ජෝර්දානයේදී ලාංකික ගැහැණුන්ට පහර දීමට තානාපතිවරිය හා ලංකා රජය වගකිව යුතුයි



ජෝර්දානයේ රැකියා අහිමිව සිටියදී ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන අතරමං කර දමා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට අධික පිරිසකට ජෝර්දාන පොලිසිය ලවා ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හා ජෝර්දාන තානාපති ශානිකා දිසානායක කටයුතු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවකි.

ශ්‍රී ලංකාව තම රටට විදේශ විනිමය ගෙනත් දුන් පුරවැසියන් ආපසු ගෙන්වන්නේ ඉතා සෙමින් ය. ඔවුන් නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය වියදම් දරාගැනීමට නොහැකිකම එක් හේතුවකි. අනෙක් පැත්තෙන්, කොවිඩ්-19 පාලනය කළ බව පෙන්වා මහ මැතිවරණයේදී වාසි ලබාගැනීම සඳහා මෙම ලාංකික පුරවැසියන් බිල්ලට දී තිබේ.

මාස පහක සිට රැකියා අහිමිව සියරට පැමිණීමට නොහැකිව සිටින මෙම කාන්තාවන්ට තානාපති කාර්යාල නිලධාරීන් හමුවේ උද්ඝෝෂණය කිරීම හැර වෙන විසඳුමක් නැත. සංක්‍රමණික ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීම සීමා කිරීමේ ශ්‍රී ලංකා රජයේ අනම්‍ය ප්‍රතිපත්තිය නිසා තානාපතිවරියට වුව කිරීමට දෙයක් නැති විය හැකි ය. එහෙත්, ඇය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වගකීම භාරගත යුතුව තිබිණි. තම නිලධාරීන් නිවැරදිව මෙහෙයවා ගත යුතුව තිබිණි. මෙම තත්වය ඇති වී තිබෙන්නේ ඇය එම කාන්තාවන්ට මෙන් ම ශ්‍රී ලංකා රජයට ද හරිහැටි කරුණු පැහැදිලි කර දීමට අසමත් වීම නිසා ය. වහාම ඇය ආපසු කැඳවිය යුතු ය. මැද පෙරදිග රටවල් ගණනාවක ශ්‍රී ලාංකික ගැහැණුන් හා පිරිමින් අසරණව සිටින්නේ මෙවැනි නිලධාරීන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල රජයටත්, රටටත් ඉදිරිපත් නොකරන නිසා ය. ඔවුන් වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි කටයුතු නොකරන නිසා ය.

විදේශ රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මණින් ආපසු ගෙන්වා ගැනීම ශ්‍රී ලංකා රජයේ වගකීමයි. ඔවුන් නිරෝධායනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය. ඒ වෙනුවෙන් මහජන මුදල් වෙන් කළ යුතු ය. ඡන්දයේදී එක් මන්ත්‍රීවරයකු පත් කරගැනීම සඳහා රු. කෝටි පහක් පමණ වැය කරන රජයකට එසේ කරන්නට බැරි විය නොහැකි ය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය ආදායම් මාර්ගය බවට පත්වෙමින් රටේ ආර්ථිකයට උර දුන් මේ ජනතාව වෙනුවෙන් දැරිය යුතු බර දැරීමට මුළු රට ම සූදානම් විය යුතු ය.

ශානිකා දිසානායක පසුගිය දෙසැම්බර් මාසයේදී ගත් ඉහත ඡායාරූපයේ ජෝර්දානයේ අබ්දුල්ලා රජුට අක්තපත්‍ර භාර දුන් ආකාරය පහත ඡායාරූපයේ දැක්වේ.


පහරදීමට පෙර වීඩියෝවක්

පහර දීම හා ඉන් පසු


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා