සමාජවාදය යනු රාජ්‍ය අයිතියද?
September 30, 2022 Politics
සී.ජේ. අමරතුංග
සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය මගිනි. එසේ වුව ද, එය ඇත්ත සමාජවාදයක් නොවන බව මේ වන විට ලොවට පැහැදිලි වෙමින් පවතියි. එම ක්‍රමයේ ආභාෂයෙන් ගොඩනැගුනු චීනය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් පවා දැන් වෙනත් අත්හදා බැලීම් කරන්නේ එම හේතුව නිසා ය.
කෙසේ වෙතත්, පොදු දේපළ ක්‍රමය ඇති කිරීමට රජය භාවිතා කළ හැකි බව කාල් මාක්ස් විශ්වාස කළ අතර එකල ප්‍රධාන සමාජවාදී ගුරු කුලයක් එයට විරුද්ධ වී ය. රජයට විරුද්ධව පෙනී සිටි එම පිරිස හඳුන්වන ලද්දේ අරාජිකවදීන් වශයෙනි.
ඔවුන්ගේ එක් විවේචනයක් මෙසේ ය.
“ඔබ වඩාත් උග්‍ර විප්ලවවාදියා ගෙන ඔහුට නිරපේක්ෂ බලය පැවරුවහොත්, වසරක් ඇතුළත ඔහු සාර්ට වඩා නරක වනු ඇත
“ඔවුන් [මාක්ස්වාදීන්] පවසන්නේ ඒකාධිපතිත්වයකට (ඇත්ත වශයෙන් ඔවුන්ගේ ඒකාධිපතිත්වයට) ජනතාව කැමති දේ නිර්මාණය කළ හැකි බව යි. මෙයට අපගේ පිළිතුර වන්නේ, කිසිම ආඥාදායකත්වයකට ස්වයං-ස්ථාවර වීම හැර වෙනත් අරමුණක් තිබිය නොහැකි බවයි. එයට කළ හැකි වන්නේ එය ඉවසා සිටින මිනිසුන් වහල්භාවයට පත් කිරීම පමණකි. නිදහස නිර්මාණය කළ හැක්කේ නිදහසෙන් ම පමණකි. එනම් ජනතාවගේ පැත්තෙන් සහ පහළ සිට ඉහළට ගොඩ නැගෙන වැඩකරන ජනතාවයේ නිදහස් සංවිධානය හරහා කෙරෙන විශ්වීය කැරැල්ලකින් ය.”
මිහායිල් බකුනින් – රාජ්‍යවාදය සහ අරාජිකවාදය
අප තේරුම් ගෙන ඇත්තේ සමාජවාදය නැති නිදහස වරප්‍රසාදයක් හා අයුක්තියක් බව සහ නිදහස නැති සමාජවාදය වහල්භාවය සහ කෘරත්වය බව යි.
මිහයිල් බකුනින් – ෆෙඩරල්වාදය, සමාජවාදය, දේවධර්ම විරෝධය, 1867
සෝවියට් ක්‍රමයේ සිදු වුයේ මෙය නොවේ යැයි කිව හැකි ද ? ප්‍රශ්නය වන්නේ එය සමාජවාදය ලෙස ලොවට හඳුන්වා දීමයි.
මෙම අදහස ඉදිරිපත් කළේ එවකට සිටි ප්‍රකට සමාජවාදී නායකයකු වූ මිහයිල් බකුනින් විසිනි. ඔහු සහ කාල් මාක්ස් අතර තිබූ සම්බන්ධය ගැන ද , තේරුම් ගැනීම වැදගත් ය. මතවාදී ලෙස ගැටුන ද, දෙදෙනා අතර එකිනෙකාට ගෞරවයක් වූ බව කියති. බකුනින් ගැන මාක්ස් කීවේ “රුසියාවේ සමාජවාදීන්ට සංයමයෙන් යුතු නායකයකු ලැබී ඇති” බව යි. ආර්ථික විද්‍යාව ගැන මාක්ස්ගේ දැනුම බකුනින් ඉහළින් අගය කළේය. මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය ප්‍රථම වරට රුසියන් බසට නගන ලද්දේ බකුනින් විසිනි.
වර්තමානයේ ප්‍රධාන සමාජවාදී චින්තකයකු වන මහාචාර්ය නෝම් චොම්ස්කි කියන්නේ සෝවියට් ක්‍රමය සමාජවාදය ලෙස තහවුරු වුයේ සීතල යුද සමයේ ලොව ප්‍රධාන ප්‍රචාරක යාන්ත්‍රණ දෙක ම එනම් බටහිර ප්‍රචාරක යාන්ත්‍රණය සහ සෝවියට් යාන්ත්‍රණය යන දෙක ම, එකිනෙකට වෙනස් අරමුණු වෙනුවෙන් මෙය සමාජවාදය ලෙස හඳුන්වා දීම හේතුවෙනි. බටහිර එසේ කළේ අවාසනාවන්ත ඒකාධිපති පාලනයක් සමාජවාදය ලෙස හඳුන්වා එයට අවමන් කිරීමට වන අතර සෝවියට් දේශය එසේ කළේ සැබෑ සමාජවාදය පිළිබඳ ලෝක ජනතාවගේ තිබුණු සදාචාරාත්මක ඉල්ලීමෙන් වාසි ලබාගැනීමටයි.
“සමාජවාදය පිළිබඳ අවම මූලික හැඟීම මගින් අදහස් කරනුයේ, වැඩකරන ජනතාවට නිෂ්පාදනයේ පාලනය හිමිවීම සහ ප්‍රජාවන්ට තම ජීවිත ගැන පාලනයක් තිබීම ආදී කාරණායි. එහෙත්, සෝවියට් දේශයේ ජනතාවට නිෂ්පාදනයේ කිසිදු පාලනයක් තිබුණේ නැහැ. ඔවුන් සැබැවින්ම වහලුන්. සෝවියට් දේශයේ කඩාවැටීම සමාජවාදයට යම් ජයග්‍රහණයක්. එය හඳුනාගත යුත්තේ සමාජවාදයට තිබුණු බාධකයක් ඉවත් වීම ලෙසයි.”
– නෝම් චොම්ස්කි, Chomsky’s Philosophy යූටියුබ් නාලිකාව
මෙයින් පෙනී යන්නේ සෝවියට් ක්‍රමය, එනම් සියලු නිෂ්පාදන සහ බෙදාහැරීම් රජය මගින් සිදුකිරීම සමාජවාදයක් නොවන බවයි. එමෙන් ම, පොදු දේපල අයිතිය යන්න හැරුණු විට, වෙනත් පිළිගත් ප්‍රක්ෂේපනයක් ද දැනට නැත. ඇත්තේ එවැන්නක් තුළ තිබිය යුතු වටිනාකම් සහ සාරධර්ම පිළිබඳ පිළිගැනීමකි.
කෙසේ වෙතත්, ධනවාදයෙන් ජනතාවට ලැබෙන නිදහසට සහ තමන්ගේ අවශ්‍යතා ලබා ගැනීමට මෙන් ම, තම ජීවිත තමන් කැමති පරිදි ගත කරන්නට වඩා වැඩි නිදහසක් සැබෑ සමාජවාදයක් තුළ තිබිය යුතුය.
අද අපේ තරුණයින් ඇතැම් විට ජීවිත පවා පරදුවට තබා යන්න හදන්නේ කුමන රටවලටද ? ඔවුන් චීනයට, වියට්නාමයට, කියුබාවට හෝ උතුරු කොරියාවට යන්නේද? ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, කැනඩාවට , යුරෝපයට නැතහොත් ඇමෙරිකාවට යන්නේද ? මේ සියලු ඊනියා සාමජවාදයන් ඇත්තේ සංවර්ධිත ධනවාදයට පිටුපසින් බවට තවත් සාධක අවශ්‍යද ?
අප යා යුතු වන්නේ ධනවාදය අභිබවා ඉදිරියට මිස පසුපසට නොවේ.
රාජ්‍ය අයිතිය සමාජවාදයක් ලෙස සැලකීම මිථ්‍යාවක් වන්නේ ඒ නිසා ය.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.