සුන්දර කැලිඩෝ වෙරළට මොකක්ද වුණේ?

 

කැලිඩෝ වෙරළ කියන්නෙ කළුතර උතුරේ අතීතයේ තිබුණු සුන්දර වෙරළ තීරයක්. දැන් ඒක එහෙම නැහැ. මේ පිංතූරෙ තියෙන්නෙ, ඉස්සර දවසක මඟුල් ගෙදරක ගිහින් එන ගමන් මගේ දියණියන් දෙදෙනා කැලිඩෝ වෙරළේ සෙල්ලම් කරනවා.


ඒ සුන්දර වෙරළ තීරය 2017දී අතුරුදහන් වුණා. 2017 වසරේ කළු ගඟ පිටාර ගැලූ අවස්ථාවේ පනාපිටිය වේල්ල කැඩෙයි ද කියා බියකුත් ඇති වුණා. (පනාපිටිය වේල්ල ගැන ලිපියක් හා වීඩියෝවක් මෙතනින්) එහෙම විනාශයක් වුණොත් පානදුර පැත්ත ගංවතුරට හසුවෙයි කියාත් ඒ පැත්තේ අය බිය වුණා. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයත්, විශේෂයෙන්ම දොඩංගොඩ පිවිසුමත් ගංවතුරට යටවුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වියදම් අඩුකරගැනීම සඳහා ගංවතුර බැසයාමට අවශ්‍ය ක්‍රම සම්පාදනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය නොතකා හළ බව පරිසරවේදී, නීතිවේදී හේමන්ත විතානගේ පවසනවා (මූලාශ්‍රය මෙතැනින්).

ඒ නිසා දේශපාලකයන්ගේ බලපෑමෙන් කළු ගඟේ මෝය කට පාලමට ඉදිරියෙන් කපාදැමුවා. ඒ සමගම කළු ගඟ පාලම අසලින්ම මුහුදට ගලන්නට පටන් ගත්තා. කොටින්ම, දැන් කළුතර පාලමටත් මුහුදු රළ වදිනවා. ඊට කලින් කළු ගඟ මුහුදට වැටුණේ හෝලික්‍රොස් හා කළුතර විද්‍යාල ඉදිරිපිටින් තිබෙන කලපුව අසලිනුයි.

දැන් කලුතර බෝධිය හා කලුතර දකුණ දුම්රිය ස්ථානය පසුපස සිට වෙට්ටුමකඩ දක්වාම විහිදෙන අලුත් වෙරළක් නිර්මාණය වෙලා. ඒ වුණත්, ඒ වෙරළට ප්‍රවේශය දුෂ්කරයි. ඒ නිසා කැලිඩෝ වෙරළ වගේ ජනප්‍රිය නැහැ.

මීට කලින් 1980 දශකයේදීත් මෝය කට කැපීමේ ප්‍රතිඵලයක් ලෙස කළුතර දකුණ දුම්රිය ස්ථානය පිටුපස කලපුව ගොඩවී වෙරළක් නිර්මාණය වුණා. එහෙත්, පසුව එය යථා තත්වයට පත්වුණා.

කැලිඩෝ වෙරළ තීරයේ පසුගිය කාලයේ දැඩි සමුද්‍ර ඛාදනයක් සිදුවුණා. වෙරළ අයිනේ පාරෙන් මෙහා පැත්තේ පිහිටි හෝටල්වලට පවා රැල්ල සමග මුහුදු වතුර ගැලුවා. 2019 ආසන්නයේදී ක්‍රියාත්මක වුණ වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය නිසා දැන් එය මඳක් ආරක්ෂා වෙලා. ඒත්, පැරණි සුන්දර වෙරළ හා ඒ ආශ්‍රිත ජන ජීවිතය, සංචාරක ව්‍යාපාරය ආදිය සක්‍රිය වන්නට තව බොහෝ දේ අවශ්‍යයි. මෝය කට නැවත තිබුණු තැනින්ම ස්ථාපිත කරන්නට පුළුවන් නම් කැලිඩෝව නැවත නිර්මාණය වේවි.

2017 මැයි මාසයේදී ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් හා ගංවතුර පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට හදිසි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමක් කැඳවනු ලැබිණි. එම අවස්ථාවට සහභාගී වු උතුරු කළුතර පදිංචිකරුවකු වන ජයපාල සුසෙව්හේවා එහිදි ඇතිවූ තත්ත්වය හා ප්‍රායෝගිකව මුහුණදීමට සිදුවූ අත්දැකීම 2018 ජුලි 14 ලංකාදීප පුවත්පතට විස්තර කළේ මෙසේය:

“මේ රැස්වීමට ජනාධිපතිතුමාත් ආවා. ඒ වෙලාවේ තිබුණ තත්ත්වය ඉක්මනින් ගංවතුර බස්සවන්න ඕන වුණා. ඒ නිසා නිලධාරීන් ජනාධිපතිතුමාට ඒ බව පෙන්වා දුන්නා කැලිඩෝ වෙරළ කපා වතුර බැස්සවීම තමයි මේ වෙලාවේ තිබෙන විකල්පය කියලා. ජනාධිපතිතුමා කිව්වා ඒවගේ දේවල් ඉංජිනේරුවන්ගේ උපදෙසකින් තොරව ඒ අයගේ අධික්ෂණයකින් තොරව කරන්න එපා කියලා. අපි රැස්වීම ඉවර වෙලා එළියට එනකොටත් කැලිඩෝ වෙරළ පටු තැනකින් කවුදෝ කපලා. වතුර බහිනවා. එතනට ඇවිත් බලපු නිලධාරීන් දේශපාලනඥයින් සියලු දෙනා මේක තමන් කරපු වැඩක් වගේ ඒ වෙලාවේ ලකුණු දාගත්තා. ඒ මොකද ගංවතුර බැස්සනේ. ඒත් එයින් අනාගතයේ සිදුවන හානිය ගැන ඒ අයට කිසිම අදහසක් තිබුණේ නැහැ. වතුර බැහැලා ගියාට පස්සේ අපි කීප වතාවක්ම පෙන්වා දුන්නා දැන් මෙතන මොනවා හරි ක්‍රමයකට වහලා දාමු නැත්නම් සම්පූර්ණයෙන් වෙරළ විනාශ වෙනවා කියලා. ඒත් කිසිම කෙනෙක් ඒක ගණන් ගත්තේ නැහැ. ඒ අය කිව්වේ මේක ස්වභාවිකව වැලි ඇවිත් වැහෙනවා කියලයි.” 

කැලිඩෝ වෙරළට ඒ නම ලැබුණෙ මේ සුන්දර වෙරළ ආසන්නයේ පිහිටා තිබුණ කැලිඩෝ තානායම නිසායි.

පහත දැක්වෙන වීඩියෝව බලන්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා