පිජන් අයිලන්ඩ් ජනාධිපතිවරයා ලෑස්තිවෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට කෙළින්නද?

 

– අජිත් පැරකුම් ජයසිංහ

සමාජ මාධ්‍ය යුගයේ තියෙන විශේෂ ලක්ෂණයක් මේ පෝස්ට් එක ඇසුරෙන් පැහැදිලි කරන්නට පුළුවන්. මේක අලුත් දෙයක් නෙමෙයි. ඒ තමයි, ප්‍රවෘත්ති නිර්මාණය ඇසුරෙන් දේශපාලන හැසිරවීම.

මේක අලුත් දෙයකුත් නෙමෙයි. ප්‍රවෘත්ති පත්‍ර විතරක් තිබුණු යුගයේ පවා මේක සිදුවුණා. උදාහරණයක් විදියට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණාය කියලා මූලාශ්‍ර දක්වන එක ඉස්සරත් සිදුවුණා. හැබැයි, ඉස්සර මේ දේවල් කරන්නට පුළුවන්කම තිබුණෙ ඉතා බලවත් මාධ්‍යකරුවන්ට විතරයි. දැන් එහෙම නෙමෙයි.

අපට පවා ප්‍රවෘත්ති නිර්මාණය කරන්නට පුළුවන්. එහි ආරම්භය මේ පෝස්ට් එකේ තියෙන එකක් වගේ වෙන්න පුළුවන්. සමහර විට, මේ ආරම්භය නොවී, මේකත් මේ ක්‍රියාවලියේ අතරමග තියෙන කාරණයක් වෙන්නත් පුළුවන්. (මේක ඇතත වෙන්නත් පුළුවන්.) මේ වෙලාවේ මේ වගේ ප්‍රවෘත්තියක් පැතිරීම දේශපාලනිකව වාසිදායක අතිවිශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ අය මේ පෝස්ට් එක ෂෙයා කරන්නට පුළුවන්. නැතිනම්, මේ අදහස තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණු ප්‍රවෘත්තියක් විදියට ප්‍රචාරය කරන්නට පුළුවන්. මේ පෝස්ට් එක වයිරල් වෙන්නත් පුළුවන්. නැතිනම් මේ ආරංචිය වයිරල් වෙන්නත් පුළුවන්.

ඉන් පස්සෙ මේක ප්‍රධාන ධාරාවෙ මාධ්‍යවලත් යන්නට පුළුවන්. ‘ආරංචි පැතිරී යමින් ඇත’ වගේ මූලාශ්‍ර යොදන්නත් පුළුවන්.

මේ වගේ දෙයක් සම්බන්ධයෙන් තීරණගැනීමේ හැකියාව තියෙන අයට මේ අදහස එන්නෙ සමහරවිට ඉන් පසුව වෙන්නත් පුළුවන්.

මෙතෙන්දි වැදගත් වෙන්නෙ තමන්ගෙ කැමැත්ත. උදාහරණයක් විදියට මං කැමතියි, මේ මොහොතේ දැනට බලයේ සිටින රටට ලංකාවට අවශ්‍ය අන්තර්කාලීන මූල්‍ය හෙවත්, හදිසි විදේශාධාර ලබාගන්නට හැකි නම්. මොකද, එහෙම වුණොත් අප ලොකු ආර්ථික අවුලකට පත්වෙන එක වළක්වාගන්නට පුළුවන්. මට පුළුවන් මෙහෙම ප්‍රවෘත්තියක් නිර්මාණය කරන්නට. ‘ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක් පරිත්‍යාග කරන්නට පිජන් අයිලන්ඩ් ජනාධිපතිවරයා එකඟවෙයි.’

මෙහෙම වුණොත් රනිල්ගේ ආණ්ඩුව ස්ථාවර වෙන්නට පුළුවන්නෙ. ඒකට කැමති නැති අතිවිශාල පිරිසක් රටේ ඉන්නවා. ඒ අයට පුළුවන් මේ වගේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්න. ‘පිජන් අයිලන්ඩ් ජනාධිපතිවරයා ලෑස්තිවෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට කෙළින්නද?”

ඊට පස්සෙ වෘත්තීය සමිතියකින් හරි ජාතිවාදී සංවිධානයකින් හරි ත්‍රිකුණාමලේ තෙල් ටැංකි පිජන් අයිලන්ඩ්වලට පවරන එකට විරුද්ධව නිවේදනයක් නිකුත් කළත් පුදුම වෙන්නට දෙයක් නැහැ.

සමාජ මාධ්‍ය යුගයේ ප්‍රවෘත්ති, ඕපාදූප, අතේරෝල්, ප්‍රබන්ධ, දුස්තොරතුරු, ද්වේෂ සහගත තොරතුරු, ප්‍රොපගැන්ඩා වෙන්කර හඳුනාගැනීම ලේසි නැහැ. ඒ සඳහා අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව ලබාගන්නට නම්, පූර්ණ පිටස්තරයකු ලෙස ඒ දිහා බලන්නට වෙනවා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා