ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කටඋත්තරය පාපෝච්චාරණ සාක්ෂියක් බවට පත්කරන හැටි

 

අජිත් පැරකුම් ජයසිංහ

කකුල් දෙකෙන් එල්ලලා, ඔලුව යටින් මිරිස් කුඩු පුච්චලා, නියපොතු ගලවලා, හම ගහලා කටඋත්තර ගනිද්දි ඒ සියල්ල විඳදරාගෙන කටඋත්තර දීම ප්‍රතික්ෂේප කරපු වීරයෙක් ගැන කියවන්න ආසාවෙන් ආවා නම් ආපහු යන්න. මේක එහෙම මයිල් කෙළින් වෙන කතාවක් නෙමෙයි. මං එහෙම වීරයෙක් නෙමෙයි.

1989 මැයි මාසෙ මාව හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන එළියකන්ද වධකාගාරයට අරන් යනකොට හදිසි නීතිය තිබුණෙ නැහැ. මාත් එක්ක අත්අඩංගුවට ගත් කණ්ඩායමේ රුහුණු විශ්වවිද්‍යාලෙ සමාජවාදී ශිෂ්‍ය සංගම් නායකයා වුණ තිස්සත් හිටියා. ඔහු නිදහස් කරන්නය කියලා ලොකු උද්ඝෝෂණයක් පැවැත්වුණ නිසා ඔහු නිදහස් කළා. ඔහු එළියට ගියාට පස්සෙ පක්ෂෙන් අනෙක් තුන්දෙනා වෙනුවෙන් හෙබයාස්කෝපුස් ගොනු කළා. ඒ අප අසවල් තැන රඳවා තබාගෙන ඉන්න නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නය කියලා.

ඒ අනුව අප මාතර පොලිසිය භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවට පවසා රැඳවුම් නියෝග ගත්තා. හැබැයි ඇත්තටම හිටියෙ එළියකන්දෙ. මට මතක විදියට, 1989 අගෝස්තු මාසෙ හදිසි නීතිය නැවත පැනවූවා. එළියකන්ද නැවතත් පරිපූර්ණ වධකාගාරයක් බවට පත්වුණා. සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගියා.

හතරවන පාබල හමුදාවෙ කැප්ටන් රත්නායකගෙ යටතෙ තිබුණ දකුණු පළාතෙ හා මාතර හමුදා බුද්ධි අංශය පස්සෙ කාලෙක කොටින්ට ඔත්තු දීම නිසා සිරභාරයට ගන්නා ලද හයවන කාලතුවක්කු හමුදා‍ෙ මේජර් දසනායක යටතට පත් කළා. ඉන් පස්සෙ එළියකන්දට ආවෙ කලින් හිටපු පිරිසට වඩා කෘර වධකයන් පිරිසක්. ඒ කාලෙ විස්තර මගේ කේපොයින්ට් කතාවේ තිබෙනවා.

විවිධ හැලහැප්පීම් මැද්දෙ එළියකන්දෙ තරුණයන් රැසක් මරාදමද්දි මාත්, දැන් ඇමති ඩලස්ගෙ ලේකම් කෙනෙකු වන සුමිත් චන්දනත් පණ බේරගත්තා. මාත් එක්ක අත්අඩංගුවට ගත් අනෙක් සහෝදරයා වන ආනන්දෙ ශිෂ්‍යයකු වන චම්ලිව රැඳවුම් නියෝග, හෙබයාස්කෝපුස් තියෙද්දිම මරාදැම්මා.

මාතර පොලිසියෙන් ඇවිත් මගෙන් කටඋත්තර ගන්න ඕනැ බව කිව්වෙ ඔය ආසන්න වකවානුවක. සාජන් කෙනෙකු තමයි ආවෙ. මුලින් මං දීපු ප්‍රකාශය අතින් ලියාගෙන මට කියවන්නත් දීලා අත්සන් ගත්තා. ඒක හරිම සාමකාමී විදියටයි වුණේ. හැබැයි දවස් කීපයකට පස්සෙ අර සාජන්ම ඇවිත් මාව අරගත්තා. යතුරුලියනය කරපු කටඋත්තරයක් පෙන්නලා අපි මේක ටයිප් කරලා ගෙනාවා අත්සන් කරන්න කිව්වා. මං මුල් වාක්‍ය දෙක තුන යන්තම් බලනකොටම මට තේරුණා ඒකෙ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙ නම තියෙනවා, ඒ වගේම අත්අඩංගුවට ගත් දින වකවානු වෙනස් බව. ඒක වෙනස් බව මං කීවා. ‘එතකොට මේක අත්සන් කරන්න බැරිද?’ කියලා පොලිස් නිලධාරියා ඇසුවා. ඒ අසල සිටි වධකයකු වන කස්තුරි ඇවිත් ‘ඕකෙ කියවන්න දෙයක් නැහැ. අස්සං කරපං.’ කිව්වා. ඒක ඒ විදියට තමයි සෙට්කරලා තිබුණෙ.

තත්වය ගැන අවබෝධයක් තිබුණු නිසා මං ඒක අත්සන් කළා. එදා ඒක අත්සන් නොකළා නම් මේ කතාව කියන්න මං අද මෙතන නොඉන්න පුළුවන්.

ඒ කටඋත්තරය ඉන් පසුව මට විරුද්ධව සාක්ෂියක් විදියට භාවිතා කළා. ඒ විස්තර දැනට මං කියන්නෙ නැහැ.

කටඋත්තරය ගැනීම කියන නිශ්චිත කාර්යය වෙනුවෙන් මාව කිසිම වධහිංසනයකට ලක්කළේ නැහැ කියලා තර්ක කරන්න පුළුවන්. ඇත්තෙන්ම ඒ කටඋත්තරය මගෙන් ගත්තෙත් නැහැ. ඒ සහකාර පොලිස් නිලධාරියා ඉදිරිපිට මං අත්සන් කළෙත් නැහැ. මං ඒ පුද්ගලයා දැකලාත් නැහැ.

ඒත්, මං ඒක අත්සන් කළා. ඒකට හේතුව, ඒ වනවිට මං හිටපු පරිසරය. මං ලියපු කේපොයින්ට් කතාව කියවපු අය කියන්න මං ඒක අත්සන් කරපු එක වැරදිද කියලා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.

2022 ජනවාරි 27දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ 16වන වගන්තිය යටතේ ද සහකාර පොලිස් අධිකාරීවරයකු හමුවේ කරන ලද පාපෝච්චාරණයක් සාක්ෂියක් ලෙස පිළිගැනීමේ හැකියාව එහෙමම තිබෙනවා. මෙමගින් සිදුවී තිබෙන්නේ පාපෝච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසනය භාවිතා කිරීමට අවස්ථාව ලැබීමයි. මෙම නීතිමය විධිවිධානය හේතුවෙන් දැඩි මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවා කරුණු ඉදිරිපත් කර තිබෙනවා. වරදක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන පුද්ගලයකු සම්බන්ධ මූලික නිසි පටිපාටිය හා සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය මෙමගින් උල්ලංඝනය වෙනවා. එයට හේතුව වන්නේ පාපෝච්චාරණය ලබාගත්තේ පීඩනයකට ලක්කිරීමෙන් බව ඔප්පු කිරීමේ වගකීම විත්තිකරුට පැවරීමයි. පුද්ගලයන්ට එරෙහිව පාපෝච්චාරණ පදනම් කරගෙන නඩු පැවරීමේදී භාවිතා විය යුතු අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමයෙහි කාර්යක්ෂමතාව ද එමගින් ප්‍රශ්න කිරීමට ලක්වෙනවා.

නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙක්. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේම කටඋත්තරයයි. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියකි. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ප්‍රකාරව සිවිල් අයිතීන් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් මෙරට ඉහළ ම අධිකරණයේ නඩු තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට සාධාරණය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකියි. සිංහරාසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාවට කළ පැමිණිල්ල සලකා බැලූ එම කොමිසමේ මානව හිමිකම් කමිටුව යම් අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ 2016 ජුලි මස 07 වන දා පාර්ලිමේන්තුවේ සිංහරාසා නඩු තීන්දුව පිළිබඳ ප්‍රකාශයක් කරමින් නඩු තීන්දුව පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව කතානායකවරයාට දන්වා සිටියා. එහෙත්, මේ කිසිවකින් විත්තිකරුට සාධාරණයක් ඉටු වුණේ නැහැ.

සිංහරාසා තවමත් සිරගෙදර විය හැකි බව මම සිතමි. ඔහුට එරෙහිව එල්ල වූ උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පහර දීමේ හෝ පහර දීමට උත්සාහ කිරීමේ චෝදනාව සාධාරණ අන්දමින් ඔප්පු වී නැහැ. තමිලිනීගේ ‘තියුණු අසිපතක සෙවණ යට’ කෘතියෙහි ඇය මෙවැනි ප්‍රහාර ගණනාවක් ගැන සටහන් කර තිබෙනවා. ඇගේ කටඋත්තරවල ද එවැනි දේ සඳහන් වන්නට ඇති. ඇය වධහිංසනයට ලක් නොවූ බව ද ඇගේ කෘතියෙහි දැක්වෙනවා. තමිලිනීට එරෙහිව ඇගේ කටඋත්තරය යොදා ගත්තා නම් කුමක් විය හැකි ද? එහෙත්, තමිලිනීගේ කෘතියෙන් ම පැහැදිලිව ම පෙනෙන ආකාරයට ඇය ඒ අන්දමින් කටයුතු නොකළා නම් ඇගේ ඉරණම ද ඇය පරිද්දෙන් ම භාර වූ තවත් කොටි නායකයකු වන වී. බාලකුමාර් වැනි අයගේ ඉරණම වන්නට ඉඩ තිබිණි. යමෙකුට කටඋත්තරයකින් වරද පිළිගන්නට බල කෙරෙන සංදර්භය සමීපස්ථ හිංසනයට වඩා පුළුල් එකක් බව එයින් පෙනෙනවා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා