ජනාධිපතිවරණයෙදි කාටවත් 50%+1 නොලැබුණොත් මොකද වෙන්නෙ?

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සදහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා එකක් ලබා ගත යුතු බැවින් එ⁣ම සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු අ⁣පේක්ෂකයකු අපොහොසත් වූ විට සිදුවන්නේ කුමක්දැයි කෙරෙන විමසීම් සම්බන්ධයෙනි . මෙය 2019-06-11දින පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඇසූ පැනයකට මැකොස වෙනුවෙන් මා දුන් පිළිතුරකි. මෙය ප්‍රශ්නයකට පිළිතුරක් මිස ප්‍රතිඵල පිළිබඳ අපගේ උපකල්පනයක් නොවන බව සැලකුව මැනවි.
Sinhala Tamil English Translations and Content Writing
ප්‍රශ්නය:-
ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද ?
පිළිතුර:-
එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.
අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම් 50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.
මේ පිළිබඳව උදාහරණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කිරීම කරන ලදි.
ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.
A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු. 
A= 40, B = 35, C= 15, D= 6, E= 4
මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.
පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.
අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ.
C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.
ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.
එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.
දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.
මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. 
• මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
• Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
• A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා