රජයේ කුඩු ජාවාරම ගැන මාධ්‍ය නිහැඬියාව


අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත 2020 ජුලි 26

2013 වසරේ ආරම්භ වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කුඩු ජාවාරම 2017 වසරේ ජයටම සිදු කරගෙන යමින් සිටිය දී දෛවයේ සරදමකට අහම්බෙන් එහි තොරතුරු හෙළි වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ජුලි 21දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ පැවසී ය.

Translations by Creative Content Consultants

දැනට අත්අඩංගුවට ගෙන තිබෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සංඛ්‍යාව 13කි. ඔවුන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ලබා දී තිබෙන බව ද හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග මෙම පිරිස් විසින් නැවත විකුණා තිබෙන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හවුල් ව්‍යාපාර ද පවත්වා තිබේ. මෙම ජාවාරම් සඳහා රාජ්‍ය දේපළ ද යොදාගෙන තිබේ. මෙම ජාවාරම්කරුවන්ගේ බැංකු ගිනුම් හා දේපල පිළිබඳ වැදගත් තොරතුරු හෙළිවෙමින් තිබේ. නිදසුනක් ලෙස, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග ජාවාරම් කළ බව කියන ටයිල් චමින්ද නමැත්තෙකුගේ ගිනුමක රු. කෝටි 37ක් තිබුණු බව වාර්තා වේ.

මේ වන විටත් විමර්ශන සිදු වන්නේ ඇල්මැරුණු ස්වභාවයකින් බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසී ය. අදාළ සැකකාර නිලධාරීන්ට මරණ දඬුවම ලබා දෙන බව පොලිසියේ ඉහළ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. එහෙත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන්ගේ සක්‍රිය දායකත්වය මෙම විමර්ශනයේදී අවශ්‍ය බවයි.

දිලීප පීරිස් මහතා මෙම නඩුව සම්බන්ධ මාධ්‍ය චර්යාව ඇගයීමට ලක් කළත්, ඇත්ත වශයෙන් ම තත්වය එය නොවේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වී තිබෙන දරුණු ම මත්ද්‍රව්‍ය අපරාධය ලෙස සැලකිය හැකි මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙහි අලගිය මුලගිය තැන් මාධ්‍යවලින් හෙළි වන්නේ ඉතා අඩුවෙනි. වෙනත් කුඩු ජාවාරම්කරුවන් ගැන ලියවෙන විස්තරාත්මක රසකතා පොලිස් කුඩු ජාවාරමුන් ගැන නොලියවෙන්නේ එවැනි විස්තර නැති නිසා නොවේ. පොලිසිය ඒවා සඟවන නිසා ය. එසේම, පොලිසිය ගැන වාර්තා කරන මාධ්‍යකරුවන් ද කටයුතු කරන්නේ පොලිසිය පරිද්දෙන් ම වන නිසා ය. පොලිසිය කියන දේ ගවේශනාත්මක පුවත්පත් කලාව ලෙස හඳුන්වමින් රස කතා ලෙස වාර්තා කිරීම කලක සිට සිය ජීවනෝපාය ලෙස කරගෙන යමින් සිටි මාධ්‍යකරුවන් පොලිසියේ මත්ද්‍රව්‍ය ජාවාරම වාර්තා කළේ ඉතා ඕලාරික අන්දමින් ය.

යම් සිදුවීමක් ප්‍රවෘත්තියක් බවට පත් කරනවා ද, නැද්ද, එම ප්‍රවෘත්තියට කෙතරම් වැදගත්කමක් දෙනවා ද යන්න තීරණය කිරීමේ හැකියාව දීර්ඝ කාලයක සිට මාධ්‍යවලට තිබිණි. සමාජ මාධ්‍ය යුගයේදී එම තත්වය වෙනස් වනු ඇතැයි අපි සිතුවෙමු. මන්ද, ප්‍රවෘත්ති සම්පාදනය කරන දොරටුපාලකයන් ලෙස සේවය කළ කර්තෘ මාණ්ඩලික සංස්කාරකවරුන්ගේ බලපෑම අවම වූ හෙයිනි. එහෙත්, සමාජ මාධ්‍ය යුගයේදී පවා ප්‍රවෘත්ති සියුම් ලෙස පාලනය කිරීමේ හැකියාව බලවත් පුද්ගලයන්ට ඇති බවට පොලිසියේ මත්ද්‍රව්‍ය ජාවාරම වාර්තා වන ආකාරය කදිම නිදසුනකි.

එයට හේතු කීපයක් තිබේ. එක පැත්තකින් පොලිසිය මෙම තොරතුරු මාධ්‍යවලින් සඟවයි. අනෙක් පැත්තෙන් මාධ්‍ය ඒ පිළිබඳ ගවේශනයේ යෙදෙන්නේ නැත. සමාජ මාධ්‍ය ද ජනප්‍රියත්වය හා මුදල් පසුපස හඹා යනවා මිස මෙවැනි කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත. එසේ නොමැති නම්, එවැනි ගවේශනයන් සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය නැත. එසේත් නොමැති නම්, එවැනි ගවේශන අධික ලෙස අවදානම් සහගත ය.

මෙම ජාවාරම සමග අනිවාර්යයෙන් ම තවත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් මෙන් ම දේශපාලකයන් පවා සම්බන්ධ වී සිටිය හැකි ය. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව ම කියන පරිදි ඇල්මැරුණු විමර්ශනයක් වන මෙම පරීක්ෂණය ඔස්සේ ඒ අලගිය මුලගිය තැන් අසු වේ ද?

මොවුන්ට විශිෂ්ට පොලිස් සේවා සම්බන්ධයෙන් මහජන මුදලින් සම්මාන ද හිමි වීම සුළු සිද්ධියක් වන්නේ කෙසේ ද?

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)