රජයේ සේවක වැටුප් වැඩිකිරීම

 

– අජිත් පැරකුම් ජයසිංහ

රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට, කුලී කම්කරුවන්ට ආදී කාට කාටත් අතමිට මෙළවේ. රජයේ සේවකයන් ලිබ්බොක්කේ සල්ලි හංගන්නේ නැති පිරිසක් වීම එයට හේතුවයි. ඔවුන්ගේ මිලදීගැනීමේ හැකියාව වැඩිවූ විට කාට කාටත් හොඳය. ලංකාවේ ධනේශ්වර පාරිභෝජනවාදී ජීවන ක්‍රමයේ ප්‍රධාන ධාවකයන් වන්නේ ඔවුන්ය.

පවත්නා සමාජ ක්‍රමය තුළ රජය නම් සමාගමේ ප්‍රධාන හිමිකරුවන් අතර රජයේ සේවකයෝ ඉදිරියෙන්ම සිටිති. රජය පාඩු ලැබුවත්, ඔවුන් ලාභ ලැබිය යුතුය. එයට හේතුව, මේ මජර සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා ඔවුන් ඉතා වැදගත් නිසාය.

මේ වන විට දේශපාලකයන් සෑහෙන සමාජ වෛරයකට ලක්වී හමාරය. ඒ වෛරය නිර්මාණය කිරීම සඳහා රජයේ සේවකයෝ විශාල දායකත්වයක් සැපයූහ. උදාහරණයක් ලෙස, අරගලයේ ආරම්භය කිකිළි ද බිත්තරේදැයි සොයාගෙන යනවිට ගුරු වර්ජනය හමුවන බැවිනි.

ගුරුවරුන් ඉල්ලීම් දිනාගත් නමුදු කොවිඩ්වලින් පසුව පවා තවමත් අපේ අනාගත පරම්පරාවල අධ්‍යාපනය අඩාලය. පසුගිය දිනෙක ගුරුවරු ඉතා අසාධාරණ අන්දමින් එක්දින වැඩවර්ජනයක් කළහ. ඊට දින දෙක තුනකට පසු සමස්ත මහා වැඩ වර්ජනයක් ද කළහ. හැබැයි, සවස ටියුෂන් පන්ති පැවැත්විණි.

මේ වන විට, රජයේ සේවකයන්ට එරෙහිව ද දේශපාලකයන්ට එරෙහිව මෙන්ම විරෝධය ගොඩනැගෙමින් තිබේ. රජයේ සේවකයන්ට වැටුප් වැඩිකරන්නේ මුදල් සංසරණය වැඩිකරන්නට වුව ද, අතුරු ඵලයක් ලෙස ඔවුන් දිළිඳු ජනයාගේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඊර්ෂ්‍යාවට හා වෛරයට ලක්වීම ද සිදුවනු ඇත. රාජකාරි හරියට නොකළොත්, දේශපාලකයන්ට සේම කෝපයට පත් ජනතාව වෙතින් ඉල්ලං කන්නට සිදුවන තත්වයක් වුව ද නිර්මාණය විය හැකිය. කෙසේ වෙතත්, රජයේ සේවකයන්ගේ හැච්බෑක් කාර්වලට ඉදිරි කාලයේදී පලතුරු මැස්සකින්වත් මිල සහනයක් නම් ලැබෙන්නේ නැති බව ෂුවර්ය. රජයේ සේවකයන්ගේ කොණ්ඩා හොඳටම කපාගැනීම සෑම මට්ටමකම ව්‍යාපාරිකයන්ට හා බාස් උන්නැහැගේ සිට හිඟන්නා දක්වා දිළින්දන්ට භාරය.

ඒ සමගම ‘කපුටු කාක්-කාක්-කාක්, බැසිල්-බැසිල්-බැසිල්’ කියමින් උඩපනින්නට ද රජයේ සේවකයන්ගේ ඇටෙන්ඩන්ස් අඩුවනු ඇත. මොකද, ඔවුන් අනුන්ගෙන් කෑවාට හැමදාම හිතන්නේ ‘අපට ඕව වැඩක් නෑ, අපි හම්බ කළොත් අපි කනවා’ කියාය. ඇත්තෙන්ම ඔවුහු ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්වයක් සපයති. තේ වවති. දළු කඩති. කුඹුරු වැඩ කාලෙට නිවාඩු දමා කුඹුරු හාති. ගම්වල දිළින්දන්ට දැඩි අවදානම් ණය සම්පාදනය කරන බැංකු මෙන් කටයුතු කරති (පොළිය අවදානම අනුවය). වීමෝල්, ෆෝන් රෙපෙයාර් කඩ වැනි කුඩා කර්මාන්තශාලා පවත්වාගෙන යති. කඩ සාප්පු කරති. ටියුෂන් කඩ කරති. බයිං ඇන් සෙලිං බිස්නස් කරති. රෝගීන්ට ප්‍රතිකාර කරති. තුවාලවලට බෙහෙත් දමති. යූටියුබ් කරති. රෙදි මහති. බඩු විකුණති. රූපලාවණ්‍ය වැඩ කරති. වාහන හයර් කරති. නිවාස ආදිය කුලියට දෙති. තවත් බොහෝ දේ කරති. ඇත්ත වශයෙන්ම, ලංකාවේ ආර්ථික වශයෙන් වඩාත්ම සක්‍රිය පිරිස රජයේ සේවකයෝය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතරින් සෑහෙන පිරිසක් රජයේ සේවකයෝය. ඔවුන් කරන ප්‍රධාන කාර්යය රජයේ රස්සාව නොවේ. රජයේ සේවයෙන් විශ්‍රාම ගත් මා වැනි බොහෝ අය විවිධ ව්‍යාපාර කරති. (විශ්‍රාමිකයන්ට ද වැටුප් වැඩිවනු ඇත.)

ඒ නිසා රනිල් අල්ලන්නේ හොඳ නිලයකැයි මම සිතමි. මෙහි දේශපාලනය තේරෙන වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති දැන් වහා කළ යුතුව තිබෙන්නේ මෙම වැටුප් වැඩිකිරීමට විරුද්ධව වීමයි. මොකද කියන්නෙ ඉස්ටාලිම් අයියෙ? හාද? අපට වැඩි වැටුප් එපා කියල කැම්පේන් එකක් පටන්ගමුද?

නැතිනම්, මෙහෙම කරමු. රජයේ සේවකයන්ට පඩි වැඩිකරන්නෙ දේශපාලකයන්ට වැඩිකරගන්නය කියල කතන්දරයක් හදමුද?

රනිල්ට ඉක්මනින් ගහලා එලෙව්වෙ නැතිනම් වැඩේ අමාරු වෙන්න ඉඩ තියෙනවා. මේක 2004දි චන්ද්‍රිකා එක්ක එකතුවෙලා රනිල්ගෙ ආණ්ඩුව පෙරළපු මොහොතට සමාන මොහොතක්. ඒ වෙලාවෙ නම් ජවිපෙට ජාතිවාදය තිබුණා. දැන් නැද්ද?

Adapted from praja,lk

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය