අතරමැදි පන්තියේ පොහොට්ටු අන්තය වෙනුවට ජවිපෙ අන්තය

 

Anura Kumara -public service

පසුගිය ජනවාරි මාසයේදී වැටුපට එකතු වන අමතර ආදායම් හේතුවෙන් මන්ත්‍රීවරයෙකු රු. 80,000කට වඩා සහ ඇමතිවරයකු රු. 120,000කට වඩා බදු ගෙව්වා. මන්ත්‍රීවරයකුගේ වැටුප රු. 54,000ක් විතර ඇති. එහෙනම්, ඔවුන් මෙතරම් විශාල වැටුපක් ගෙව්වෙ කොහොමද?

නිල නිවාස, වාහන, කාර්යාල, දුරකථන ආදී රජයේ වත්කම් පාවිච්චි කරන ප්‍රමාණය මත තමයි ස්ථාවර වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්ද අයකළේ.

දැන් මේ බද්ද අඩුකරලා. මූල්‍ය නොවන ප්‍රතිලාභ වෙනුවෙන් බදු අයකරන්නෙ නැහැ. ලබන මාසයේ මන්ත්‍රීවරුන්ගෙන්, ඇමතිවරුන්ගෙන් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් අයකරන බද්ද අඩුවෙනවා.

පසුගිය මාසයේ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහෙම කිව්වා, වැටුප විදියට අතට ලැබුණේ මෙච්චරයි කියලා ඉතා අඩු වටිනාකම්. පසුගිය දවසක මා එක්ක කතා කළ රාජ්‍ය සංස්ථාවක ප්‍රධානියෙකු කිව්වා තමන්ගේ වැටුප රු. 90,000ක් පමණ බවත්, රු. 64,000ක් වැටුපෙන් බදු අයකර තිබුණු බවත්.

“ඉතින් කොහොමද ජීවත් වෙන්නෙ?” මං ඇහුවා. ඔහු හඬ නඟා හිනාවුණා.

ජනවාරි අග වැටුපෙන් එහෙම කැපුවාට, පෙබරවාරි මුල ඔහු අතට වැටුපට අමතරව ලැබෙන ඉන්ධන, දුරකථන, නිවාස ආදී දීමනා ටික ලැබුණාලු. ඒ අනුව, රු. 250,000කට වඩා අතට ලැබුණාලු. ඒවාට අදාළ බදු තමයි ස්ථාවර වැටුපෙන් කපාගෙන තියෙන්නේ.

ඔහු කියන පරිදි, ඔහු පසුගිය කාලයේත් උපයන විට ගෙවීමේ බද්ද ගෙවා තිබෙනවා. හැබැයි, මීට වඩා අඩු මුදලක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්ව බදු අඩු කරන්නට පෙර පවා ඔහු රු. 40,000ක විතර බද්දක් මාසිකව ගෙව්වාලු.

මේ සංඛ්‍යා මම ලිව්වෙ මතක හැටියට. වැදගත් වෙන්නෙ සංඛ්‍යා නෙමෙයි. ඇත්ත මොකක්ද කියන එකයි.

හැන්ද අතේ තියෙන එක් වෘත්තිකයන් පිරිසක් තමන්ගේ වැටුපෙන් බදු අයකරන එකට වාරණයක් දාගත්තා. දැන්, තවත් කට්ටියක් එකතු වෙලා එක හැන්දෙන් බෙදාගෙන තිබෙනවා. සේවකයින්ට ඔවුන්ගේ සේවා ස්ථානවලදී ලබා දෙන වාහන, ඉන්ධන දීමනා, නිවාස සහ වෛද්‍ය ප්‍රතිලාභ ඇතුළු මුදල් නොවන ප්‍රතිලාභ බද්දෙන් නිදහස් කරන චක්‍රලේඛයක් පසුගිය සතියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළා. කිසිම මන්ත්‍රීවරයෙකු එයට විරුද්ධව කතා කළේ නැහැ.

ඊළඟට එන ප්‍රශ්නය රාජ්‍ය මූල්‍ය හිඟය පියවගන්නේ කොහොමද කියන එක. වැට් බද්ද දැන් 15%යි. ඒක තවත් වැඩිකරන්න බැරි තරම්. ඒ නිසා දැන් ආණ්ඩුව කරන්නෙ තව තවත් වියදම් සීමා කරන එක. සීමා කරන්නෙ මහජනතාව වෙනුවෙන් දරණ වියදම්. සෞඛ්‍ය, අධ්‍යාපන වියදම් වගේ ඒවා. ඒ නිසා තමයි රෝහල්වල ඖෂධ හිඟ වෙන්නෙ. හදිසි නොවන සැත්කම් අත්හිටුවන්නෙ.

ඒ වුණාට, රජය රාජ්‍ය නිලධාරීන්ගේ අතිකාල, නිවාඩු දින දීමනා වගේ බොහෝ විට අයථා අන්දමින් ලබාගන්නා ආදායම් අඩුකරන්නට පියවර අරගෙන තියෙනවාද පින්වතුනි. නැහැ. හේතුව මොකක්ද? හේතුව තමයි පන්ති භේදය.

ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ හිමිකරුවන් වෙන්නෙ මේ දේශපාලක, රාජ්‍ය සේවක හා රජය සමග කොන්ත්‍රාත් කරන අතරමැදි පන්තිය. රජය තියෙන්නෙ ඔවුන්ව නඩත්තු කරන්න. ඒ සඳහා තමයි බදු අය කරන්නෙ, ණය ගන්නෙ හා ණය ගෙවන්න නැවත බදු අයකරන්නෙ. මේක තේරුම් ගන්නට සරල උදාහරණයක් කියන්නම්. රාජ්‍ය සෞඛ්‍ය සේවය තියෙන්නෙ මොකකටද? ඒක තියෙන්නෙ ඒ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවන්න. සෞඛ්‍ය සේවයේ වැටුපට අමතරව මුදල් උපයාගන්නා ප්‍රධාන ආකාරයක් තමයි අතිකාල. මේ අතිකාල යනු ඉතාම අවිධිමත් ආදායමක්. ඇතැමුන් ලක්ෂ දෙක, තුන අතිකාල ගන්නෙ අමතර වැඩ කළ බවට තමන්ගේ දිනපොතක තමන්ම අත්සන් කරගෙන. ඉතින් ඇත්තෙන්ම සෞඛ්‍ය සේවයේ අය වැටුප් ගන්න නිසා නිකම්ම ඉන්න බැරි නිසා මහජනතාවට දෙන දෙයට තමයි කියන්නෙ සෞඛ්‍යාරක්ෂාව කියලා. මේ සරල ඇත්ත ඕනෑම රජයේ රෝහලකට ගියාම ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගෙ ආකල්පවලින් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්.

ලංකාව ගොඩගන්නට ඕනැ නම් වෙනස් කරන්නට ඕනැ මෙන්න මේ පන්තිමය ගැටලුව. ඒ කියන්නෙ අතරමැදි පන්තිය විසින් තමන්ගේ අයිතිය යටතේ ඇති රාජ්‍යය හරහා සෙසු පන්තීන් සූරාකෑම. දීර්ඝ කාලයක් තිිස්සෙ මේ ක්‍රියාව ආවරණය කරගන්නට භාවිතා කළ දේශපාලන දෘෂ්ටිවාදය තමයි සරල සමාජවාදය. ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා. අතරමැදි පන්තියටම තමයි මේක වෙනස් කරන්නට වෙන්නෙ. හේතුව, ලංකාවේ ව්‍යවසායක හා කම්කරු පන්ති අතිශය දුර්වලයි. ධනපති හා කම්කරු කියල පෙනී ඉන්නෙත් අතරමැදි පන්තියේම ඉහළ හා පහළ කොටස්. ඔවුන් තමයි එක්සත් ජාතික පක්ෂය/ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ජනතා විමුක්ති පෙරමුණ ලෙස නියෝජනය ලබාගන්නෙ. අතරමැදි පන්තිය දෙපත් නයෙක් වගේ. ඉස්සරහයි පස්සයි කියල වෙනසක් නැහැ. පෙනුමක් විතරයි.

වර්තමානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රම වෙනසට උර දීලා ඉන්නවා. ඒක විප්ලවයක්. හැබැයි, සමාජවාදී විප්ලවයක් නෙමෙයි. පවත්නා ක්‍රමයම තිරසර කරගන්නා විප්ලවයක්. ක්‍රමය පවත්වාගන්නට නම් එය අනිවාර්යයෙන් ප්‍රතිව්‍යූහගත කළ යුතුව තිබෙනවා. රාජ්‍ය ආදායම් අනුව රාජ්‍ය වියදම් තුලනය කරගන්නට සිදුවී තිබෙනවා. මෙම තුලනය සඳහා භාවිතා කළ ණය ගැනීම දැන් සීමා කරන්නට සිදුවෙලා තියෙනවා. එතකොට අතරමැදි පන්තියට දරන්නට සිදුවන රාජ්‍යයේ බර ඉහළ යනවා. බදු ගෙවන්නට වෙනවා. වරප්‍රසාද අත්හරින්නට සිදුවෙනවා. මේක හරිම වේදනාකාරීයි. ඒත්, පීඩිත පන්තියේ නාමයෙන් යයි කියමින් දැන් ජනතා විමුක්ති පෙරමුණ බලය තමන් අතට ඉල්ලනවා. ඒත්, ඇත්තටම ඔවුන් නියෝජනය කරන්නෙ අතරමැදි පන්තියේ අවශ්‍යතාවන්.

කවුරු බලයට ආවත්, අවසානයේදී මේ වෙනස්කම් කරන්නම සිදුවෙනවා. අතරමැදි පන්තියට එහෙම නැතුව තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නට බැහැ. අතරමැදි පන්තිය හැර ලංකාවේ බලය ගත හැකි වෙනත් පන්තියකුත් නැහැ. ඒ නිසා හෙට ජවිපෙ බලයට ආවත් වෙනසක් නැහැ. මෙතෙක් අතරමැදි පන්තිය කරගෙන ආ සූරාකෑම අඩුකරන්නම වෙනවා. මොකද, ව්‍යවසායක හා කම්කරු යන පන්ති දෙකම මේ වන විට උපරිම සූරාකෑමට හා පීඩනයට ලක්කර හමාරයි. ඉහළ පොළී අනුපාතික ආදිය හරහා ව්‍යවසායක පන්තිය මිරිකාගෙන සිටින දඬුඅඬුව ඉක්මණින් ලිහිල් කළේ නැතිනම්, ව්‍යාපාර කඩාවැටී සමස්ත ආර්ථිකයම ඉක්මනින්ම බිඳවැටෙන්නට ඉඩ තියෙනවා. ඒකට රාජ්‍ය මූල්‍ය විනය සකසාගත යුතුයි.

අවුරුදු ගානක් කුම්බලා මාළු කාපු අතරමැදි පන්තියට දැන් ඉතින් ‘දුක විඳපන් බළලෝ’ කියන එක තමයි දෙන්නට තියෙන උපදෙස. ඒක නොකර දියසේනලා මාරු කර කර මේ ගමන යන්න බැහැ. දියසේනලා හොයන එක කල්දාලා මේ වැඩේ රනිල්ට අවුට්සෝස් කරන එක ඊට වඩා බුද්ධිමත්. ආපහු ට්‍රැක් එකට දාගත්තට පස්සෙ මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් අලුත් ක්‍රමයක් ගොඩනගන්නට පුළුවන්. ලංකාවෙ සමාජවාදී විප්ලව කරන්නට බැහැ.

කොච්චර චන්ඩි කතා කිව්වත්, මධ්‍යම පන්තියේ වැඩි පිරිසකටත් පිටරට යන්න බැහැ. ගියත්, මීට වඩා හොඳ ජීවිතයක් ගතකරන්නට ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා තියෙන දේ රැකගන්න. අනිවාර්යයෙන් සිදුවිය යුතු ධනේශ්වර විප්ලවයට සම්පූර්ණ වෙන්නට ඉඩ අරිනවද? නැතිනම් ප්‍රතිවිප්ලවීය උදලු දාලා බලනවාද? දැන් කළ යුතු දේ පස්සෙ කරනවාද? මොකුත් කරගන්නට බැරිවෙන තැනට තුවාලෙ උඩුදුවන්නට හරිනවාද? කල්පනා කරල බලන්න කියලා අනුර සහෝදරයා නිතර කියන දේ ඇත්තෙන්ම කරන්න. ඔහුටත් කරන්න කියන්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා