රුක් රැකගන්න සටන් කළ කාමිනී මීදෙණිය විතාරණ


කාමිනී මීදෙණිය විතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරිනියක්. 1928දී රුවන්වැල්ල ආසන්නයේ මුදුගමුව ගමේ උපන් ඇය 2020 ජුලි 27දා 92 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණා.

Translations by Creative Content Consultants

ඇය ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ මෙන් ම ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ නැගණියයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සත්ව විද්‍යාඥවරියක වන ඇය 1970 දශකයේදී එවකට පැවති ශ්‍රීලනිප, සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩුව විසින් තුනී ලෑලි සඳහා සිංහරාජ වනාන්තරය කපා ජනාවාස බිහිකිරීමට විරුද්ධ අරගලයට 1975දී බිහි කරන ලද රුක් රැකගන්නෝ සංවිධානය හරහා නායකත්වය දුන්නා. එම වකවානුවේදී තරුණ ප්‍රභූ කාන්තාවන් පිරිසක් මූලිකත්වය ගෙන ආරම්භ කරන ලද මෙම සංවිධානය අභියෝග රැසකට මුහුණ දුන්නා. එසමයේ පැවති සංවර්ධන රැල්ල තුළ වනාන්තර ආරක්ෂා කරගැනීම බොහෝ දෙනෙකුට විහිළුවක් මෙන් වුණා.

කාමිනී මීදෙණිය විතාරණ

මෙම අරගලය අවසන් වන විට සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය වී තිබුණත්, කළුතර දිස්ත්‍රික්කයේ සිංහරාජ වනාන්තරය සම්පූර්ණයෙන් ම විනාශ කර දැමුවේ මෙම කාලයේදීයි. යට්ටපාත, තිනියාවල වැනි ප්‍රදේශවල සිංහරාජය කපා දමා ජනතාව පදිංචි කරමින් මල්බෙරි හා වැල්දොඩම් වැනි වගාවන් ආරම්භ කළේ ද මේ කාලයේයි.

මෙම රජය සමයේ ස්වාභාවික වනාන්තර විනාශ කරමින් ෆයිනස්, යුකැලිප්ටස් වැනි ශ්‍රී ලංකාවට අයෝග්‍ය රුක් වගාවන්ට එරෙහි අරගලවල ද ඇය නායකත්වය දුන්නා.

පරිසරය වෙනුවෙන් ඇය කළ සටන් එතැනින් අවසන් වුණේ නැහැ. කණ්ඩලම හෝටලය නිසා මතු වූ පාරිසරික ගැටලු, නිල්ගල වනාන්තරය විනාශ කිරීම ආදියේ සිට මෑත වකවානුවේ විල්පත්තු වන විනාශය දක්වා අරගලවලට ඇය සම්බන්ධ වුණා.

ඇය 1960 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇය ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් රත්නපුර ආසනයට තරග කළා.

කාමිනී විතාරණ චීනයේ බීජිං නුවරදී 1995දී පැවැත්වුණු ‘කාන්තාව සහ පරිසරය’ ලෝක සමුළුවට ද සහභාගි වුණා.

ඇය පොල් සංවර්ධන මණ්ඩලයේ සේවය කර පසුව පොල් සැකසුම් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරිය බවට ද පත් වුණා.

ඡායාරූප සඳහා ස්තුතිය: හේමන්ත විතානගේ

Adapted from praja.lk




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා