මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයිද?


 

අජිත් පැරකුම් ජයසිංහ

පවත්නා ක්‍රමය යනු රජයෙන් යැපෙන ඉහළ මැද පංතියේ ආධිපත්‍යයෙන් යුතු ක්‍රමයකි. ක්‍රමයේ ඵල නෙළාගන්නේ ඔවුන්ය. එසේම මේ ක්‍රමය මේ අයුරින්ම පවත්වාගන්නේ ද ඔවුන්ය. එය වෙනස් කිරීමේදී වැඩියෙන්ම රිදෙන්නේ ද ඔවුන්ටය. ඔවුන්ගේ උද්ඝෝෂණ අසාර්ථක විය. එහෙත්, ඔවුන් උද්දේශනයෙන් සාර්ථක වී ඇති බව පෙනේ. ජනාධිපති ලේකම් දක්වා සිටින්නේ මෙම නිලධාරි ගෝත්‍රික පැළැන්තියේ අයයි. ඔවුන් නිකම් ඉන්නේ නැත.

බදු දැල ශක්තිමත් කිරීම සඳහා නිලධාරීන් දිරිගැන්වීම වරදක් නැත. එහෙත්, බදු කප්පාදු නොකළ යුතුය.

දැනටත්, ආදායම් එකතු කරන ඇතැම් නිලධාරීන්ට අවුරුද්දකට මාස 21ක වැටුප් පවා ගෙවන බව මම අසා ඇත්තෙමි. මේ විස්තර මෙම ගෝත්‍රිකයන් කිසි සේත්ම හෙළිදරව් කරන්නේ නැත. රාජ්‍ය ආයතන විසින් පිනට දෙන දැන්වීම්වලින් යැපෙන, පත්තර විකිණීමවත් හරියට නොකරන ලේක්හවුස් ආයතනය පවා සේවකයන්ට අවුරුද්දකට මාස 16 1/2ක වැටුප් ගෙවයි.

මේ බදු කප්පාදුව කිසි සේත්ම මේ මොහොතේ නොකළ යුතුය. මේක කළොත්, විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් වැනි අය ද තමන්ගේ මස් රාත්තල කෙසේ හෝ කපාගනු ඇත. පවත්නා ක්‍රමයේ සීමාවන් එසේය. උපරිම ඔස්ටරිටියකට යාමට නම් ජවිපෙ වැනි පක්ෂයක් බලයට පත් කළ යුතුය. එහෙත්, ඔවුන් රාජ්‍ය පාලනය ගැන ඉගෙනගත යුත්තේ රනිල් වික්‍රමසිංහ වැනි ජනාධිපතිවරයකුගේ නායකත්වය යටතේය.

බදු අයකරන ආදායම් සීමාව ලක්ෂ දෙක දක්වා වැඩිකරන බව හා බදු අයකරන ඉහළ සීමාව 24% දක්වා අඩුකරන බව ජවිපෙ නායක අනුර කුමාර පැවසීය. ජවිපෙ බලය ගැනීම සඳහා කිසිදු සූදානමක් නැති, ගෙදර වැඩ කර නැති පිරිසක් බවට වෙනත් උදාහරණයක් අවශ්‍ය නැත. ලක්ෂ දෙක දක්වා පහළ සීමාව වැඩි කිරීම සමාජවාදී හෝ මධ්‍යම පන්තික අදහස් අනුව සාධාරණ යයි සිතමු. බදු අයකරන ඉහළ සීමාව සීයට තිස්ගණන්වල සිට 24% දක්වා අඩු කරන්නේ මොන අමාරුවකටද? මේ වරප්‍රසාදය ලැබෙන්නේ රු. ලක්ෂ හතරක් පමණ වැටුප් ලබන ඉතාම සීමිත පිරිසකටය. ජවිපෙ නියෝජනය කරන්නේ ඔවුන්ද? ඉහළ ආදායම් ලබන අයගේ බදු කප්පාදු කරන්නට සුබසාධනවාදී ජවිපෙට පිස්සුද?

මේ වන විට 15% දක්වා වැඩි කර තිබෙන, දුප්පතුන් හා පොහොසතුන් කවුරුත් එක සේ ගෙවන වැට් බද්ද අඩු කරන්නැයි ජවිපෙ නොකියන්නේ ඇයි? ජවිපෙ ගත යුතු ස්ථාවරය ගැන හෝ අනුර කුමාරට අවබෝධයක් ඇති බව නොපෙනේ.

ලංකාව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මූලික කාරණයක් වන්නේ ණය හා පොළී ගෙවීමට යන වියදම අත්හළ විට රජයේ ආදායම් හා වියදම් අතර පරතරය +2%ක් මට්ටමට වැඩි කරන බවයි. මෙය දැන් -4%කට වැඩිය. අවුරුදු තුනක් ඇතුළත ඉහත දක්වන ඉලක්කයට යාමට නම් රජය වියදම් අඩු කරමින් ආදායම් වැඩි කරගත යුතුය. බදු ආදායම් අඩු කරමින් මෙම ඉලක්කයට යා නොහැකිය. රු. 40,000ට මඳක් වැඩි ආදායම් ඇති සැමගෙන් බදු අය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඉහත කී සංදර්භය තුළයි. නැතිනම්, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ගොඩනැගෙන්නේ නැත.

ණය තිරසරභාවයෙන් සියල්ල විසඳෙන්නේ නැත. ව්‍යවසායකත්වය දිරිගැන්විය යුතුය. රටට විදේශ ආයෝජන ගලා ආ යුතුය. නිෂ්පාදන හා සේවා කර්මාන්ත සංවර්ධනය විය යුතුය. සංචාරකයන් පැමිණිය යුතුය. විදේශ ශ්‍රමික ආදායම් වැඩිකරගත යුතුය. ඒ වෙනුවෙන් වෙනත් ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කළ යුතුය.

මේ සියල්ල විසින් සිදුකරනු ලබන්නේ විප්ලවයකි. ලංකාවේ පැවති සුබසාධනවාදී ක්‍රමයේ ව්‍යාජ සමාජවාදී නෂ්ටාවශේෂ ක්ෂය වී ගොස් ධනේශ්වර ක්‍රමය ශක්තිමත් වනු ඇත. එය ලංකාවේ සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යය.

රනිල් වික්‍රමසිංහ වැඩ කළ යුත්තේ මේ වෙනස වෙනුවෙනි. අතරමැදි පන්තිය සුරතල් කිරීමට නොවේ. සූප්පු කරමින් ඉන්නට මෙවැනි නිව්ස් කට්ටක් වීසි කළාට නම් වරදක් නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?