ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාතිකවාදය හා ජාත්‍යන්තර ප්‍රතිචාර

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත

ශ්‍රී ලංකාව කොවිඩ්-19න් පසු ගිලෙමින් සිටින ආර්ථික අගාධයේ ගැඹුර පිළිබඳ රටේ පාලකයන්ට හෝ අවබෝධයක් තිබේදැයි නොපෙනේ. පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කීපයකින් ඒ බව නිරූපණය වේ.
Translations by Creative Content Consultants
වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ කොව්ඩ්-19 රෝගියාට එය වැළඳුණේ කෙසේ ද යන්න තවමත් අභිරහසකි. කෙසේ වෙතත්, ඔහුගෙන් කිසිවකුට කොවිඩ්-19 බෝ වී ඇති බවක් දැනට වාර්තා වන්නේ නැත. එය ද විස්මය ජනක ය. කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. ශ්‍රී ලංකාව දිගින් දිගට ම පවතින්නේ කොවිඩ්-19 සම්බන්ධයෙන් අවදානම් තත්වයක ය.
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් දැන් ක්‍රියාත්මක ය. එසේ පැමිණෙන අය අතරින් කොවිඩ්-19 රෝගීන් හමු වීම සුලබ තත්වයකි.
බොහෝ රටවල් විසින් ශ්‍රී ලංකාව සලකන්නේ ද ගමන් කිරීමට අවදානම් සහිත තවත් රටක් ලෙසයි. මෙම තත්වය දැඩිව ම බලපාන්නේ සංචාරක කර්මාන්තයටයි. ශ්‍රී ලංකාවේ තුන්වන ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය සංචාරක කර්මාන්තයයි. එහි ඍජු හා වක්‍ර රැකියා නියුක්තිය ලක්ෂ හතරකට වැඩි ය. එය ශ්‍රම බලකායෙන් 5%කට වැඩි ය. මේ වන විට සංචාරක කර්මාන්තය බොහෝ දුරට අකර්මණ්‍යව තිබෙන අතර මෙම පිරිසගේ ජීවනෝපාය අහිමි වී තිබේ.
තත්වයෙන් ගොඩ ඒමට නම්, ශ්‍රී ලංකාව ගුවන් තොටුපල විවෘත කර සංචාරකයන්ට නිදහසේ රටෙහි සැරිසැරීමට අවස්ථාව ලබාදිය යුතු ය. ශ්‍රී ලංකාව ඒ සඳහා ඉදිරිපත් වුවත්, මේ වන විට, ලෝකයේ රටවල් විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 පාලනය කරන ලද සංචාරයට ආරක්ෂිත රටක් ලෙස පිළිගැනීමට ලක්ව නැත. බ්‍රිතාන්‍යය සහ සිංගප්පූරුව ද පසුගිය සතියේ සිට ශ්‍රී ලංකාව අනාරක්ෂිත රටවල් ගණයට ඇතුළත් කරන්නට පියවර ගත්තේ ය.
යුරෝපා රටවල් 27ක් විසින් ආරක්ෂිත රටවල් ලෙස නම් කරන ලද රාජ්‍ය 15ක ලැයිස්තුවෙහි ද ශ්‍රී ලංකාව නැත. එම රටවල් 15හි වැසියන්ට යුරෝපා සංගමයේ රටවලට පැමිණීමට අවස්ථාව තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බ්‍රසල්ස්හි යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි. එහෙත්, ලැබී ඇති පිළිතුර වන්නේ ගුවන් තොටුපළ විවෘත නොකළ හා යුරෝපා සංගම් කලාපයෙන් පැමිණෙන අමුත්තන් භාර නොගත් රටවල් පිළිබඳ යුරෝපා සංගමය දැනට සලකා නොබලන බවයි.
තමන් කැමති පරිදි ජාතිකවාදී වෙමින් ලෝකයෙන් තමන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරවාදී ප්‍රතිචාර බලාපොරොත්තු වන වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හරි යන එකක් නොවන බවට මෙය සාක්ෂියකි.
මේ අතර, 2019 වසරේ ජුලි මාසයේදී, ශ්‍රී ලංකාව ඉහළ මැදි මට්ටමේ ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් කරන ලද වර්ගීකරණය 2020 ජුලි මාසය වන විට යළි පහත දමා තිබේ. දැන් ශ්‍රී ලංකාව නැවතත් පහළ මැදි මට්ටමේ ආදායම් සහිත රටකි.
මේ අනුව 2018 වසරේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,060 ක් ලබා ඉහළ මැදි අදායම් කාණ්ඩයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වසර වන විට එක්සත් ජනපද ඩොලර් 4,020 ක් දක්වා පහළ බැස තිබේ.
ලෝක බැංකු ක්‍රමවේදයට අනුව, ඒක පුද්ගල ආදායම ඩොලර් 1,036 ට වඩා අඩු රටවල් පහළ ආදායම් ලබන රටවල් වේ.

ඩොලර් 1,036 – 4,045 අතර රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ය.

ඒකපුද්ගල ආදායම ඩොලර් 4,046 – 12,535 අතර රටවල් ඉහළ මැදි ආදායම් ලාභී රටවල් ලෙස සැලකේ. ලංකාව අයත් වූයේ මෙම වර්ගීකරණයට ය. පසුගිය වසරේ මෙම වර්ගීකරණය සිදුකිරීමේදී මෙම පරාසය ඩොලර් 3,996 – 12,375 ලෙස වෙනස් කිරීම ද ශ්‍රී ලංකාව මෙලෙසින් ශ්‍රේණියෙන් පහල වැටීමට හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2018දී ඩොලර් 4,060 ක් වූ මුත් 2019 වන විට එය ඩොලර් 4,020 ක් දක්වා පහළ බැස්සේ ය.
ඉහළ ආදායම් ලබන රටවල් ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ඩොලර් 12,535 ට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ය.
මෙම වර්ගීකරණය ශ්‍රී ලංකාවේ විදෙස් ආයෝජන ඇතුළු ආර්ථික ක්‍රියාකාරම්වලට බලපාන එකකි.
ලෝක සංදර්භය තුළ ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය අතර ඇත්තේ ඉතා සියුම් ක්‍රීඩාවකි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ඉතා බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අවශ්‍ය ය.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)