තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?

 

අජිත් පැරකුම් ජයසිංහ

මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි.

එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නැත. ඔවුහු වහ වහා තීරණ ගනිති. එසේ කරන්නට සිදුවී තිබේ. ඒ තීරණ වැඩිහරියක් තිත්ත, කටුක ප්‍රතිඵල ජනතාවට ලබාදෙන ඒවාය. එහෙත් පැණිරස බෙහෙත් තියා, පැනඩෝල්වත් රටේ නැත.

තීරණ ද විවේචනය කළ හැකිය. උදාහරණයක් ලෙස පොළී අනුපාතික ඉහළනැංවීම ආර්ථිකයට වාසි වෙනවාට වඩා අවාසිදායක විය හැකි පැතිකඩ රැසක් තිබේ. මෙම ලිපියෙහි ඒවා විස්තර කර තිබේ.

මෙවැනි අර්බුදයකදී ගනු ලබන සෑම තීරණයක්ම හොඳ හා නරක දෙකම මිශ්‍ර ඒවාය. මේ තීරණ වනාහි වලක වැටෙන විට ගලක එල්ලෙනවාද, මුලක එල්ලෙනවාද වැනි තීරණයි. ගලේ එල්ලුනත්, මුලේ එල්ලුනත් දෙකම අවදානම්ය.

මේ වන විට ඉන්දීය ණය ක්‍රමයේ ඩොලර් මිලියන 500ක් අවසන් වෙමින් තිබේ. තවත් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමට ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කර තිබේ. එහෙත්, මේ අන්දමින් දිගින් දිගටම තව කෙතරම් කලක් ණය ලබාගන්නද?

ශ්‍රී ලංකාව මේ වන විට ලබාගන්නා විදේශ ණයවලින් වැඩි මුදලක් වැයවන්නේ ඉන්ධන ලබාගැනීම සඳහාය. ශ්‍රී ලාංකිකයන් තවමත් තත්වය තේරුම්ගෙන ජීවන රටා ගැඹුරින් වෙනස් කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැත. ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සමාජයේ නායකයන් පැත්තෙන් ප්‍රමාණවත් තරමින් සිදුවන්නේ නැත. සියල්ල ආණ්ඩුවට පමණක් කළ නොහැකිය.

විදුලිය නිෂ්පාදනය හා පොදු ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් පමණක් ඉන්ධන වෙන්කිරීමට සිදුවන දවසක් නුදුරු අනාගතයේදීම එළඹෙන බව පෙනේ. ධාවනය වන දුම්රිය සංඛ්‍යාව වැඩිකිරීමට ප්‍රවාහන ඇමතිවරයා දරණ උත්සාහයට වෘත්තීය සමිති අකුල්හෙළීම ආරම්භ කර තිබේ. මෙය වනාහි කාගේත් සහාය අවශ්‍ය වේලාවකි.

රජය විසින් කරන ලද බදු වැඩිකිරීම හරහා දේශීය ආදායම් ඉහළනංවාගෙන තිබේ. එහෙත්, තවමත් රටට ඩොලර් ගලාගෙන ඒම අවශ්‍ය තරමින් වර්ධනය වී නැත. සංචාරක කර්මාන්තය වැනි අංශ යළි නගාසිටුවීම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ඇතිකරන තෙක් කල්දැමීමට සිදුවනු ඇත. එහෙත්, ලංකාවට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හා අපනයන ආදායම් වැඩිකරගැනීමට උත්සාහ කළ යුතුය.

විදේශ ශ්‍රමිකයන්ට ලංකාවට මුදල් එවන්නට එපා යයි අදහස් පතුරුවන ‘දේශප්‍රේමී, ජාතික සමාජවාදී විප්ලවවාදියෝ’ මෙරට සිටිති. ඔවුන්ට රටේ ආර්ථිකයට ඇති විසඳුම ද ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ විදේශ ශ්‍රමිකයන්ගෙන් මුදල් ගෙන්වාගැනීම පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට ද විරුද්ධ, පෞද්ගලික අංශයට මෙන්ම වෙළඳපොළට ද විරුද්ධ ඔවුන්ට ද ආණ්ඩුව අවශ්‍ය බව කියනු ලැබේ. එහෙත්, අරගෙන කරන්නේ ද නැත. මහජනයා රැවටීම හා නොමග යැවීම නිමක් නැත.

දැනට පවතින ආණ්ඩුව හෝ කුමන ආණ්ඩුවක් හෝ ස්ථාවර විය යුතුය. දේශපාලන ස්ථාවරත්වය සඳහා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා වැදගත්ය. නැතිනම්, විධායක ජනාධිපති බලතල හරහා බැසිල් රාජපක්ෂ වැනි විජාතික දේශද්‍රෝහීන්ට යළි කුමන්ත්‍රණ මගින් බලය අල්ලාගැනීමට උත්සාහ කිරීමේ හැකියාව තිබේ.

ආර්ථික අර්බුදය පියමං කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය. ඉන්දියාව හැර කිසිවෙකු තවමත් අපට උදව් කරන බවට ස්ථිර පොරොන්දුවක් ලබාදී නොමැත.

රනිල් වික්‍රමසිංහ අසාර්ථක කර සතුටුවීමට බලාඉන්නා අයට දකින්නට ලැබෙන්නේ රටේම අසාර්ථකත්වයක් හා දැවැන්ත විනාශයක් වනු ඇත. ඒ නිසා එක්කෝ රනිල් වික්‍රමසිංහ පන්නාදමා බලය ගත යුතුය. කුමන අන්දමකින් හෝ රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය. ආණ්ඩුව ස්ථාවර කරගන්නේ කුමන අන්දමින්ද යන්න මාස කීපයකට එතරම් වැදගත් වන්නේ නැත. කුමන අන්දමින් හෝ ස්ථාවර කරගත යුතුය. මේ මොහොතේ රට පිළිගත් බව පෙනෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමෙන් පසු, ඊට වඩා හොඳින් කරන්නට දන්නා වැඩකාරයන්ට ආණ්ඩු බලය ලබාගත හැකිය. අරගෙන කර පෙන්විය හැකිය.

තියෙන ආණ්ඩුව කුමක් වුවත්, මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදයේ දරුණුම මොහොත පියමං කරගැනීම සඳහා අප සැමදෙන තිබෙන ආණ්ඩුවට සහාය ලබාදිය යුතුය. දේශපාලනික ගනුදෙනු බේරාගැනීමට හා ඇරියස් පියවාගැනීම අඩුතරමේ මාස කීපයකට හෝ කල්දැමිය යුතුය.

පළමුව අප කඩාවැටීම නවත්වාගත යුතුය. තවමත් එය නතර වී නැත. දේශපාලන ඇරියස් පියවාගැනීම කෙසේ වෙතත්, මේ කඩාවැටීමේ පතුල කිසිවෙකුට සිතාගැනීම පවා දුෂ්කර අපායකි.

Image: The Condemned in Hell, fresco by Luca Signorelli, 1500–02; in the Chapel of San Brizio in the cathedral at Orvieto, Italy

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා