පළාත් පාලනය, අපේක්ෂකයා හා ඡන්දදායකයා


 

කුසල් පෙරේරා

පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ විශේෂයෙන් වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සුව පහසුව වැඩි දියුණු කිරීමේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජනයක් ලෙසින් ය. මේ කිසිවකුගේ මැතිවරණ ව්‍යාපාර වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා, ඉල්ලීම් සම්බන්ධ මැතිවරණ ව්‍යාපාර නොවේ.

මේ මැතිවරණ ව්‍යාපාර සියල්ලෙහි ඇත්තේ, (1) පවතින ආණ්ඩුවට ජනවරමක් නොමැති බව සනාථ කිරීම (2) මහ මැතිවරණයේ දී ආණ්ඩු බලය ගැනීම (3) දූෂණයෙන් තොර ආණ්ඩු හැදීම සහ (4) අනෙක් හැමෝම අසාර්ථක හෙයින් අපට එක් වරක් ආණ්ඩු බලය දී බලන්න වැනි, පළාත් පාලන මැතිවරණයකට කිසිසේත් අදාළ නොමැති වල් පල් කතා ය. ඒවායේ මහ මැතිවරණයකට අදාළ ජාතික අර්බුද සඳහා ඉදිරිපත් කෙරෙන විසඳුම් හෝ නැත.

පළාත් පාලන මැතිවරණයේ මායිම් තීන්දු කෙරෙන්නේ පනත් 03 කින් ය. මහ නගර සභා සඳහා 1947 අංක 29 දරන ආඥා පනතත් නගර සභා සඳහා 1939 අංක 61 දරන ආඥා පනත සහ ප්‍රාදේශීය සභා සඳහා වන 1987 අංක 15 දරන පනතත් ඊට අදාල වන පනත් ය. මේ පනත් මගින් මාර්ග හා කාණු පද්ධති, කසළ ඉවත් කිරීම, ප්‍රජා සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම, උද්‍යාන හා ක්‍රීඩා පිටි ඉදිකිරීම හා නඩත්තු කිරීම, වැසිකිළි වැනි පොදු පහසුකම් හා වෙළඳ සංකීර්ණ ඉදිකිරීම හා නඩත්තු කිරීම, කර්මාන්ත සඳහා පරිසර බලපත්‍ර නිකුත් කිරීම, ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදීම වැනි සැලකිය යුතු ප්‍රජා සේවා සහ නියාමන කටයුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇත.

පළාත් පාලන ආයතන සම්බන්ධව කිසිවකු කතා නොකරන, බොහෝවිට කිසිවකු නොදන්නා, තම බල ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය දියුණු කිරීමේ පහසුකම් සැලසුම්කර ස්ථාපිත කිරීමේ බලය ද පනත් තුනෙහිම ඇත. එය ප්‍රාදේශීය සභා පනතෙහි කියවෙන්නේ, (19/අ සහ ආ වගන්ති) ගොඩනැගිලි, පුටු මේස, ක්‍රීඩාපිටි, නේවාසිකාගාර, ගුරු නිවාස, ක්‍රීඩා භාණ්ඩ සහ පුස්තකාල පහසුකම් සඳහා සැලසුම්කර අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීමත්, බල ප්‍රදේශයේ පාසල් විවෘත කිරීම, වසා තැබීම, පාසල් ඒකාබද්ධ කිරීම, නම් කිරීම හා උසස් කිරීම අදාළ ආයතන වෙත නිර්දේශ කිරීමත් ලෙසින්ය.     

එවගේම මහ නගර සභා සඳහා මහේස්ත්‍රාත්වරයකු පත්කර ගැනීමේ බලය ද ඇත. එකී මහ නගර මහේස්ත්‍රාත්වරයාට මහ නගර සභා ආඥා පනත මගින් ආහාර හා ඖෂධ පනත, රථ වාහන පනත, සුරා බදු පනත, පොලිස් ආඥා පනත වැනි පනත් 32 ක් යටතේ නඩු අසා තීන්දු ලබා දීමේ අධිකරණ බලතල ද ඇත. 

එවන් බල තල සමග කටයුතු කළ හැකි පළාත් පාලන සභා පත්කර ගැනීමට නම් ඡන්දදායකයා ඒ පිළිබඳව දැනුවත් විය යුතුය. තමන්ගේ ඡන්දය වෙනුවෙන් පළාත් පාලන ආයතනයෙන් තමන්ට ලබා දෙන්නේ මොනවාදැයි අපේක්ෂකයන්ගෙන් අසන්නට තරම් සමාජ වගකීමක් ඇති ඡන්දදායකයකු විය යුතුය. තරග කරන පක්ෂ හා කණ්ඩායම් වලින් ඔවුන් අනුන්ට එරෙහිව නගන දූෂණ වංචා පිළිබඳ චෝදනා, රට අර්බුදයට පත් කළේ යැයි නගන චෝදනා පැත්තකින් තබා පළාත් පාලන බල ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන්නන්ගේ සුව පහසුව, සේවා සහ පොදු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ සැලසුම් ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිටින ඡන්දදායකයකු විය යුතුය. 

උපුටාගැනීම ලංකාදීප පුවත්පතෙනි. සම්පූර්ණ ලිපියට මෙතැන ක්ලික් කිරීමෙන් පිවිසිය හැකිය

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා