ත්‍රස්ත විරෝධී නව නීති ඇත්තටද? බොරුවටද?
අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2022-02-19
2021 වසරේ මැද භාගයේදී ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත විය. සිවිල් රාජ්‍ය කටයුතුවලට හමුදාව මැදිහත්වීම වැඩිවීම, වගවීමේ ක්‍රියාවලිවලට දේශපාලනික බලපෑම් කිරීම, (වගකීම්වලින්) බැහැර වන බවට කයිවාරු ගැසීම, සිවිල් සමාජයට තර්ජනය කිරීම හා ප්‍රධාන වශයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු ත්‍රස්ත විරෝධී නීති මෙයට හේතු විය. ශ්‍රී ලංකා රජයේ වගවීම් ක්‍රියාවලිය, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව හමුවේද ප්‍රශ්නකිරීමට ලක්වී තිබේ. මාර්තු මාසයේදී එහි මීළඟ සැසිවාරය පැවැත්වේ. ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවේ උපකාර ලබාගැනීම සඳහා රජයට නැවතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මතක් වී තිබේ. රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත 2022 ජනවාරි 27දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම ආරම්භ වුණේ 1979දී ය. එහි ආදීනව ගැන එම අවධියේ සිටම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවක් පැවතිණි. 2015-19 සමයේ යහපාලන රජය 2016දී එය ඉවත් කිරීම වැඩසටහනකට මුලපිරුවේය. එයට පදනම් වූයේ අලුතින් හඳුන්වා දීමට උත්සාහකළ ප්‍රති ත්‍රස්ත පනත්යි කෙටුම්පතයි. එය වඩා විධිමත් ත්‍රස්ත විරෝධී නීතියක් විය. වත්මන් ආණ්ඩුව වන එදා විපක්ෂය එය දුටුවේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් ලෙසයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ට ඉතාමත්ම යහපත් ලෙස සැලකීම, සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම තිබෙන පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාර දීමට සිදුවීම, සැකකරුගේ තුවාල තිබේ නම් අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීම, මානව හිමිකම් කොමිෂම වෙත වාර්තා කිරීම, අත්අඩංගුවට ගන්නා නිලධාරියා තම අනන්‍යතාව සැකකරුට සහ පවුලේ අයට දැනුම් දීම, සැකකරු බැලීම සඳහා සාධාරණ අවස්ථා ලබා දීම, පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීම, මහේස්ත්‍රාත්වරයකුට ඔහු රැඳවුම් භාරයේ තබාගත හැකි උපරිම කාලය සති අටක් වීම, නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ තබාගත හැකි කාලසීමාව සති 12කට සීමා වීම, නඩු පැවරීමක් සිදු නොවුවහොත් සැකකරුට ඇප දෙන්නට සිදුවීම, රාජ්‍ය ආරක්ෂාවට බරපතල අගතියක් හෝ මරණ වැනි දේ සිදු වී නැති සංදර්භයක් තුළ වන්දියකට හා පුනරුත්ථාපනයට යටත්ව නීතිපතිවරයාට නඩුවක් ඉල්ලා අස්කරගැනීමට හැකි වීම වැනි කාරණා දැඩි ලෙස විවේචනය කරමින් නිකුත් කළ නිවේදනයේ පැවසුවේ “යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයක්, බවයි. ,
මේ අතර, අති වාමාංශික කොටස්වලට හා සිවිල් සමාජ සංවිධානවල ඇතැම් අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ නොකරමින් එය මුළුමනින්ම ඉවත් කිරීමට අවශ්‍ය විය. අතරමැදි විසඳුමක් ඉදිරිපත් කිරීමට රජය සමත් වූයේ නැත.
ත්‍රස්‌තවාදය මැඬලීම අවශ්‍ය දෙයකි. කෙසේ වෙතත් ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචන ඉතා පටුය. රාජ්‍ය ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවකි. ත්‍රස්ත මර්දන නීතිවලට රාජ්‍ය ත්‍රස්තවාදයත් අයත් විය යුතුය. ත්‍රස්ත මර්දනයේදී වුව මානව හිමිකම් වගකීම් පරිපූර්ණව ඉටු කිරීම සහතික කිරීමට නව නීතිවලට හැකි විය යුතුය.
1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු ය. එමගින් වරදකරුවන් කරන ලද දේශපාලන හේතු මත ත්‍රස්තවාදී චෝදනාවට ලක් වූ සියලු පුද්ගලයන්ට කොන්දේසි සහිත පොදු සමාවක් දීම සලකා බැලීම පවා සාධාරණ ය.
ත්‍රස්ත ප්‍රතිරෝධන නීති රාමුව විසින් සිවිල් නිදහස යම් යම් ආකාරවලින් සීමා වීම වළක්වා ගැනීම ඉතා දුෂ්කර ය. එය කවර රජයකට වුවත් දැවැන්ත අභියෝගයකි. ත්‍රස්තවාදීන් ද දිනෙන් දින සිය වැඩරාමුව වෙනස් කර ගන්නා සංදර්භය තුළ ත්‍රස්ත ප්‍රතිරෝධන නීති හා සිවිල් අයිතිවාසිකම් අතර තුලනය හැමදාමත් සාකච්ඡා කළ යුතු විෂයක් වීම නො වැළැක්විය හැකි ය. පීඩිත ප්‍රජාවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා ත්‍රස්ත විරෝධී නීති යොදාගැනීම සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් තිබේ. එහෙත්, පාස්කු ප්‍රහාරය සිදුකළ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය යනු දේශපාලනික විසඳුම් මගින් හෝ සාකච්ඡා මගින් හෝ සම්මුතියකට පැමිණිය හැකි එකක් නොවේ. එය දේශපාලන ඉල්ලීමක් හෝ සමාජ පීඩනයක් මත පදනම් වන්නක් ද නොවේ. එහි ඇත්තේ යම් ආධ්‍යාත්මික ස්වරූපයකි. නූතනත්වය මත පදනම් වූ සමාජ ක්‍රමයකට ඒ සම්බන්ධයෙන් දිය හැක්කේ යුදමය විසඳුමක් පමණි.
රජය විසින් යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සිවිල් සංවිධාන රැසක මතයයි. උදාහරණයක් ලෙස, සහකාර පොලිස් අධිකාරීවරයකු හමුවේ කරන ලද පාපෝච්චාරණයක් සාක්ෂියක් ලෙස පිළිගැනීමේ හැකියාව නව පනතේ 16වන වගන්තිය යටතේ එසේම තිබේ.
මෙමගින් වරදක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන පුද්ගලයකු සම්බන්ධ මූලික නිසි පටිපාටිය හා සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය උල්ලංඝනය වේ. එයට හේතුව වන්නේ පාපෝච්චාරණය ලබාගත්තේ පීඩනයකට ලක්කිරීමෙන් බව ඔප්පු කිරීමේ වගකීම විත්තිකරුට පැවරීමයි. පුද්ගලයන්ට එරෙහිව පාපෝච්චාරණ පදනම් කරගෙන නඩු පැවරීමේදී භාවිතා විය යුතු අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමයෙහි කාර්යක්ෂමතාව ද එමගින් ප්‍රශ්න කිරීමට ලක්වේ. අසම්මත භාවිතාවක් වන එවැනි නීතිමය විධිවිධානයක් නීතිය තුළ පැවතිය යුතු නැති බව සිවිල් සංවිධාන පෙන්වා දෙති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතහි තිබෙන අඩුපාඩු මගහැරීමට යෝජිත සංශෝධන අසමත් බව සිවිල් සංවිධාන පෙන්වා දෙති. ඒ වෙනුවට යෝජනා කරනු ලබන්නේ දැනටත් පවතින, එහෙත්, බොහෝවිට උල්ලංඝනය වන බව පෙනෙන වෙනස්කම්ය. එසේ නැතහොත්, පවත්නා තත්වය ප්‍රමාණවත් අන්දමින් හෝ අර්ථවත් ලෙස හෝ වෙනස් කිරීමට ඉවහල් නොවන නොගැඹුරු වෙනස්කම්ය. ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාද දරන්නන් ප්‍රතිරැඩිකල්කරණය සඳහා වන රෙගුලාසි නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් පිළිබඳ ගැටලු මතුවේ.
කියවන්න:
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.