ඩිජිටල් හැඳුනුම්පත ආයෙත් කරළියට

 

අජිත් පැරකුම් ජයසිංහ

2021 මැයි 15දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුණු එන්නත්කරණය පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් පිළිබඳ කතා කළේය. එවැනි කාඩ්පතක් හරහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දත්ත ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද ඔහු කතා කළේය. එහෙත්, එම ඩිජිටල් එන්නත් හැඳුනුම්පත කතාවට පමණක් සීමා විය.

ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් මගින් එන්නත්කරණය කළමනාකරණය කිරීම පහසු වන්නට ඉඩ තිබිණි. එය සිදුවූයේ නැත. මේ අතර, එන්නත් කාඩ්පත ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීමේ අවසරපතක් බවට පත්කිරීමට රජය සලකා බලමින් තිබේ. එන්නත් විරෝධය තීව්‍ර වීම එයට ප්‍රධාන හේතුවයි. එහෙත්, වර්තමානයේ තිබෙන පැරණි හාල්පොත වැනි එන්නත් කාඩ්පත යන යන තැන පහසුවෙන් රැගෙන යාහැකි එකක් නොවේ. එහෙනම්, ඩිජිටල් එන්නත් හැඳුනුම්පතේ අවශ්‍යතාව යළි මතුකර එයට ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකිය.

එහෙත්, මෙහිදී ඊට වඩා වැදගත් කාරණයක් තිබේ. එනම්, මේ හැඳුනුම්පත් කෝටි දෙකක් පමණ අලුතින් සැකසීම පිටුපස තිබෙන දැවැන්ත ව්‍යාපාරයයි. එසේම, එන්නත්කරණයට කිසිදු අදාළකමක් නැති, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට මෙම කාඩ්පත පිළිබඳ තිබෙන අසාමාන්‍ය උනන්දුවයි. සාමාන්‍යයෙන් මේ කාඩ් සෙල්ලම් කාට හෝ අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයි. එක් කාඩ් පතකින් රුපියල් කීපයක් කොමිස් ගැහුවත් සැලකියයුතු දූෂණයකි. එහෙත් කොමිස් ගසන්නේ සතෙන් සතේ, රුපියලෙන් රුපියල නොවේ.

ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, රක්ෂණ කාඩ්පත්, එන්නත් කාඩ්පත්, බැංකු කාඩ්පත් ආදිය දැන් අති නවීන දේ නොවේ. අවශ්‍ය නම් කෙනෙකුගේ ඇඟිලි සලකුණට මේ සියල්ල ඇතුළත් කර පද්ධතියක් සැකසිය හැකිය. එහි තිබෙන එකම ගැටලුව දත්තවල පෞද්ගලිකත්වය උල්ලංඝනය වීමට තිබෙන ඉඩයි. එය සුලුපටු ප්‍රශ්නයක් නොවේ.

ලංකාවේ පාලකයන්ගේ හා නිලධාරීන්ගේ කාඩ් නිකුත් කිරීමේ උනන්දුව කෙතරම් ද යත්, රටේ තව ඕනෑ තරම් ප්‍රශ්න තිබියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යළි කරළියට පැමිණ තිබේ. මෙවර එය පැමිණෙන්නේ ඉන්දීය ව්‍යාපෘතියක් ලෙසයි. ඉන්දීය ආධාරයක් යටතේ ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛ ලෙස සලකා කටයුතු කරන්නට පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

එහිදී ආදර්ශය ලෙස සලකනු ලබන්නේ ඉන්දියාවේ ආධාර් නම් වන ඩිජිටල් අනන්‍යතා පත්‍රය බව ද හින්දු පුවත්පත වාර්තා කළේය. ආධාර් කාඩ්පතෙහි අරමුණ වන්නේ මූල්‍ය හා වෙනත් සහනාධාර, වාසි හා සේවා ඉලක්කගතව සම්පාදනය කිරීමයි. එය ලොව විශාලතම බයෝමෙට්‍රික් හෙවත් ජීවමාත්‍රික අනන්‍යතා පද්ධතියයි. නූතන ලෝකයේ එවැනි ක්‍රමවේදයක් මගින් බොහෝ කටයුතු පහසු කරගත හැකිය. එහෙත්, පෞද්ගලිකත්වය පිළිබඳ නීති හා මානව හිමිකම් අනුව මෙවැනි කාඩ්පතක් අනිවාර්ය කළ නොහැකිය. එසේ වුවද, එවැනි හැඳුනුම්පතක් නොමැති පුද්ගලයන්ට විශාල කරදර ප්‍රමාණයකට මුහුණදෙන්නට සිදුවන පසුබිමක් නිර්මාණය කිරීමෙන් සියලුදෙනා එවැනි හැඳුනුම්පත් ලබාගන්නට යොමුකළ හැකිය. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් නොමැති පුද්ගලයන්ට ඡන්දය දීමේ සිට බොහෝ කරදර ප්‍රමාණයකට මුහුණදෙන්නට සිදුවේ. ඒ නිසා එය ලබාගැනීම නොනිල වශයෙන් අනිවාර්ය වේ.

හැඳුනුම්පත ඩිජිටල් කිරීමෙහිදී ද මෙය සිදුවනු ඇත. එමගින් එදිනෙදා කටයුතු පහසු වන පසුබිමක් නිර්මාණය වූ කල තම පෞද්ගලිකත්වය හා දත්තවල රහස්‍යභාවයට ඇති අයිතිවාසිකම් පසෙකලා මෙම හැඳුනුම්පත වෙනුවෙන් පෞද්ගලිකත්වය අත්හැරීමට ඕනෑම කෙනෙකු පෙළඹෙනු ඇත.

දත්තවල රහස්‍යභාවය සම්බන්ධයෙන් නීති රීතිවල ගැටලුව ලෝක පරිමාණ ප්‍ර‍ශ්නයකි. දත්තවල ආරක්ෂාව පාලනය කරන ජාත්‍යන්තර යාන්ත්‍ර‍ණයක් නොමැති නිසා ඒ සම්බන්ධ තීරණ ගැනීමට සිදු වී තිබෙන්නේ ජාතික රාජ්‍යයන්ට ය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටවලට නම් මේ පිළිබඳ වගේ වගක් නැති බව කණගාටුවෙන් කිව යුතු ය. උදාහරණයක් ලෙස, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන විසින් ගොනු කර ගනු ලබන දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ පැහැදිලි වගවීමක් එම ආයතනවල ඇති බවක් නොපෙනේ. වර්තමානය වන විට ජංගම දුරකථන සමාගම් විසින් පුද්ගලයන් පිළිබඳ එකතු කර ගන්නා දත්ත ප්‍ර‍මාණය අති විශාල ය. ඒවායේ නීතිමය සුරක්ෂිතභාවය කෙසේ ද? ඒවා අපහරණය කිරීමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් අතර සංවේදීභාවය තිබෙන්නේ අවම මට්ටමකය. දත්ත සුරක්ෂිතභාවය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් සැලකිලිමත් විය යුතුව තිබෙන සුවිශේෂ හේතුවක් වන්නේ රටෙහි ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පවතින අතිශය අවදානම් සහගත තත්වයයි.

රට පුරා අන්තර්ජාල ආවරණය නැත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් වන වියදම් සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකිය. පරිගණක පමණක් නොව, ජංගම දුරකථන ද සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සලකා ආනයනයදැඩි ලෙස සීමා කර තිබේ. ඩිජ ඩිජිටල් හැඳුනුම්පත ලංකාවේ ආණ්ඩුවට ප්‍රමුඛ වී තිබේ.

2011දී ද මහින්ද රාජපක්ෂ රජය ඩිජිටල් හැඳුනුම්පතක් පිළිබඳ යෝජනාවක් ගෙන ආවේය. එහිදී දැනට හැඳුනුම්පතක් හිමි අයට පමණක් එය නොමිලේ ලබාදී අලුතින් හැඳුනුම්පත් ලබාගන්නා අයගෙන් මුදල් අයකිරීමට ද රජයට උවමනා විය. 2015-19 වකවානුවේදී යහපාලන රජය විසින් ද ඩිජිටල් හැඳුනුම්පත ඉදිරියට ගෙන ආමුත්, ඇතැම් අංශ විසින් දක්වන ලද විරෝධය නිසා එය හකුළාගන්නා ලදී.

Read more in Digital identity card again becomes a priority in Sri Lanka

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා