ලක්ෂ්මන් කුරේ හා ත්‍රස්තවාදය සම්බන්ධ උභතෝකෝටිකය

 

අජිත් පැරකුම් ජයසිංහ

2022 සැප්තැම්බර් 18 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි.

ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයෙක්. ඔහු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියායි. ඔහු හදාවඩාගත් පියා වන සරනේලිස් දයාවංශ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතෙක් බවත්, ලක්ෂ්මන් කුරේට පොලිස් අධිකාරිවරයකු වන්නට සිරිසේන උදව් කළ බව කියැවෙනවා. ලක්ෂ්මන් කු⁣රේ අවුරුදු 14ක සිට සිටින්නේ රිමාන්ඩ් භාරයේයි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවෙන් ඔහු මේ වසරේ නිදහස් වුණා.

ඔහුට එරෙහිව තවත් චෝදනාවක් තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හෙලිකොප්ටර් යානය ගොඩබෑමට නියමිත වූ බදුල්ල ක්‍රීඩාංගනයක වැළලූ බෝම්බයක් සහ තවත් ආකාරවලින් ජනාධපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමයි. ඔහු පිළිබඳ තොරතුරු හෙළිකරන්නේ කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකු විසිනුයි. පිටියේ වැළලූ බෝම්බයක් ද සොයාගනු ලැබුවා. ජනාධිපති ඝාතනය සම්බන්ධ අධිචෝදනා පසුගිය සතියේ ඔහුට එරෙහිව ඉදිරිපත් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ මෑතකාලීන සංශෝධන අනුව මහාධිකරණයට ඔහුට ඇප ලබාදිය හැකියි. තව සති දෙකකින් එය සලකා බලාවි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බොහෝ චෝදනා ගොනුකරනු ලබන්නේ පාපෝච්චාරණ ප්‍රධාන සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනුයි. මේ පාපෝච්චාරණ හැමවිටම ගැටලුසහගතයි. එහෙත්, ඒවා නොමැති නම් මේ චෝදනා ඔප්පු කිරීම අතිශය දුෂ්කරයි. හේතුව, මේ විමර්ශන සිදුකරන ආකාරය මුළුමනින්ම නීතිමය රාමුවට අනුගත නොවීමයි. දක්ෂ නීතීඥවරයකුට මේ නඩු පහසුවෙන් කැඩිය හැකියි.

නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙක්. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේම කටඋත්තරය බව ඔහු පවසනවා. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියක්. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ප්‍රකාරව සිවිල් අයිතීන් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් මෙරට ඉහළ ම අධිකරණයේ නඩු තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට සාධාරණය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකියි. සිංහරාසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල සලකා බැලූ එම කොමිසමේ මානව හිමිකම් කමිටුව යම් අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ 2016 ජුලි මස 07 වන දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සිංහරාසා නඩු තීන්දුව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් නඩු තීන්දුව පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව කතානායකවරයාට දන්වා සිටියා. එහෙත්, මේ කිසිවකින් විත්තිකරුට සාධාරණයක් ඉටු වුණේ නැත. මාධ්‍යකරුවකු වූ ජේ.එන්. තිස්සයිනායගම්ට ඔහු ලියූ ලේඛන සම්බන්ධයෙන් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි අවුරුදු සිර දඬුවමක් නියම කර පසුව ලෝක විරෝධය නිසා සමාව දී නිදහස් කළා.

වරදකරුවෙකු බව ඔප්පු වීමට පෙර සෑම කෙනෙකුටම ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ අදාළ විය යුතුය යන විධිවිධානය ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ පදනම් මූලධර්මයක් ලෙස සැලකිය හැකියි. තවත් ප්‍රධාන නීතිමය හා මානව හිමිකම් මූලධර්මයක් වන්නේ ‘සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතියයි’.

මෙම මූලධර්මවලට අනුව ලක්ෂ්මන් කුරේ වින්දිතයෙකු ලෙස ද හඳුනාගත හැකියි. ඔහු දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියෙක්. ඔහුට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු කිරීමට රජය අසමත් වුවහොත්, ඔහු මේ අන්දමින් දීර්ඝ කාලයක් සිරගත කර තබාගැනීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා.

ලංකාවේ අපරාධ නඩු විභාගයක් අවසන් වන්නට සාමාන්‍යයෙන් අවුරුදු 6 1/2 – 10 අතර කාලයක් ගතවෙන බවත්, වරදකරුවන් දඬුවම් ලබන්නේ 5%ක පමණ නඩු ප්‍රතිශතයක බවත් අධිකරණ අමාත්‍යාංශයේ වාර්තාවලින් හෙළිදරව් වෙනවා. මෙම තත්වය තුළ අපරාධ වින්දිතයන්ගේ මානව හිමිකම්වලට සිදුවන්නේ කුමක්ද? මෙය කිසිදා නිසි සැලකිල්ල නොලැබුණු ප්‍රශ්නයක්.

ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම ආරම්භ වුණේ 1979දීයි. එහි ආදීනව ගැන එම අවධියේ සිටම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවක් පැවතුණා. 2015-19 සමයේ යහපාලන රජය 2016දී එය ඉවත් කිරීමේ වැඩසටහනකට මුලපිරුවා. එයට පදනම් වූයේ අලුතින් හඳුන්වා දීමට උත්සාහකළ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතයි. එය වඩා විධිමත් ත්‍රස්ත විරෝධී නීතියක් වුණත්, එය ඉදිරියට ගියේ නැහැ. එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු සිංහල ජාතිකවාදී පිරිස් එය ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන පනතක් ලෙස හැඳින්වූවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ නොකරමින් එය මුළුමනින්ම ඉවත් කිරීමට අවශ්‍ය බව කියමින් වාමාංශික හා ඇතැම් සිවිල් සංවිධාන කණ්ඩායම් උද්ඝෝෂණ කළා.

ත්‍රස්ත විරෝධී නීතිවලට එරෙහි මානව හිමිකම් ආරක්ෂකයන් පැත්තෙන් මතුවන ප්‍රධාන තර්කයක් වන්නේ ත්‍රස්තවාදය නිසි පරිදි නිර්වවචනය කර නැති බවයි. ඒ සඳහා ඔවුන් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක් තිබෙන බවයි. එය ඇත්තක්ද? ඇතැම් විට, පොලිසිය, හමුදා වැනි රාජ්‍ය ආයතන ත්‍රස්ත උපක්‍රම අනුගමනය කරනවා. ත්‍රස්තවාදය උපයෝගී කරගන්නා අතුරු හමුදා ආදියට රජය උපකාර කරන අවස්ථාත් තිබෙනවා. රජය ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත නීති ක්‍රියාත්මක නොකරන නිසාත්, රාජ්‍ය අනුග්‍රහය හේතුවෙන් එම ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන අයට මුක්තිය හිමිවන නිසාත් රාජ්‍ය ත්‍රස්තවාදයක් පවතින බව පැහැදිලියි. ඉහත උදාහරණයේ දක්වන ලද ත්‍රස්ත චෝදනා ලැබ සිටින ලක්ෂ්මන් කුරේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්. ඔහු වැනි අය හේතුවෙන් ත්‍රස්තවාදය පිළිබඳ ගැටලුව තවත් සංකීර්ණ වෙනවා.

නීත්‍යානුකූල විසම්මුතිය ප්‍රකාශ කිරීම, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, සාමකාමී අන්දමින් රැස්වීම හා සංවිධානය වීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඉලක්ක කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කර තිබෙනවා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 මාර්තු 22 වැනි දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී “එය හඳුන්වා දීමෙන් පසු කාලය තුළ එය අපයෝජනයට ලක් වූ” බව පැවසුවා.

2022 අගෝස්තු 23 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ගැටලුව මෙසේ විදහා දක්වනවා: “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු කෘර නීතියක් වන අතර, එය පුද්ගලයන් දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා තබා ගැනීම සඳහා විධායකයට පුළුල් බලතල ලබාදෙයි. එකී රැඳවුම් නියෝග ශ්‍රේෂ්ඨාධිකරණවල මූලික අයිතිවාසිකම් සහ රිට් අධිකරණ බල සීමාවන්ට අනුකූල වුවද, සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබාගැනීමේ අවස්ථාවලදී මෙන් ඒවා විධිමත් අධිකරණ අධීක්ෂණයකට යටත් නොවේ. පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීම මගින් පුද්ගලයෙකුගේ භෞතික නිදහස සම්බන්ධ පුළුල් බලතල විධායකයට ලබා දෙන අතර අධිකරණ අධීක්ෂණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ කාල සීමාවන් ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ආරක්ෂණ ප්‍රමිතීන්ට පටහැනි වේ. එසේ රඳවා තබා ගැනීම නිසා රැඳවියා වධ හිංසාවලට හා අමානුෂික සැලකීමට ලක්වීමේ අවදානමක් ද පවතී.”

ශ්‍රී ලංකාව නවීන ත්‍රස්තවාදයේ යුගයට පිවිස ඇති බව අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔප්පු වුණා. එය සයිබර් ත්‍ර‍ස්තවාදය ද ඇතුළුව මින් පෙර පැවති ත්‍රස්තවාදයන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙනස් තත්වයක්. මින් පෙර පැවති ත්‍රස්තවාදයන් යම් සාධාරණත්වයක් සහිත ඉල්ලීම් වෙනුවෙන් කරනු ලබන අරගලවල එක් මාදිලියක් ලෙස මතු වූ ඒවායි. එම ඉල්ලීම් සාකච්ඡාමය විසඳුමකට පැමිණීමට බැරි ඒවා නොවේ. 1971, 1989 කැරැලි හා 1980 දශකයේ පමණ සිට 2000 දශකය දක්වා ඇදී ගිය දෙමළ කැරැල්ලේ ද තිබුණේ මෙම ලක්ෂණයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පදනම් වූ ත්‍රස්තවාදය යනු දේශපාලනික විසඳුම් මගින් හෝ සාකච්ඡා මගින් හෝ සම්මුතියකට පැමිණිය හැකි එකක් නොවෙයි. එය දේශපාලන ඉල්ලීමක් හෝ සමාජ පීඩනයක් මත පදනම් වන්නක් ද නොවෙයි. එහි ඇත්තේ යම් ආධ්‍යාත්මික ස්වරූපයක්. නූතනත්වය මත පදනම් වූ සමාජ ක්‍රමයකට ඒ සම්බන්ධයෙන් දිය හැක්කේ යුදමය විසඳුමක් පමණයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අලුත් නීතියකින් ප්‍රතිස්ථාපනය කිරීමේ පසුබිම නිර්මාණය වන්නේ එලෙසයි.

Adapted from praja.lk

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු