අරගලය හා දේශපාලනය ගැන නිරීක්ෂණ

 

– අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨා පැන්නීමේ අරගලයට දින 50කි.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැර සෙසු රාජපක්ෂවරු ආණ්ඩුවේ ඉදිරිපෙළෙහි නැත. අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික අපරාධකරුවන් ඉවත්කිරීමට හැකි වී තිබේ.

අරගලය විසින් පිළිනොගත්ත ද, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව පත්වූයේ ද අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග අරගලය දියවීයාමක් සිදුවී ඇති බව ඇතැමෙක් කියති.

එහෙත්, රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම අරගලයේ ගමන් මාර්ගය තුළ ඇති ක්‍රියාමාර්ගයක් නොවේ.

අරගලය මැයි 9දායින් පසු අලුත් මගකට පිවිසියේය. එනම් කෝපයට පත් ජනතාවගේ ප්‍රතිචාරයයි.

කෝපයට පත් ජනතාවගේ ප්‍රතිචාරය අරගලයේ වඩාත්ම බලපෑම් සහගත ක්‍රියාවයි.

කෝපයට පත් ජනතාව යන උපායමාර්ගයෙහි විශේෂත්වය වන්නේ එමගින් දේශපාලකයන් බියෙන් ත්‍රස්ත කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දේශපාලනයෙහි යම් විපර්යාසයකට මුලපුරා තිබේ. එහෙත්, අපේක්ෂිත තරම් බලපෑමක් දේශපාලකයන්ට සිදුවී තිබේද යන්නද ප්‍රශ්නයකි. කෙසේ වෙතත්, මේ වනවිට ඔවුහු නිදහසේ පිටතට බසින්නට බියෙන් සිටිති.

කෙසේ වෙතත්, තවමත් ගෝඨාභය රාජපක්ෂ බලයේ සිටියි. එයට මූලික හේතුව වන්නේ අරගලයත්, ඔහු ඉවත් කිරීමත් අතර නීතිමය සම්බන්ධයක් නිර්මාණය කරගැනීමට නොහැකි වීමයි. විධායක ජනාධිපතිවරයාට තිබෙන බලයේ තරම අනුව ඔහු ඉවත් කිරීම පාර්ලිමේන්තුවට පවා පහසුවෙන් කළ නොහැකිය.

සාමකාමී විරෝධතා හෝ කෝපයට පත් ජනයා භාවිතා කර භීතියට පත්කර ගෝඨාභය ඉල්ලා අස්වන තැනට පත්කිරීම පහසු කාර්යයක් නොවේ.

එසේම, කෝපයට පත් ජනතාව යන ප්‍රපංචය මේ වන විට කෙතරම් සක්‍රිය ද යන්නද අපැහැදිලිය.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කර තිබෙන උපායමාර්ගය වන්නේ පාර්ලිමේන්තුව වටකර මන්ත්‍රීවරුන් දැඩි පීඩනයකට ලක්කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරවාගැනීමයි. පාර්ලිමේන්තුව විසුරුවාහැර කුමන හෝ අන්දමකින් මැතිවරණයක් පැවැත්වූව ද එමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්කිරීමක් සිදුවන්නේ නැත.

කුමන හේතුවක් නිසා හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන්නේ නම්, ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති ධුරයට පත්වනු ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහයි.

අරගලයේ සැලකිය යුතු බලයක් හිමි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් යෝජනා කර තිබේ. එහෙත්, එය තවමත් විකසනය නොවූ අදහසක් පමණි. පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් අභ්‍යාස කරන බවක් යම් දුරකට පෙනෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝටාගෝගමෙහිය. එහෙත්, එය බොහෝ දුරට සමාන වන්නේ 1989 කැරැල්ලෙන් පසු බූස්ස වැනි සිරගෙවල් අභ්‍යන්තරයේ තිබුණු සීමිත තත්වයටය.

කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා විශාල වෙහෙසක් දරමින් සිටියි. එයට සැලකිය යුතු ජාත්‍යන්තර සහායක් ද ලැබෙමින් තිබේ. එසේම, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා ගොනුකරගත් අසීමිත බලය ආපසු හැරවීමට ද උත්සාහ කරමින් සිටියි.

අරගලය යනුවෙන් හැඳින්වෙන ජනප්‍රිය දේශපාලන ක්‍රියාකාරීත්වය මේ වන විට කෙතරම් බාහිර අදහස්වලට විවෘතද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, මෙම පසුබිම හමුවේ අරගලය ඔස්සේ ඉදිරියට යාමට අරමුණු කරන දේශපාලන ව්‍යාපාර විසින් සැලකිල්ලට ගත යුතුව තිබෙන එක් වැදගත් කාරණයක් තිබේ යයි මට සිතේ. එනම්, කෙසේ හෝ බලය ගැනීමට වඩා අතට ගත් බලය ඔස්සේ රට පාලනය කරන්නේ කෙසේද, ආර්ථිකය ගොඩගන්නේ කෙසේද, ගොඩනගන්නේ කෙසේද යන්න ගැන ඔවුන් දැන් සිටම පැහැදිලි දැක්මක සිටිය යුතුය. හුදු විරෝධයෙන් එපිටට ගොස් රාජ්‍ය පාලනය ගැන ගැමුරින් සිතිය යුතුය. මේ වන විට මුලපුරා තිබෙන කටයුතු ද එහිදී වැදගත් වනු ඇත. නොඑසේ නම්, ඔවුන්ට මීටත් වඩා දුෂ්කර, අලුත්ම මූලෝපායක් තෝරාගැනීමට සිදුවනු ඇත. ඒ පිළිබඳ සංවාදය වුව දැන් ආරම්භ කළ යුතුය.

Adapted from praja.lk

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය