බලංගොඩ බීමත් පියා අතින් පුතා මිය ගිය ඇත්ත හේතුව මෙන්න

අජිත් පැරකුම් ජයසිංහ

බලංගොඩ මස්සැන්නේ 17 හැවිරිදි පිරිමි දරුවකු වන මලිත් ධනංජය දින කීපයකට පෙර මිය ගියේ බීමත් පියා විසින් මවට එල්ල කරන ලද උදලු මිටි පහරක් එයින් මව බේරීමට ගිය ඔහුගේ හිසට වැදීමෙනි.
මෙම සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද පියා මාංචු පිටින් බන්ධනාගාරයේ සිට අවමංගල්‍ය නිවසට පැමිණ හඬා වැළපුණේ ය.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ කාන්තා මිනීමැරුම්වලට ප්‍රධාන හේතුවකි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ කැලනිය විශ්වවිද්‍යාලය එක්ව ශ්‍රී ලංකාවේ පළාත් පහක කාන්තාවන්ගේ ‘ස්වාභාවික නොවන මරණ’ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ පරිදි ශ්‍රී ලංකාවේ කාන්තා මිනීමැරුම් තුනෙන් එකකට වඩා සිදුවන්නේ සමීපතම සහකරුවාගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙනි.
අධ්‍යයනයේදී විවරණය කරන ලද මිනීමැරුම් 243ක් අතරින්, සිදුවීම් 128කදී ම වැරදිකරුවා ලෙස හඳුනාගනු ලැබුවේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ය. 
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සමීපතම සහකරුගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දරුවන් මිය යාම ද එතරම් ම දුර්ලභ තත්වයක් නොවේ. මව හෝ පියා විසින් දරුවන් ඝාතනය කර තමන් ද සියදිවි නසාගැනීම නිතර නිතර වාර්තා වන තත්වයකි.
මෙම ගැටලුසහගත තත්වය තවදුරටත් පවතින්නේ ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය ද කර තිබියදී වීම ඉතා කණගාටුදායක ය. නීති හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
2005 අංක 34 ගෘහස්ථ ප්‍ර‍චණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ගැන ඔබ දන්නවා ද?
එම පනතේ අර්ථ දක්වා තිබෙන ආකාරයට ගෘහස්ථ ප්‍ර‍චණ්ඩ ක්‍රියාවක් යනු පීඩාවට පත් තැනැත්තිය සහ වරදකරු අතර ඇති පෞද්ගලික ස්‌වභාවයේ සම්බන්ධතාවෙන් පැන නගින්නා වූ, නිවසේ පරිසරය තුළදී හෝ පිටතදී හෝ වරදකරු විසින් යම් පීඩාවක්‌, අතවරයක්‌, සාපරාධී බිය ගැන්වීමක්‌, උද්වේගශීලී බැණොවැදීමක්‌, බරපතල ස්‌වභාවයේ අවමන් කිරිමක් හෝ අපහාස කිරීමක් වන ක්‍රියා කලාපයකි.
පනතේ 2 (1) වගන්තියට අනුව, එම ගෘහස්‌ථ පීඩාව වැළැක්‌වීම සඳහා ආරක්‌ෂා කිරීමේ ආඥාවක්‌ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට ගෘහස්ථ පීඩාවට ලක් වන තැනැත්තාට අයිතියක්‌ ඇත. පොලිස් නිලධාරියකුට වුව ද අධිකරණයෙන් එම ඉල්ලීම කළ හැකි ය. වයස අවුරුදු 18ට අඩු ළමයකු සම්බන්ධයෙන් නම් මව, පියා, භාරකරු, පොලිසිය හෝ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ඉල්ලීම කළ හැකි ය.
ප්‍රචණඩත්වය පිළිබඳ තතු දන්නා කවුරුන් හෝ අයකුගේ /අයවලුන්ගේ දිවුරුම් ප්‍රකාශන ඉල්ලුම් පත්‍රයට ඇමිණීම වැදගත් වේ.
ගෘහස්ථ පීඩාව සිදු වන ස්ථානය අයත් අධිකරණ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත් උසාවියට කෙළින් ම හෝ නීතිඥවරයකු හෝ පොලිසිය මාර්ගයෙන් හෝ පැමිණිලි කරන්නට පුළුවන. මහේස්ත්‍රාත් උසාවියට යාමට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත.
පනතේ 3 වගන්තියට අනුව එසේ ඉල්ලීමක්‌ කර ඇති විටක අධිකරණය විසින් වහාම එම ඉල්ලීම සලකා බැලිය යුතුය. පනතේ 4 වන වගන්තිය අනුව නඩු විභාගය අවසන් වන තුරු නොසිට සැකකාර පුද්ගලයාට එරෙහිව අතුරු ආරක්‌ෂාවක්‌ නිකුත් කිරීමටද අධිකරණයට බලය තිබේ. මෙවන් අවස්‌ථාවකදී පාර්ශ්වයන්ගේ යහපත පිණිස ඔවුන් උපදේශනයට යොමු කිරීමට ද අධිකරණයට බලය තිබේ.
ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීමේ පනත අදාළ වන්නේ කාන්තාවන්ට පමණක් නො වේ. පීඩාවට ලක් වන තැනැත්තා කාන්තාවක වුණත්, පිරිමියකු වුණත් නීතිය විසින් එක හා සමානව සලකනු ලැබේ.
වැඩිහිටියෙකුට මානසික උද්වේගශීලී හිංසනයන් පැමිණවීම හැර සෙසු ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ල දණ්ඩ නීතී සංග්‍රහය යටතේ ද දඩුවම් පැමිණ වියහැකි වරදවල් වේ. එබැවින් පොලිසිය ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ද සෙසු අපරාධ වලදී කටයුතු කරන ආකාරයට ම ය.
දැඩි ශාරීරික හා ලිංගික අපයෝජන අවස්ථාවන්හීදී වින්දිතයා ඒ ගැන රෝහලකට හෝ පොලිසියට වාර්තා කළ යුතුය. සිදුවී ඇති තුවාල අපරාධ සහගත ස්වභාවයක ඒවානම් අපරාධ නීතිය යටතේ වග උත්තරකරුට නඩු පැවරිය යුතු වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ (1995 අංක 22 දරණ සංශෝධිත පනතේ) ද හිංසාව, බරපතල හිංසාව, බරපතල ලිංගික අපයෝජනය, සහ මනුෂ්‍ය ශරීරයට සිදුකෙරෙන අපරාධ වැනි ක්‍රියා පොදු සාපරාධී ක්‍රියා ලෙස සැලකේ.
ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත් වන්නන්ට පිහිට ලබා ගත හැකි සේවා තිබේ. නො බියව ඒවා වෙත පිවිසෙන්න.
පොලිස් ක්ෂණික ඇමතුම් අංකය – 119
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය – 1929
කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය – 1938

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා