ගොවීන්ට උපකාර කරනු! පොහොර සහනාධාරය නොදෙනු!

තම ආණ්ඩුවක් යටතේ පොහොර සහනාධාරය නැවත ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අවසානයේදී හාල් මෝල් හිමියන් පොහොසත් කරන මෙම නාස්තිකාර පොහොර සහනාධාරය නැවත ක්‍රියාත්මක නොකළ යුුතුය. එසේ කිරීමෙන් ගොවීන් දැනට යොමුවී තිබෙන අරපිරිමැසුම් සහගත පොහොර භාවිතය පවා නවතී.

ආනයන වියදම හා ගැලපෙන සාධාරණ වෙළඳපොළ මිලකට පොහොර ලබාගැනීමේ අවස්ථාව ගොවීන්ට තිබිය යුතුය. සහල් ඇතුළු සියලු කෘෂි භෝගවල මිල ඒ අනුව නියම විය යුතුය.

පොහොර ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව ආනයනය කරනු ලබන පොහොර මෙට්‍රික් ටොන් ගණන ලක්ෂ 13ක්ට වැඩිය. ඒ වෙනුවෙන් විදේශ විනිමය වශයෙන් වැය කරන මුදල රු. බිලියන 60ක් පමණ වේ. මේ අතරින් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වී වගාවට ද ඉතිරි ප්‍රමාණය සෙසු වගාවන්ට ද භාවිතා වේ. මෙම වියදම ගොවියා විසින් දැරිය යුතුය. ඒ අනුව වෙළඳපොළ මිල ගණන් සකස් විය යුතුය. මෙම වියදම දරාගත නොහැකි ගොවීන්ට යම් ණය ක්‍රමයක් සම්පාදනය කළ යුතුය.

රජය ගොවීන්ට සහනාධාර ලබාදිය යුතුය. ඒ සහනාධාර මත යැපෙන වර්තමාන ගොවිතැනේ සිට නවීන කෘෂිකර්මාන්තයක් දක්වාත්, දිළිඳු ගැමියාගේ සිට ගොවි ව්‍යවසායකයා දක්වාත් සංවර්ධනය වන්නටය.

ඒ සඳහා ගොවීන්ට දැනුම, පුහුණුව, තොරතුරු හා තාක්ෂණය ලබාගැනීමේ පහසුකම් සම්පාදනය කළ යුතුය. කෘෂි රක්ෂණ ක්‍රම, ණය පහසුකම්, ගබඩා පහසුකම්, පසු අස්වනු තාක්ෂණය, වෙළඳපොළ නියාමනය, ගොවි විශ්‍රාම වැටුප්, වාරි ක්‍රම සංවර්ධනය කිරීම, වන සතුන් කළමනාකරණය, අපනයන ප්‍රවර්ධනය වැනි කෘෂිකර්මාන්තය ආශ්‍රිත අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් රජය ආයෝජනය කළ යුතුය.

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා