2019-08-16

ඕපියුම වෙබ් අඩවියේ ප්‍රශ්න 10කට ප්‍රජා සංස්කාරකගේ පිළිතුරු

සාකච්ඡාව මෙහෙයවූයේ උදය ආර්. තෙන්නකෝන් (Opiumleft වෙබ් අඩවියෙනි)

පිළිතුරු අජිත් පැරකුම් ජයසිංහ විසිනි
1) මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ එක් ප්‍රමුඛතම මෙවලමකි. එය එකම එක නොවේ. නමුත් ලාංකික සමාජයේ බහුතරයට ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ ක්‍රියාදාමය පමණකි. ප්‍රජාන්ත්‍රවාදයේ මෙම සීමාකාරීත්වය සමාජ සුසමාදර්ශයක් (Paradigm Shift) බවට පත් කර ගැනීමට නම් ඔබේ යෝජනාව කුමක් ද?
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජීවන භාවිතාවක්. ලංකාවෙ නෙමෙයි මුළු ලෝකයේ ම වුණත් ඒක පරමාදර්ශයක් මිස පරිපූර්ණව ක්‍රියාත්මක වන දෙයක් නෙමෙයි. ප්‍රභූ දේශපාලන තලයෙදි ඒක හිස් වාගාලංකාරයක්. ඒක වැදගත් දේශපාලන ප්‍රභූන්ට නෙමෙයි. මහජනතාවටයි. මහජනතාවගෙ දේශපාලන තලයෙ වැඩකරන එක තමයි වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදය එතනදි භාවිතාවක් වෙන්නට ඕනැ. ඒක තමන්ගෙන් ම පටන් ගන්නට පුළුවන්. පවුල ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය, තමන්ගෙ සමාජ ජාලවල චර්යාව, වැඩකරන තැන, තමන්ට බලය තිබෙන අවකාශයන් ඇතුළෙ තමන්ගෙ චර්යාව, දේශපාලනය කියල කරන දේවල්වලදි වැඩ කරන විදිය වගේ දේ ඉතා වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් කරන්නට පුළුවන් මහජන තලයෙ සිදුකරන වෙනස්කම්වලින් විතරයි. 

මහජනයාට පුළුවන් වෙන්න ඕනැ ප්‍රභූ දේශපාලන තලය කළමනාකරණය කරගන්න. මහජනයා දේශපාලකයන්ගෙන් නායකත්වය බලාපොරොත්තු වීම වැරදියි. පවත්නා තත්වය තුළ දේශපාලනඥයන්ගෙන් නායකත්වය බලාපොරොත්තු වෙන්නට බැහැ. ජනතාව ඔවුන්ට නායකත්වය දෙන්නට ඕනැ. ඒකට ඒ විදියට ම දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. වර්තමානයේදී ජනතාවට තමන් ම සවිබලගන්වාගන්නට පුළුවන් මාධ්‍ය මෙවලම් තිබෙනවා. සබුද්ධික, දේශපාලනික ජනතාවක් ගොඩනගන එකයි, දේශපාලකයන් පරීක්ෂා කරන හා තුලනය කරන පරිදි ක්‍රමය ගොඩනගන එකයි තමයි අප කළ යුතුව තිබෙන්නේ.
2) පශ්චාත් යටත්විජිත ජාතික රාජ්‍යයේ එදා සිට අද දක්වා මැතිවරණයන් හා වාමාංශික ව්‍යාපාරය අතර ඇති සම්බන්දය පිළිබඳව ඔබගේ විග්‍රහය?
වර්තමාන මැතිවරණ ක්‍රමය ගොඩනගන්නට සමසමාජ පක්ෂයේ සිට පෙරටුගාමී පක්ෂය දක්වා මැතිවරණ දේශපාලනයේ සිටි සියලු දේශපාලන පක්ෂ දායක වෙලා තිබෙනවා. ඔවුන් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් කළේ නැති බවක් එයින් අදහස් වෙන්නෙ නැහැ. හැබැයි, ඔවුන් ඒ සටන් වෙනුවෙන් මහජනතාව බලමුළුගන්වනවා වෙනුවට එක තැනකදී ඒකට යටත් වෙන එක තමයි දිගට ම වුණේ. මැතිවරණ ව්‍යාපාරවලදී කැපීපෙනෙන විකල්පයක්වත් ගොඩනගන්නට වම කවදාවත් සමත් වෙලා නැහැ. ඔවුන් ද අනුගමනය කර තිබෙන්නේ සෙසු අය අනුගමනය කරපු ක්‍රම ම තමයි. අඩු වශයෙන් වර්තමානයේදී හෝ ජනතාව බලමුළුගන්වන්නට, උද්දේශනයට අලුත් තත්වයන් තුළ අලුත් ක්‍රම සොයාගන්නට උත්සාහයක් තිබෙනවා ද? මැතිවරණවලදි අඩුගානෙ මයික් එක ඉදිරියේ ගිරිය පුප්පගෙන කෑගහන එකෙන්වත් වළකින්නට ඔවුන්ට පුළුවන් වෙලා තිබෙනවා ද? ගිරිය පුප්පන් කෑගහන්නට නම් මයික්‍රෆෝනයක් මොකට ද? ලොකු පක්ෂ බස් දාලා සෙනග ගෙනත් රැස්වීම් තියනකොට වමේ කට්ටියත් වෑන්වලින්, ත්‍රීවීල්වලින් ඒක කොපි කරන එක නෙමෙයි විකල්පය කියන්නේ. එතන ඉඳලම විකල්පයක් නැතුව නිකම් සටන් පාඨ කියන එක තමයි වම ඉතිහාසය පුරාම කරල තියෙන්නෙ. අඩු තරමෙ කාන්තාවන් දේශපාලනයට ගන්න එජාපය හෝ කොටි සංවිධානය කරපු තරමෙ දෙයක් හෝ වම කරල නැහැ නේද? දේශපාලන රික්තයන් ගැන වම අසංවේදීයි. කොටි සංවිධානයේ පිරිමි නායකත්වය අඩුගානෙ කාන්තාව මිලිටරිකරණය කිරීම හරි කළා.
3) 2020 යනු මැතිවරණ වසරක් වෙන්න නියමිතයි. ඒ වගේම වාමාංශිකයන් හා ප්‍රශතිශීලීන් සන්ධාන ගතවීමක් ගැන කතා ආරම්භ කරලා තියෙනවා. එවන් සන්ධානයක මූලික හරය විය යුත්තේ කෙසේ ද?
වාමාංශිකයන්ට නම් එහෙම පොදු සන්ධාන හදන්නට බැහැ. ඒකට මූලික හේතුව වාමාංශික නායකයන්ගේ ඉඳලා සාමාජිකයන් දක්වා සමස්ත වම ම සමන්විත වන්නේ දැවැන්ත ඊගෝවලින් යුක්ත පිරිමින්ගෙන්. ඉන්න ගැහැණු සුළු ප්‍රමාණයෙනුත් බොහෝදෙනෙක් සමාජයෙන් බැහැර වුණ, යම් මනෝ හා චර්යා ගැටලු තියෙන අය. ඉතිහාසයේ වමේ සන්ධානවල අත්දැකීම් අරන් බලන්න. පොදු රැස්වීමකට ගියාම කතා ලැයිස්තුවේ අනුපිළිවෙලින් පවා වමේ සන්ධාන බිඳෙනවා. ඔය සන්ධාන හැදෙන්නෙ නැහැ. ජවිපෙ වගේ වාම අවකාශය තුළ වඩා බලවත් පාර්ශ්වයක් හදන මොකක් හෝ පොදු අවම එකතුවක් එක්ක වැඩකරන එක තමයි මට නම් හිතෙන්නෙ ප්‍රායෝගික. හැබැයි ඉතින් ජවිපෙට පක්ෂයක් විදියටත්, එහි නායකයන්ටත් තිබෙන ඊගෝව ඇතුළෙ පක්ෂයෙන් පිට කෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක්වත් දෙන්නට පුළුවන් වාතාවරණයක් නැති බව ඔප්පු කරලා ඉවරයි නේද?
4) එවන් සන්ධානයක් පුලුල් සමාජ ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණත්වය හා සමානාත්මතාවය යන මූල ධර්මයන් පදනම් කර ගත් සමාජයක් නිර්මාණය කරමින් පවත්වාගෙන යාම පිණිස කටයුතු කරන්නේ නම්, එම මුල් අවස්ථාවේදීම සපුරා ගත යුතු ප්‍රමුඛ කාරණා මොනවද?
මුලින් ම ඉතින් තමන්ගෙයි, තමන්ගෙ ව්‍යාපාරවලයි ඊගෝ එක පැත්තකින් තියලා ඇවිත් තමයි සාකච්ඡා ආරම්භ කරන්නට ඕනැ. ව්‍යාපාර හදනවා නම් බහිෂ්කාරී ව්‍යාපාර නෙමෙයි හදන්නට ඕනැ. සියල්ලන් ඇතුළත් කරගන්නා ආකාර තමයි හොයන්නට ඕනැ. ඇතුළෙන් ම තමයි ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය, සමානාත්මතාව පිළිබඳ කතිකාව හා ආරම්භය පටන් ගන්නට ඕනැ.
5) ඉතිහාසය පුරාවට වාමාංශික සන්ධානයන් ජනතා අභිලාෂයන්ගේ ජයග්‍රහණ වෙනුවන් ක්‍රියා කිරීම වෙනුවට ඉපදුන සැනින් මිය යෑම හඳුනා ගත හැකි ප්‍රධාන හේතු අතරින් එකක් වන්නේ ආත්ම මූලික කාරණවන් යැයි අප සඳහන් කරන්නේ නම්, ඔබේ අදහස?
මේ ගැන තමයි මම දිගට ම කතා කළේ. මේක විද්‍යුත් තැපෑලෙන් එවපු ප්‍රශ්නවලට පිළිතුරු දෙන සම්මුඛ සාකච්ඡාවක් නොවී අපි මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කරන අවස්ථාවක් වුණා නම් දැන් අපි වෙනස් මගක ගිහින්. මේ කාරණෙත් වැදගත්. අපි බොහෝදෙනෙකු දැන් ඔන්ලයින් මාර්ගගත වෙලා. දැන් ආපහු ඕෆ්ලයින් වෙන්න ඕනැ. ඕෆ්රෝඩ්වල යන්නට ඕනැ. ඒකට මේ කාලයක් තිස්සෙ වෙලා තිබෙන ෆෝමැට් වෙනස් කරන්නට ඕනැ. ඩිෆෝල්ට් වෙනස් කරන්නට ඕනැ. මේ සම්බන්ධයෙන් මං තීරණයක් ගත්තා. මං පූර්ණකාලීන රැකියාවලින් අයින් වුණා. දේශපාලනයට, මාධ්‍යවලට වැඩි බරක් දෙන්නට මං ක්‍රම සහ විධි සොයනවා. හැබැයි, අපි වගේ ක්‍රියාධරයන්ට සිදු වෙලා තිබෙනවා මුලින් ම ජීවිතය පවත්වාගෙන යන්නට වැඩකරන්නට. දේශපාලනය කරන්නෙත්, මාධ්‍ය කරන්නෙත් අප උපයන මුදලින් ම වීම නිසා මේක දුෂ්කර අරගලයක්. ඒත්, අත නොහැර ඉන්න ඕනැ කොච්චර මහන්සි වුණත්. (උත්තරේ ප්‍රශ්නෙට අදාළ නැතුව ඇති)
6) මේ මොහොත වන විට ලංකාව යනු ගෝලීය බල දේශපාලනයේ පොර පිටිය බවට පත් වෙමින් තිබේ. මෙම යථාර්ථයන් තුල වමට සුවිශේෂී වගකීමක් තිබේ ද?
ලංකාව ඔය කියන තරම් පොරපිටියක් වෙලා ද කියන එක මට නම් සැකයි. ඒ වගේ ම ගෝලීය බල දේශපාලනයෙත් ඔය කියන තරම් පොරයක් නැහැ. එහෙම කිව්වාම පිළිගන්නට නොහිතෙන තරමට අපි ඒවා ගැන ඒ විදියට හිතලා, අපේ හිත්වල ඒ අදහස් පත්තියන් වෙලා තියෙන්නෙ. මං හිතන්නෙ නැහැ, ආන්තික අදහස් තියෙන ඔය උතුරු කොරියාවෙ, ඇතැම් අරාබි, අප්‍රිකානු රටවල පාලකයින් වගේ විකාරකාරයන් හැර, යම් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටකින් නැවත ලෝක යුද්ධවලට අත වනන පාලකයන් බිහිවෙයි කියලා. දේශසීමා අර්බුද වගේ දේවල් රටවල් අතර තිබේවි. ඒවා ලෝක යුද්ධ මට්ටමට යන්නට තිබෙන ඉඩ අඩුයි. ආගමික ත්‍රස්තවාදය වුණත් මේ මොහොත වන විට යම් පාලනයකට ලක්වෙලායි තිබෙන්නේ. ලෝකයේ සාපේක්ෂ සාමයක් තිබෙනවා. යුද්ධ තිබෙන්නේ ආර්ථික අවකාශයන් ඇතුළෙ. හුවාවේ කොම්පැනියයි ඇමරිකාවයි අතර ඇති වුණ ගැටුම උදාහරණයක්. මේවා වෙළඳ ගැටුම් මිස යුද්ධ නෙමෙයි. ඒ වගේම තමයි, එවැනි තත්වයන් මතු වෙනකොට ම මෑතදී අත්සන් කරන ලද සිංගප්පූරු සම්මුතිය වැනි පියවරත් ඉදිරියට එනවා.
7) නව ලිබරල්වාදය විසින් ඇති කරන ආර්ථික හා පාරිසරික පරිහානියට එරෙහිව සාධනීය ප්‍රතිචාර දක්වන නමුත්, නව ලිබරල්වාදය විසින් ඇති කර ඇති “නිදහස්වාදය”ට මිනිසා රහසින් ලොල් බවක් දැක්වීම තුල එය පරාජය කිරීම පිළිබඳ ඇත්තේ විරුද්ධාභාසයකි. මෙය වමට ඇති ප්‍රධාන අභියෝගයක් නො වේ ද?
නව ලිබරල්වාදය කියන්නෙත් ධනවාදය, සමාජවාදය, ජාතිවාදය, ස්ත්‍රීවාදය වගේ ලෝකය විග්‍රහ කරන්නට නිර්මාණය කරගත් තවත් දෘෂ්ටිවාදී මෙවලමක් මිස පරිපූර්ණ තත්වයක් නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ නව ලිබරල්වාදී විග්‍රහය වැරදියි කියලා. අවසානයේදි ගත්තාම අද තිබෙන්නේ මිනිස් ඉතිහාසයේ දීර්ඝ කාලයක් තුළ සංවර්ධනය වුණ සමාජ ආර්ථික ක්‍රමයක්. එය මුළුමනින් ම උඩු යටිකුරු කර වෙනස් කිරීම කියන්නෙ හිතන්නවත් පුළුවන් දෙයක් නොවන බවට මම උදාහරණයක් කියන්නම්. විදර්ශන කන්නන්ගරලා කරන අවතාරය සඟරාව විකුණන්නට පාවිච්චි කරන ප්‍රචාරණ පාඨයක් තමයි ‘විකල්ප වෙනසක ගූගල් මැප් එක’ කියන කෑල්ල. මේක විශ්ලේෂණය කරලා පොතක් ලියන්න පුළුවන්. විකල්පය හිතන්නෙත් ගූගල් මැප් එක ඔලුවෙ තියාගෙන කියන එක තමයි යථාර්ථය. මේ ඔක්කොම අපේ ගෙදර රටේ විදුලි බල පද්ධතියට තිබෙන සම්බන්ධය, චන්ද්‍රිකා සන්නිවේදනය සමග තිබෙන සම්බන්ධය එක්ක ප්ලග් වෙලා තිබෙන බව තේරුම් ගත්තාම පෙනෙනවා අපි කොයි තරම් සංකීර්ණ සිස්ටම් එකක් ඇතුළෙ ද ඉන්නෙ කියන එක.
මම තව උදාහරණයක් දෙන්නම්. මං ඕපන් සෝස් නැතිනම් විවෘත කේත මෘදුකාංග පාවිච්චි කරන්නට කැමතියි. කාලයක් මට හිතුණා, ඇයි අපි මේ වින්ඩෝස් හා වෙනත් බලපත්‍ර අවශ්‍ය මෘදුකාංග භාවිතා කරන්නෙ මෙච්චර විවෘත කේත මෘදුකාංග තියෙද්දි කියලා. විවෘත කේත මෘදුකාංග භාවිතය දේශපාලනිකව ප්‍රවර්ධනය කිරීම ගැනත් මං ලිව්වා මතකයි. හැබැයි, ඒවා භාවිතා කරන විට පෙනෙනවා, ඒවා කොයි තරම් සීමාකාරී ද, වෙළඳපොළේ වේගයෙන් සංවර්ධනය වන මෘදුකාංග පිටුපසින් ඒවා ගාටන්නෙ කොයි තරම් හෙමින් ද කියන එක. ඒවා භාවිතා කරන අය අනිවාර්යයෙන් ම මෘදුකාංග මිළ දී ගන්නට පෙළඹෙනවා. ඒකයි යථාර්ථය. විකල්පය කියන එකත් මේ සිස්ටම් එක විසින් ම පාලනය කරනවා. ඒකට අරමුදලුත් සපයනවා. ශ්‍රමයත් දෙනවා. ඒ අතරෙ වානිජ භාණ්ඩයට තමයි සැබෑ නිර්මාණශීලිත්වය ගොනුවෙන්නෙ. ඒ තරමට සිස්ටම් එක සංකීර්ණයි. ඒක තේරුම් ගැනීම ම අවසන් නොකළ හැකි දෙයක්. ඒකෙ පාලනයකුත් කාටවත් නැහැ. සමස්ත මිනිස් වර්ගයා ම තමයි ඉතිහාසයේ මේ ගමන දිගට ගෙනියන්නෙ.
8) සම්ප්‍රදායානුකූලව යුරෝපා සහා අමෙරිකානු අධිරාජ්‍යවාදය කෙරෙහි ඇති විරෝධය තරමටම චීනය මාතෘකා වන ප්‍රමාණය අවම වේ. වාමාංශික අර්ථයෙන් චීනයේ බලපෑම ලංකාව සම්බන්ධයෙන් තේරුම් ගැනීම වැදගත් වන්නේ කෙසේ ද?
චීනය කියලා වෙනස් විදියක රටක් තිබෙනවා නම්, ඒ පැවැත්මේ එකම වෙනස ඒ රටේ දැඩි ලෙස පාලනය කරන ලද දේශපාලන ක්‍රමයක් තිබෙන එකයි. තනි පක්ෂ ක්‍රමය ඒකෙ මූලික ලක්ෂණයක්. ඒක හොඳයි ද, ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි ද කියලා සංවාදයක් තිබෙනවා. ඒ ඇරෙන්නට ආර්ථික මූලෝපායන් සම්බන්ධයෙන් ලෝකයේ රටවල් අතර වෙනසක් නැහැ. මේක නවලිබරල්වාදය හා ජාතිකවාදය මුසුවෙච්ච ලෝක සංදර්භයක්. නවලිබරල්වාදීන් වුණ පළියට කිසිම රටක් ලෝක ආර්ථිකයක්, ලෝක දේශපාලනයක් වෙනුවෙන් වැඩකරන්නෙ නැහැ. ඒ වගේ ආර්ථික දෘෂ්ටිවාදයක් ලොවට ගෙනාපු ලෝක වෙළඳ සංවිධානයේ වැඩසටහනත් පරාජය වුණා. චීනය වුණත් තමන්ගෙ ආර්ථික මූලෝපාය අනුව කටයුතු කරගෙන යනවා මිසක් ලංකාවට ඔය කියන තරම් ලොකු බලපෑමක් කරනවා ද? අපිමනේ අපට ප්‍රාග්ධනය නැති නිසාත්, බටහිරින් තවදුරටත් ආධාර නොලැබෙන නිසාත් චීනය පසුපස ගිහින් ඔය ව්‍යාපෘති ආරම්භ කරන්නේ. ණය ගත්තාම ඒ ණය ගෙවන්න වෙනවා. ගෙවාගන්න බැරි වුණාම ණය හිමියා කියන කොන්දේසිවලට යටත් වෙන්නට වෙනවා. දැනට වෙමින් තිබෙන්නෙ ඒක. හැබැයි ඉතින් චීනයට නිකම් ම හැදෙමින් තිබෙන මේ ආර්ථික හා දේශපාලනික බලය ඔවුන්ට අනාගතේ වෙනස් සංදර්භයක් තුළ දැවැන්ත වාසියක්.
9) සියලුම කාරණා එසේ තිබිය දී, පාරිසරික ප්‍රශ්නය අද වන විට ගෝලීය වශයෙන් අවධානයට ලක්වන මාතෘකාවකි. වාමාංශික යන අර්ථයෙන් පරිසර ප්‍රශ්නය තේරුම් ගැනීමට සුවිශේෂී ක්‍රමවේද තිබේ ද?
පාරිසරික ප්‍රශ්නය අවසානයේදී ගත්තාම ගෝලීය ප්‍රශ්නයක්. ජාතිකවාදීව එයට පරිපූර්ණ විසඳුම් නැහැ. මිහිතලය උණුසුම් වන්නට හේතු වන අධි පාරිභෝජනය කරන්නේ බටහිර රටවල් වුණාට, ඒකෙන් උන්හිටිතැන් අහිමි වෙන්නේ මාලදිවයිනට. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කලාපීය සංවිධාන වැදගත් වන්නේ මෙවැනි සංදර්භ තුළයි. පාරිසරික ප්‍රශ්නය කියන්නෙ ලෝකයට ජාතිකවාදී සීමාවන් ඉක්මවා යන්නට බල කරන ප්‍රධාන සාධකයක්. හැබැයි ඒක කරන්නට පාවිච්චි කරන්නට සිදුවෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ අප දැනට ගොඩනගාගෙන තිබෙන සංවිධාන මිසක් පස්වන ජාත්‍යන්තරයක් වගේ වාමාංශික ෆැන්ටසියක් නෙමෙයි.
10) ලංකාව තුල දී අපට දැන් අවශ්‍යව ඇත්තේ නව ශිෂ්ටාචාරයක් ඇති කිරීමේ ආකල්ප හා විකල්ප භාවිතාවන් ය කියා අප යෝජනා කරන්නේ නම් එය ඔබ එකඟ වන්නේ ද? මෙම නව ශිෂ්ටාචාරය යන්න විස්තර කරන්නේ කෙසේද හා එයට අති අභියෝග මොනවාද?
ශිෂ්ටාචාරයක් කියන්නෙ ශිෂ්ටත්වයන් පද්ධතියක්. ලංකාවෙ සමාජයට අලුත් ශිෂ්ටාචාරයන් ගොඩනගන්නට බැහැ. ඒකට හේතුව, ලංකාවෙ සමාජයට මූලික ශිෂ්ටත්වයන් පිළිබඳ ගැටලු රැසක් තිබෙනවා. අපි හරියට වැසිකිළියක්, පොදු මාර්ගයක්, පොදු ප්‍රවාහන පද්ධතියක් පරිහරණය කරන්නට නොදන්න ජාතියක්. අපි මුලින් ම ඒ ශිෂ්ටත්වයන් ගොඩනගාගත යුතුයි. පෞද්ගලික ස්වස්ථතාවෙන් තමයි ඇත්තම කියනවා නම් විප්ලවය ආරම්භ කරන්නට ඕනැ. නිකං කියනවා නම් සමාජය වෙනස් කරන්න සංවාද කරන්නට රට පුරා යනකොට දත් බුරුසුවක්, සරමක්, තුවායක්, රේසර් එකක් බෑග් එකේ දාගෙන යන මූලික විනයන්ගෙන් ම තමයි අපට විප්ලවය පටන් ගන්න වෙලා තියෙන්නෙ. ම