිද්ධියක් ද තිබිණි. අධිවේගයෙන් වාහන පැදවීම නිසා සිදු වන අනතුරු, රියදුරුට නින්ද යාම නිසා සිදු වන අනතුරු, මත්ප‍ැන් පානය කර රිය පැදවීම නිසා සිදු වන අනතුරු ආදිය ලංකාවේ සුලබ ය. 

ගමන් බිමන් යාමේදී සිදු වන හදිසි අනතුරුවලින් ලෝකයේ මිනිසුන් මෙතරම් මිය යන්නේ ඇයි?

පිළිතුර මිනිසුන්ගේ ගමන් බිමන් යාම වැඩි වීම මෙයට හේතුවයි. ලොව පුරා මිනිස්සු මෙතරම් ගමන් බිමන් යන්නේ ඇයි? ඒ ගමන් බිමන් ඇත්තෙන් ම අත්‍යාවශ්‍ය ඒවා ද? 

ධනවාදය තුළ අවශ්‍යතාවට භාණ්ඩ හා සේවා සම්පාදනය වනවාට වඩා නව නිපැයුම් වෙනුවෙන් අවශ්‍යතාවන් නිර්මානය වීම සිදු වන බව නිරීක්ෂණය කළ හැකි ය.  හේතුව ධනවාදී ලාභාපේක්ෂා හා පාරිභෝජනවාදය අතර තිබෙන අන්තර් සම්බන්ධයයි. 

පාරිභෝජන ධනවාදය පිළිබඳ අදහස පැන නගින්නේ 1850 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි වෙළඳසල් හෙවත් ඩිපාට්මන්ට් ස්ටෝස් ආශ්‍රිතව ය. ෆිලඩෙල්පියාහි එවැනි පළමු වෙළඳසලට යොදන ලද නම වූයේ වොනමේකර්ස් ය. නමේ තේරුම අවශ්‍යතා නිර්මානය කිරීම යන්නයි.

මෙම යුගයෙහිදී ඇමරිකාවේ ධනවාදී කර්මාන්ත පුරෝගාමීන් විසින් සැලසුම්සහගත ලෙස පාරිභෝගික ඉල්ලීම අ‍වශ්‍යතාවල (needs) සිට අපේක්ෂා (wants) දක්වා වෙනස් කරන ලදී. අවශ්‍යතා තෘප්තිමත් කළ හැකි ය. එහෙත් අපේක්ෂාවල ලක්ෂණයක් වන්නේ ඒවා තෘප්තිමත් නොවී පැවතීමයි. 

මුලින් මෙම විපර්යාසය සිදු කෙරුණේ වෙළඳ ප්‍රචාරණය හරහා ය. අද වන විට එය හුදෙක් වෙළඳ ප්‍රචාරණය ඔස්සේ පමණක් සිදු වන්නක් නො වේ. අද එය ධනේශ්වර සමාජයේ ජන විඥානය තුළට කා වැදී තිබේ. මිනිස් ජීවිතය තෘප්තිමත් නොවී පවතින අපේක්ෂා හඹා යන එකක් බවට පත් වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 

පරිභෝජනයත්, පාරිභෝජනවාදයත් අතර වෙනස මේ අන්දමින් හඳුනාගත හැකිය. අවශ්‍යතා අනුව කරනු ලබන පරිභෝජනය පාරිභෝජනවාදයක් නොවේ. අප පාරිභෝජනවාදී වන්නේ අපේක්ෂා නිසා ය. 

මෙය කෙතරම් සාමාන්‍ය තත්වයක් බවට පත් වී තිබේ ද යත්, අද වන විට මිනිසා මෙය ජීවි‍තයේ මූලික ලක්ෂණයක් ලෙස වරදවා වටහා ගනියි. මෙය ජීවිතයේ විවිධ පැතිකඩ ඔස්සේ විමසා බැලිය හැකි ය. ජංගම දුරකථනය සාමාන්‍ය භාණ්ඩයක් ඉක්මවා යන සංස්කෘතික මෙවලමක් බවට පත් වන්නේ මෙම සංදර්භය තුළ ය. සරළව කිවහොත්, "කාපල්ලා - බීපල්ලා - ජොලි කරපල්ලා" සංස්කෘතිය බිහි වන්නේ එම සංදර්භය තුළයි.

මෙම ලිපියේ ප්‍රස්තුතයට අදාළව ප්‍රවාහන කර්මාන්තය ආශ්‍රිතව අපට මෙය වඩා හොඳින් විමසා බැලිය හැකි ය. එයිනුත්, සංචාරක කර්මාන්තය සුවි‍ශේෂ ලෙස ගෙන මෙම තත්වය විමසා බලන්නට අපි අදහස් කරන්නෙමු.

මිනිස් සමාජයට මෙතරම් සුවිසල් ප්‍රවාහන පද්ධතියක් අවශ්‍ය ඇයි?   මෙතරම් නැව්, ගුවන් යානා, මාර්ග පද්ධති ආදිය අවශ්‍ය ඇයි? එතරම් දියුණු ප්‍රවාහන පද්ධතියක් නො තිබුණු අතීත සමාජයේ මිනිස් ජීවිතයට වඩා දියුුණු ප්‍රවාහන පද්ධතියක් තිබෙන වත්මන් ලෝකයේ ජීවිතය පහසු ද? 

සමුදුර, අහස හා ගොඩබිම දූෂණය කරමින් මිහිතලය උණුසුම් කරමින්, මිනිස් පැවැත්මට තර්ජනකාරී වූ පාරිසරික තත්වයක් නිර්මානය කරමින් මේ තරම් නැව්, ගුවන් යානා, ගොඩබිම් වාහන සංඛ්‍යාවක් දුවන්නේ කුමක් සඳහා ද? එමගින් ප්‍රවාහනය කරන භාණ්ඩ හැම එකක් ම ගමනාන්තයේ මිනිසුන්ගේ පාරිභෝජනය සඳහා නැතිවම බැරි ඒවා ද? නැත. ඒ බොහොමයක් දේ මිනිසුන්ගේ අවශ්‍යතා නොව අපේක්ෂා ය. ඒවා කවදාවත් තෘප්ත නොවන බැවින් මිනිස්සු කිසි කලෙක තමන් අත පත් වන භාණ්ඩයෙන් හෝ සේවාවෙන් තෘප්තිමත් නොවෙති. ඔවුහු තවත් මාදිලියක් ඉල්ලා සිටිති. දැන් ඉල්ලුම තිබෙන්නේ අවශ්‍යතාව මත නොව අපේක්ෂාව මතයි. ලාංකිකයකුට මයික්‍රෝ කාරයකින් සිය අවශ්‍යතාව සපුරා ගන්නට හැකි වුණත්, ඔහු මෙහෙයවනු ලබන්නේ ජපන් කාරයක් මිළ දී ගැනීමේ අපේක්ෂාව විසිනි. මහ පොළව දෙවනත් කරමින් ප්‍රවාහනය කරන්‍ු ලබන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් පිටුපස තිබෙන්නේ මෙවැනි අපේක්ෂා ය. 

එසේම, මිනිසුන් මෙතරම් ගමන් බිමන් යන්නේ ඇයි ද යන්න ද මේ අන්දමින් ම විමසා බැලිය හැකි ය. ඉස්සර කාලේත් මිනිස්සු සංචලනයේ යෙදුණ හ. ඇතැම් විට එය පරම්පරා ගණනාවක් තිස්සේ සිදු වන මහා ජන සංචලනයකි. ආර්යයන්උතුරු ඉන්දියාව වෙත සංක්‍රමණය වීම නිදසුනකි. ලෝක භූගෝලය අධ්‍යයනය කළ දේශ ගවේශකයෝ ද, දේශපාලනික ආක්‍රමණ සිදු කළ යුද සෙබලු ද, රටින් රට අරුමෝසම් වෙළඳාම් කළ වෙළන්දෝ ද, රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද, විවිධ වෘත්තීන්හි නියැලෙන්නෝ ද, ආගමික සත්‍යයන් පසුපස ගිය වන්දනාකරුවෝ ද දිගු ගමන් බිමන් ගිය හ. 

අතීතයේ මිනිස් ගමන් බිමන් ද අවශ්‍යතා මත සිදු වූ ඒවා ය. එහෙත්, පාරිභෝජන ධනවාදයේ සංවර්ධනයත් සමග මිනිස් සංචලනයන් ද අවශ්‍යතා මත පමණක් නොව කිසිදා තෘප්ත නොවන අපේක්ෂා මත පදනම් වීම ආරම්භ විය. සංචාරක කර්මාන්තය ම මෙවැනි කිසිදා තෘප්තිමත් නොවන අපේක්ෂා මත රඳා පවතින්නකි. 

අද වන විට සංචාරක කර්මාන්තය ලෝක ආර්ථිකය තුළ උසුලන වැදගත්කම පිළිබඳ පහත සඳහන් සාධක දෙස් දෙයි.


  • 2012 දී, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක්, මුළු ආයෝජනයන්ගෙන් 5%ක් සහ ලෝක අපනයනයන්ගෙන් 5%ක් උත්පාදනය කර ඇත්තේ සංචාර සහ සංචාරක කර්මාන්තය බවට ගණන් බලා ඇත.
  • ලෝක වාණිජ සේවා අපනයනයන්ගෙන් 30%ක් (මුළු භාණ්ඩ සහ සේවා අපනයනයන්ගෙන් 6%ක්) නියෝජනය කරන්නේ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත අපනයනයන්ය.
  • 2005 සහ 2010 අතරතුරදී, ජාත්‍යන්තර සංචාරක පැමිණීම් 4.3%ක වාර්ෂික සාමාන්‍යයකින් වැඩිවී ඇත. (ILO News)

මෙය අතිශය සංකීර්ණ තත්වයකි. එහෙත්, එය සරළව තේරුම් ගන්නට බැරි නැත. පීත්ත පටි කැපීම, පිරිසක් ඇමතීම වැනි නො වටිනා දේවලට ජනාධිපතිවරයකු රට වටා යන්නේ කුමට ද? ලංකාවේ ඇමතිවරු  නිතිපතා කරන පිටරට සංචාරවල ඇති ප්‍රයෝජනය කුමක් ද? කාටවත් වැදගත්කමක් නැති ඉතා ම සුළු දේවලට නිතිපතා රටින් රට යන කාර්ය බහුල රාජ්‍ය නොවන සංවිධාන වෘත්තිකයන්ගේ ගමන් බිමන්වල තේරුම කුමක් ද?

අද වන විට ලංකාවේ අපගේ ජීවිතයට ධනේශ්වර පාරිභෝජනවාදයේ ගමන් බිමන් යාමේ පිපාසය ඇතුළු වී තිබෙන්නේ අපටත් නො තේරෙන තරම් සියුම් අන්දමිනි. සති අන්තයේ නිවාඩුවක් යෙදෙන විට සංචාරක ස්ථාන සෙනගින් උතුරා යයි. කතරගම වැනි වන්දනා ස්ථානවලට මිනිස්සු නිතර ම යති. මිනිස්සු ගමන් බිමන් යන්නේ තැන් බලන්නට යයි කියනු ලැබේ. එසේ බලන්නේ ඇයි? ඒවා තමන්ට වටිනා නිසා නම්, ඒ මිනිස්සු ම ඒ ස්ථාන විනාශ වන පරිදි කටයුතු කරන්නේ ඇයි? සමහරු ගමන් බිමන් යන්නේ ගමන් බිමන් යාම වෙනුවෙන් මිස කිසිදු තැනක් බලන්නට නො වේ. ඔවුන් විඳින්නේ ගමන් බිමන් යාම නම් සංකල්පයයි. අලුත්ම ප්‍රවණතාව පිටරට සංචාරය කිරීමයි. දඹදිව, සිංගප්පූරුව, හොංකොං, බැංකොක් ආදී ස්ථාන ලාංකිකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්ත බවට පත් වෙමින් තිබේ. 

අපි කලක් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ලබා ගන්නා අග්‍රය පමණක් වී සිටිමු. දැන් ලංකාවේ සංචාරකයෝ ද විශාල වශයෙන් පිටරට යති. සංචාරක කර්මාන්තයේ මෑත කාලීනව සිදු වූ සුසමාදර්ශීය වෙනස මේ ඔස්සේ හඳුනාගත හැකි ය.

කොස්ටාරිකාහි එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද සාම විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයකු වන රොබට් ෆ්ලෙචර් විසින් සම්පාදනය කරන ලද Sustaining Tourism, Sustaining Capitalism? The Tourism Industry's Role in Global Capitalist Expansion නම් පත්‍රිකාවක ඔහු තර්ක කරන්නේ සංචාරක ව්‍යාපාරය චිරස්ථායී කිරීම යනු ධනවාදය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමයක් බවයි. ධනවාදයේ නිෂ්පාදනය හා පාරිභෝජනය හා සම්බන්ධව පවතින ගැටලුව ගැන මාක්ස්ගේ විශ්ලේෂණ කෙරෙහි මෙම පත්‍රිකාව අවධානය යොමු කරයි. ධනවාදයේ කේන්ද්‍රයේ ගොඩගැසෙන ප්‍රාග්ධනය විසින් ඇති කරනු ලබන අර්බුදය තුලනය කිරීම සඳහා එකී අතිරික්ත ප්‍රාග්ධනය අවකාශමය වශයෙන් පරිවාරය  වෙත චලනය කිරීම සඳහා යොදා ගත හැකි ක්‍රම‍වේදයක් ලෙස සංචාරක ව්‍යාපාරය විග්‍රහ කර තිබේ. වැඩිදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන හේ සංචාරක ව්‍යාපාරයේ නව ප්‍රවණතාව වන පාරිසරික හිතකාමී සංචාරක ව්‍යාපාරය ධනේශ්වරයේ අර්බුදය සමනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තය යොදා ගැනීමේ තවත් අදියරක් බව පෙන්වා දෙයි. ෆ්ලෙචර් තර්ක කරන්නේ චිරස්ථායී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම යනු ධනවාදය චිරස්ථායී කිරීමේ ක්‍රමවේදයක් ම බවයි. 

පාරිභෝජන ධනවාදයේ ප්‍රධාන කොටසක් වන ප්‍රවාහන හා සංචාරක කර්මාන්තයන්ගේ යථාර්ථය කැටි කොට දැක්විය හැකි ප්‍රස්ථාව පිරුළක් සිංහල ජනවහරේ තිබේ. ඒ වනාහි 'බල්ලට ඇති වැඩකුත් නැහැ. හෙමින් ගමනකුත් නැහැ' යන්නයි. 

ඉතින් දැන් දැන් අපට නිරතුරු අසන්නට ලැබෙන දැවැන්ත ප්‍රවාහන අනතුරු පැන නගින සංදර්භය වන්නේ මෙයයි. ටයිටැනික් නැවේ සිට සෙවොල්නැව දක්වා නැව්, ගුවන් යානා, ගොඩබිම් වාහන හා ලංකාවේ නම් අත්ට්‍රැක්ටර් දක්වා වාහනවල ගමන් බිමන් යන මිනිස්සු හදිසි අනතුරුවලට මුහුණ දෙති. මිය යනවුන් ජීවත් වන අයට ශෝකයක් ඉතිරි කරති. 

අපි හඬමු. වැළපෙමු. එහෙත් අප මේ යන්නේ කොහිදැයි අපි ම නො දනිමු.  

- ජනරළ 2014 - 04 - 27 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com