ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්

 

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම හැර වෙන කුමක් කරන්නද යන්න සම්බන්ධයෙන් විසඳුමක් නැතිකමයි.

දැනට වාමාංශිකයන් විසින් ඉදිරිපත් කර තිබෙන විසඳුම් යෝජනා පහත දැක්වේ.

1. රාජපක්ෂලා හොරකම් කළ මුදල් ආපසු ගැනීම: මෙහිදී තිබෙන මූලික ගැටලුව වන්නේ රාජපක්ෂලා කොතරම් හොරකම් කළාද යන්න නොදන්නා නිසා ඇති තරම් බිංදු අගට දමා ගණන් හැදීමයි. ඊළඟ ප්‍රශ්නය වන්නේ රටේ ජාතික ධනයට ඇත්තටම සිදුවුණේ කුමක්ද යන්න නොසොයා සියල්ලට හේතුව සොරකම යයි සිතීමයි. සොරකම සම්බන්ධයෙන් ගත්තත්, සමස්තය රාජපක්ෂවරුන්ට පැටවීමෙන් විශාල වංචනිකයන් පිරිසකට ආරක්ෂාව ලැබෙන අතර, සොරකම් චෝදනාවම ජෝක් වී ගොස් ඇත.

2. ඇමති මණ්ඩලය අඩු කිරීම: රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පමණක් නොව 500ක් පමණ වන සංස්ථා, මණ්ඩල, අධිකාරි, සමාගම් වැනි රාජ්‍ය ව්‍යවසාය ද, රජයේ අතකොලු වන විවිධ සේවා සමුපකාර සමිති ආදිය ද සහිත දැවැන්ත අකාර්යක්ෂම රජයක් නඩත්තු කරන ගමන් ඇමති මණ්ඩලය අඩුකිරීම ප්‍රායෝගික නැත. එම අකාර්යක්ෂම ආයතන එක්කෝ ශක්තිමත් කළ යුතුය. නැතිනම් වෙනත් විකල්ප අනුගමනය කළ යුතුය. මොන දෙයට වුණත් නායකත්වයක් අවශ්‍යය. දේශපාලන නායකත්වයකින් තොරව වැඩ කළ හැකි නිලධාරි තන්ත්‍රයක් ලංකාවේ නැත. ඇමතිවරුන්ට වැඩකිරීම සඳහා පහසුකම් අවශ්‍යය. කාර්ය මණ්ඩල අවශ්‍යය. ඇතැම් ඒවා වරප්‍රසාද ලෙස සැලකිය හැකි මුත්, ඇමතිවරුන් සඳහා යන වියදම අමාත්‍යාංශවල වියදමෙන් සුළු ප්‍රතිශතයකි. වර්තමානය වන විට, ඇමතිවරුන්ගේත්, දේශපාලන පත්වීම්ලාභී තනතුරුවලත් වැටුප් රාජ්‍ය සේවයේ වැටුප්වලට වඩා බෙහෙවින් අඩුය. ඇතැම් තනතුරුවලට පත්කරනු ලබන පුද්ගලයන් එන්නේ එමෙන් හතර පස් ගුණයක වැටුප් ලැබූ රජයේ නොවන රැකියා අතහැරය. වාහනයක් හා රියදුරකු ලැබුණත්, ඉන්ධන ප්‍රමාණවත් නැතිකම ද, නියමිත සීමාවෙන් ඔබ්බට අතින් වියදම් කර ඉන්ධන ලබාගැනීම සඳහා වැටුප් ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද මෙම තනතුරුලාභියෝ මැසිවිලි නගති. ඒක පාර්ශ්විකව බලන අයට මෙම කාරණා මගහැරේ.

3. අපනයනවලදී සිතාමතා වැරදි ලෙස ගිනුම් පෙන්වීම හරහා වංචනික ලෙස රටින් බැහැර කරන මුදල් නැවතීම/ ආපසු ලබාගැනීම: මෙම ගිනුම් පරීක්ෂා කිරීම යම් දුරකට කළ නොහැක්කක් නොවේ. උදාහරණයක් ලෙස, ලංකාවට ආනයනය කරන ලද අමුද්‍රව්‍ය යොදාගෙන මසනු ලබන කමිසයක මිල අනිවාර්යයෙන් ආනයනික යෙදවුම්වල මිල, ශ්‍රම වියදම් හා බදු ආදිය එකතු කළ මිලට වඩා වැඩි විය යුතුමය. එහෙත්, එම කමිසය මිලදීගන්නා සමාගම එම මිලට වඩා වැඩි මිලක් ලංකාවේ අපනයනකරුට ගෙවා ඊට වඩා තරමක් අඩු මිලකට ඉන්වොයිස් නිකුත් කරන බව මෙහි තිබෙන තර්කයයි. මෙය නොවිය හැක්කක් නොවේ. එය වැළැක්වීම සඳහා කටයුතු කළ යුත්තේ රාජ්‍ය නිලධාරීන් විසිනි. එහෙත්, එමගින් ආර්ථිකය ගොඩදැමීමට හැකි යයි සිතනවා නම් එය බොළඳකමකි. මෙම තර්කය කරන අය විධිමත් අධ්‍යයනයක් සිදුකර මෙසේ රටට අහිමි වන සැබෑ ආදායම හරියට සොයාගන්නවා නම් හොඳය.

4. ලංකාවේ තිබෙන වටිනා වාහන ප්‍රතිඅපනයනය කිරීම: විසඳුම් යෝජනා අතරින් බොළඳම යෝජනාව මෙයයි. එය තනිකරම වාහන ගැන ලංකාවේ තිබෙන හීනමානී අදහස් මතම රඳාපවතින්නකි. ලෝක වෙළඳපොළේ පාවිච්චි කළ පැරණි වාහන සඳහා විශාල ඉල්ලුමක් නැත. අනෙක් පැත්තෙන්, පෞද්ගලික වාහන හිමියන් සතුව තිබෙන වාහන පවරාගැනීමට නීති ද නැත. මේ වාහන අපනයනය කිරීමේ නැව් ගාස්තු, තීරු බදු ආදිය අනුව මෙය අතින් කයිට් බිස්නස් එකක් විය හැකිය.

5. ණය ආපසු නොගෙවා සිටීම: මුල් කාලයේ සුමනසිරි ලියනගේ වැනි වාමාංශික ආර්ථික විද්‍යාඥයන් මෙය කීව ද දැන් කියන්නේ නැත. ඒ එහි ආදීනව ගැන ඔවුන්ටම පිටරට යන්නට වීසා ගන්නට අමාරු වෙනකොට තේරෙන නිසා විය හැකිය.

මෙයට අමතරව වාමාංශිකයන් යෝජනා කරන වෙනත් විසඳුමක් තිබේ නම් කියන්න. (ඩයස්පෝරාවෙන් ආධාර එකතු කිරීම වැනි යෝජනා ඉතාම අවිධිමත් නිසා මෙහිදී නොතකා හරින ලද බව කරුණාවෙන් සලකන්න.)

Adapted from praja.lk

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු