රස්සා නැතිකම නැවතත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙයි ද?

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ විරැකියාව 2020 පළමු කාර්තුවේදී 5.7% දක්වා ඉහළ නැග තිබේ. මෙය යුද සමයේ පැවති 6%ක විරැකියා මට්ටමට ආසන්න ය.
Translations by Creative Content Consultants
කොවිඩ්-19න් පසු සත්‍ය තත්වය ප්‍රකාශ වන්නේ 2020 දෙවන කාර්තුවෙහිදී වන අතර වර්තමානය වන විට විරැකියාව ඉතා ඉහළ මට්ටමක තිබිය හැකි ය. කොවිඩ්-19 හේතුවෙන් රැකියා මෙන් ම වැටුප් ද කප්පාදු විය.
කොවිඩ්-19 ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්ප්‍රදායික ආදායම් මාර්ග දෙකකට බරපතල අන්දමින් බලපා තිබේ. සංචාරක කර්මාන්තය මුළුමනින් ම පාහේ ඇණ හිට තිබේ. ඍජු රැකියා කරන 180,000ක් ඇතුළුව 450,000ක් පමණ ජනයාගේ ජීවනෝපාය වූයේ සංචාරක කර්මාන්තයයි.
මේ වන විට 50,000කට අධික විදෙස්ගත ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් එක්කෝ ශ්‍රී ලංකාවට පැමිණ හෝ නැතිනම් පැමිණෙන්නට අයදුම් කර හෝ තිබේ. කොවිඩ්-19 පැතිරීම හා අවම දින 14ක ස්වයං නිරෝධායනය හේතුවෙන් ශ්‍රී ලංකාව විදෙස් රටවල සිටින තම පුරවැසියන් ආපසු සියරට රැගෙන ඒම සිදුකරන්නේ ඉතා සෙමින් ය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ මැද පෙරදිග ඇතුළු විදේශ රටවල අතරමං වී සිටිති.
ශ්‍රී ලංකාව විදේශ ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීමේදී දක්වන ප්‍රතිචාරය අනාගතයේදී රටට ලැබෙන විදේශ රැකියාවලට බලපාන හෙයින් කොවිඩ්-19න් පසු විදේශ රැකියා ද අඩු වී යා හැකි ය.
ඇඟලුම් ඇතුළු රටේ අපනයන කර්මාන්ත දැනටමත් පවත්වාගෙන යන්නේ දුෂ්කර තත්වයන් යටතේ ය. මේ වන විටත්, ශ්‍රමිකයන් විශාල පිරිසකගේ රැකියා හා වැටුප් කප්පාදු කර හමාර ය.
මෙම තත්වයන් හමුවේ ඉදිරි කාලයේදී අති විශාල විරැකියාවක් ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තු විය හැකි ය.
ශ්‍රී ලංකාවේ විරැකියාව පැවතියේ 4%ක පමණ සාමාන්‍ය මට්ටමක ය. රටේ ශ්‍රම බලකාය ලක්ෂ 80කට වැඩි ය. කාන්තාවන් අතර විරැකියාව පිරිමින් අතර විරැකියාව මෙන් දෙගුණයකටත් වැඩි ය. එසේම, උසස් පෙළ සමත් හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන ජනතාව අතර විරැකියාව අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය අතර විරැකියාවට වඩා ඉහළ ය.
ශ්‍රී ලංකාවේ ඇතැම් රැකියා ක්ෂේත්‍රවල ශ්‍රම හිඟයක් ද දක්නට ලැබෙන හෙයින් රැකියා සම්බන්ධ යම් තුලනයක් ද අපේක්ෂා කළ හැකි ය. 2020 වසරේ දෙවන කාර්තුවේ සංඛ්‍යාලේඛන මගින් ඉතා වැදගත් සංවර්ධනයන් ප්‍රකාශ වනු ඇතැයි සිතිය හැකි ය.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා