දෙපා යටින් වල කපා ගන්නා උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් යෝජනාව

නියුරම්බර්ග් නඩුවලින් මරණීය දණ්ඩනය ලද හර්මන් ගෝරිං නඩු විභාගය අතරතුර
යුද අපරාධ සම්බන්ධයෙන්නියුරම්බර්ග් මාදිලියේ නඩු විභාගයක් පැවැත්විය යුතු බව උදය ගම්මන්පිල යෝජනා කර තිබේ.

නියුරම්බර්ග් නඩු වනාහි දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ට එරෙහිව මිත්‍ර හමුදා පාර්ශ්වයෙන් අසන ලද නඩු පෙළකි.

මෙම නඩු පෙළ අසනු ලැබුවේ ම යුදෙව් සංහාරය ඇතුළු මානව වර්ගයාට එරෙහිව අපරාධ හා යුද අපරාධවලට වගකිව යුතු නාසි නායකයන්ට දඬුවම් කිරීමයි. මෙම නඩු විභාගයට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා යෝජනා කළේ මෙම නාසි නායකයන් නඩු විභාගයකින් තොරව මරා දැමිය යුතු බවයි. එහෙත්, ඇමරිකාව එයට එරෙහි විය. එම මරණීය දණ්ඩන වාර්තාගත සාධාරණ හේතු සහගත නීත්‍යානුකූල ඒවා බවට පත් කිරීමට නියුරම්බර්ග් නඩු විභාගය ඉවහල් විය. එමගින් නාසිවාදයේ පරිච්ඡේදය වසා දමන ලදී.

නීතිඥයකු වුව ද උදය ගම්මන්පිලට නියුරම්බර්ග් නඩු විභාග ගැන අවබෝධයක් නැති බව පෙනේ. නියුරම්බර්ග් නඩු විභාගය යනු දේශීය පරීක්ෂණයක් නො වේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වය විසින් කරන ලද ජාත්‍යන්තර නඩු විභාගයකි. ජාත්‍යන්තර අධිකරණය ස්ථාපිත වන්නේ මෙම නඩු විභාගවල ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. එසේම, ජන සංහාර ඇතුළු මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධ පසුකාලීන ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා මග පෑදෙන්නේ ද මෙම ක්‍රියාමාර්ග හරහා ය.  එ් අතර එක්සත් ජාතීන්ගේ සංහාර පිළිබඳ සම්මුතිය (1948), විශ්ව මානව හිමිකම් ප්‍රඥප්ති (1949) හා යුද නීති රීති පිළිබඳ ජිනීවා සම්මුතිය (1949) ද වේ.


දෙමළ ඩයස්පෝරාව දැනුදු උත්සාහ කරමින් සිටින්නේ ජාතික හෙළ උරුමය සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජන සංහාරයක යෙදුණු බවට කරුණු ඉදිරිපත් කිරීමටයි. හෙළ උරුමය විසින් නායකත්වය දෙන හෝ දුන් සිංහල ජාතිවාදී බලවේගය මේ වන විට යෙදී සිටින්නේ දෙමළ ජනයා වෙතින් නො නැවතී මුස්ලිම් ජනයා වෙත ද ජාතිවාදී වෛරය යොමු කිරීමේ ක්‍රියාවලියක ය.

උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් මාදිලි යෝජනාව එන්නේ මෙම සංදර්භය තුළයි. නියුරම්බර්ග් නඩු විභාගයන්ට පාදක වූ ජාත්‍යන්තර යුද විනිශ්චය සභාවන් පිළිබඳ ලන්ඩන් ප්‍රඥප්තිය විසින් වෙනත් කාරණා අතරතුර, අපරාධ කාණ්ඩ තුනකට වර්ගීකරණය කර තිබේ. ඒවා වනාහි සාමයට එරෙහි අපරාධ (ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය වන ආකාරයේ ආක්‍රමණශීලී යුද්ධ සැලසුම් කිරීම, සූදානම් කිරීම හා දියත් කිරීම ද ඇතුළුව), යුද අපරාධ (යුද නීති හා රීති උල්ලංඝනය කිරීම, සිවිල් වැසියන්ට හා දේශපාලන සිරකරුවන්ට වැරදි ආකාරයෙන් සැලකීම ඇතුළුව) සහ මානව වර්ගයාට එරෙහි අපරාධ (සිවිල් වැසියන් මැරීම, වහල්භාවයට පත් කිරීම, පිටුවහල් කිරීම හා දේශපාලන‍, ආගමික හා වාර්ගික පදනමින් හිංසා කිරීම ඇතුළුව) යන ප්‍රවර්ග තුනයි. මෙම ප්‍රඥප්තිය විසින් යුද නිලධාරීන් මෙන් ම සිවිල් නිලධාරීන් ද අධිකරණය වෙත ගෙන ඒමට ඉලක්ක කරන ලදී.

උදය ගම්මන්පිල මෙම නඩු විභාගය පිළිබඳ සිය ෆැන්ටසිය මෙම ප්‍රකාශයෙහි කියවයි. ඔහුගේ කතාව අර දීකිරි විකුණමින් මුට්ටිය ඔලුවේ තබාගෙන ගිය ගැහැනියගේ කතාව වැනි ය. දීකිරි විකුණා මුදල් උපයාගෙන ධනවත් වූ කල තමන්ට මංගල යෝජනා කරන්නට එන පිරිමින්ට බැහැ කියන ආකාරයට හිස වනන්නට ගොස් සිදු වන්නේ ඔලුවේ තිබූ මුට්ටිය බිම වැටී බිඳී යාමයි.

උදය ගම්මන්පිල මෙම නඩු විභාගයෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය තහනම් කිරීම ගැන සිහින දකියි. එහෙත්, එහෙම නඩු විභාගයක් සිදු වුණහොත් එතැනින් නතර නො වී සිය අනුග්‍රාහකයන්ට පමණක් නොව, උදය ගම්මන්පිල නායකත්වය දැරූ සිහල උරුමය, ජාතික හෙළ උරුමය වැනි සංවිධානවලට ද සිදු වන්නේ එය ම බව ඔහුගේ සිහිනයට නො පෙනේ.

නරක කාලයක් ලැබුවා ම හිතට පැන නගින්නේ ද නරක සිතුවිලි ම ය. ආණ්ඩුවට ද උදය ගම්මන්පිලට ද සිදු වී තිබෙන්නේ එයයි.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)