කැස්සකින්, කිවිසුමකින් බෝවෙන ලාදුරු ගැනත් දැනගන්න

 

ඊශා කප්පරගේ

2019 වසරේදී ලාදුරු රෝගීන් 1,749ක් අලුතින් හමු වූ බවත්, ලංකාවේ ලාදුරු රෝගය ගැන තියෙන්නෙ අඩු අවධානයක් බවත් පසුගිය 13 දින ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් පවත්වන ලද අධ්‍යාපන වැඩමුළුවක දී එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර ප්‍රකාශ කළා ය.

Translations by Creative Content Consultants

එසේ හමු වූ ලාදුරු රෝගීන් අතරින් 181ක් ළමයින් බව ද ඇය පැවසුවා ය.

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වන අතර 2019 හි වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 223කි. බස්නාහිර පළාත තුළ ව්‍යාප්තිය 2019 දී 38%ක් විය.

ලාදුරු රෝගය වැළඳෙන්නේ Mycobacterium leprae බැක්ටීරියාව හේතුවෙනි. ප්‍රතිකාර නොගන්නා රෝගියෙකුගේ කැස්සකින්, කිවිසුමකින් බැක්ටීරියාව පරිසරයට එකතු වී නිරෝගී අයෙකුට ශ්වසනය මගින් රෝගය බෝවේ.

ලාදුරු රෝග ලක්ෂණ පහළ වූ රෝගියෙකුට මුලින්ම එන ලක්ෂණ හමේ පැහැයට වඩා අඩු පැහැයෙන් එන අළුහමක් වැනි ලපයක් විය හැකි ය. මේ ලපය රතු හෝ තඹ පැහැ වෙන්නත් පුළුවන. මේ ලප මත රෝම නැත. දැනීම නැත. කුඩා තුඩකින් මේ බව සියුම්ව පරීක්ෂා කළොත් හඳුනාගත හැක. මේ ලප මතට දහඩිය දැමීම අවමයි. කසන්නේ නැත. බොහෝ දෙනා මේ සඳහා වෛද්‍ය නිර්දේශ ඇතිව හෝ නැතිව විවිධ ක්‍රීම් වර්ග කාලයක් ආලේප කර බලා සුව නොවන අවස්ථාවල ප්‍රතිකාර සඳහා යොමු වේ.

ලංකාවේ ලාඳුරු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහාම 1709 දී හැඳළ ලාඳුරු රෝහල ඇරඹිණි. මෙහි දැන් නේවාසිකව සිටින්නේ 32ක් පමණි.

මෙම රෝගය සඳහා ප්‍රතිකාර කරන්නේ හමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සේවය කරන හමේ රෝග සායනයක පමණි. ලංකාවේ ලාදුරු රෝගය සඳහාම වෙන් වූ එකම සායනය ඇත්තේ කොළඹ ජාතික රෝහලේ අංක 12 කාමරයේ ය.

ලාඳුරු රෝගය සඳහා අදාළ ⁣ඖෂධ ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පමණි. කිසිම ඖෂධහලක මේ ⁣ බෙහෙත් අලෙවියට නැත. රෝගය මුල් අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත්, විකෘතිතා රැසක් ඇතිවන අතර ඖෂධ ගත්ත ද ඒවා යථා තත්ත්වයට පත් කළ නොහැක. භෞත චිකිත්සාව (Physiotherapy) මගින් යම් සහනයක් ඇති වුව ද පුද්ගලයාට සමාජගත වීමට වන්නේ යම් යම් විකෘතිතා සමඟ ය. මේ නිසා ඔවුන් කොන් කිරීම, වෙන් කොට සැලකීම සමාජයේ දැකිය හැක. ඔවුන් සඳහා නිසි උපදේශන සේවාවක් පැවතීම කාලීන අවශ්‍යතාවයක් වුවත් එය ක්‍රියාත්මක මට්ටමේ නොපවතී.

පාසල් දරුවන්ගේ සිට මහළු අය දක්වා විවිධ වයස් කාණ්ඩවලට අයත් රෝගීන් හමේ රෝග සායන හරහා ප්‍රතිකාර වෙත යොමුවේ.⁣ මොවුන්ගේ වයස, සමාජ මට්ටම, අධ්‍යාපන මට්ටම අනුව ⁣රෝගියා ඹෟෂධ ගැනීමට කැමති කරවා ගත යුතුය.

මගේ අත්දැකීමක් අනුව, වරක් රෝගියෙකු ඔහුට රෝගය ඇති බව පිළිගත්තේම නැත. සෑම උපක්‍රමයක් ම යෙදුව ද, රෝගියා පළා ගියේ තම ජීවිතය ම කරදරයට පත්කර ගනිමිනි. එපමණක් නොව, ඔහුගෙන් තවත් විශාල පිරිසකට රෝගය බෝ වීමේ අවදානමත් රැගෙන ය.

නිවසේ සිට ප්‍රතිකාර ගැනීමට අපහසුතාවක් පවතී නම් ඉල්ලීමක් කර හැඳළ ලාඳුරු රෝහ⁣ලේ නේවාසිකව ප්‍රතිකාර ගත හැක. මේ සඳහා දිනපතා දවසට එක් වරක් බොන පෙති එකක් හෝ දෙකක් (රෝග තත්ත්වය අනුව, වයස අනුව වෙනස් වේ) ලබා දෙයි. මාස හයක් හෝ අවුරුද්දක් ප්‍රතිකාර ගත යුතු ය.

කල් ගත නොවී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ගත්තොත් නිට්ටාවට ම සුව වේ. ගොඩ වෙදකම් නැත.

කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනය
දුරකතන අංකය 011-26964444


Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා