නිවුන් දරුවන් පස්දෙනාගේ කතාවට පෙරවදනක්
නිවුන් දරුවන් පස්දෙනෙකුට ඉංග්‍රීසියෙන් කියන්නෙ ක්වින්ටප්ලට්ස් (quintuplets ) කියලායි. ඔහොම දෙයක් වෙන්නෙ දරු උපත් මිලියන 60කට එකක් වගේ එකක්. මේ 29 හැවිරිදි කාන්තාවට ලැබුණු දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් නිසා එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව ඊටත් ඉහළයි.
ලංකාවෙ මේ වගේ සිද්ධියකදී මුලින් ම වෙන්නෙ මීඩියාකාරයන් මේක අමුවෙන්ම විකුණාගන්න උත්සාහ කරන එක. එතනදී වෛද්‍යවරුන්ව එහෙමත් ඔවුන් මුළාකරගන්නවා. ඒ ඡායාරූප සහ වීඩියෝ ජාත්‍යන්තර මාධ්‍යවලටත් විකුණාගන්නවා. ඒ වීඩියෝ යූටියුබ් චැනල්වල දාගෙන සල්ලි හම්බ කරන ගමන් අර දරුවන්ට කිරිපිටි ටින් එකක්වත් අරන් දෙන්නෙ නැහැ. මේ අතර, දේශපාලකයන් උදව් කරනවා ය කියා පෙන්නලා ෆොටෝ ගහනවා.
මේ දරුවන් පස්දෙනාට තියෙන මාධ්‍ය ආකර්ශනය ඒ තරුණ මව්පියන් අවබෝධ කරගෙන සිල්ලරට නොවිකිණී, ළමයින්ගෙ හැම ෆොටෝ එකකට ම, වීඩියෝ එකකට ම මුදල් අය කරන්නට ඕනැ. නැතිනම්, ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතන එක්ක ගිවිසුම්වලට එළඹෙන්නට ඕනැ. හැකි නම් තමන්ගෙ ආයතනයක් පටන් අරගෙන ඒකෙන් යූටියුබ් ඇතුළු සෝෂල් මීඩියා චැනල්ස් පටන් ගන්නට ඕනැ. මේ දරුවන්ගෙ හැම ඉරියව්වකට ම මිලියන ගණන් වීව්ස් ලබාගන්නට පුළුවන්. එහෙම කළොත් ඔවුන්ට සෑහෙන ආදායමක් උපයා ගන්නට පුළුවන්. කාටවත් ණය නොවී දරුවන් වෙනුවෙන් සේවක සේවිකාවන් යොදවාගන්නත් පුළුවන්.
මේ අය පුංචි කාලෙ සිට වැඩෙන හැටි රූපගත කළොත්, ලෝක මට්ටමේ ඓතිහාසික සිනමා නිර්මාණයක් කරන්නටත් පුළුවන්. මේ අත්දැකීම ගැන ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වොත් පිටපත් මිලියන ගණනින් විකුණන්නට පුළුවන්.
හැබැයි, මේ දෙමව්පියන් තමන්ගෙ දරුවන් සිල්ලරට විකුණන කැත වැඩේට යන්න නරකයි. ඒ වගේ ඉතිහාසයක් ම අපට තියෙනවා. ඈතම කාලෙක තඹුත්තේගම යෝධයාගේ සිට, පස්සෙ කාලෙක පුංචි වෙළෙන්දා කියපු රුවන් ශ්‍රී ලාල් හරහා මේ දවස්වල ආක්ෂා චමෝදි දක්වා දරුවන්ව ඔවුන්ගේ මව්පියන් දැනුවත්ව ම අපහරණය කරනවා. අහිගුණ්ඨික රිලා නැටුම් සහ මේ ජවනිකා අතර වෙනස අවමයි.
හැබැයි, නිවුන් දරුවන් පස්දෙනාගෙ මව්පියන් හා පවුලේ සමීපතයන් මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්න ඕවා නෙමෙයි. දරුවන් පස්දෙනෙකු නළවා ගැනීම වුණත් ලේසි නැහැ. සල්ලි තිබුණත්, කවන, පොවන, නාවන, සෙල්ලං කරන, පාසල් එක්කගෙන යන, පන්ති ගෙනියන අරව මේව ඉතාම අමාරුයි. සෝබනේට ෆේස්බුක් දාන්නෙ නැතුව, ඒ අයට උදව් කරන්නට ස්වේච්ඡා කණ්ඩායමක් හදාගන්න ඒ අයගෙ ඥාතීන්, අසල්වැසියන් අතර ඇත්ත මිනිස්සු ඉන්නවා නම් පුළුවන්. ඒකට ලෝකෙට අඬබෙර ගහන්න ඕනැ නැහැ. විශ්වාසවන්ත 10ක් හිටිය නම් ඇති. නැතිනම්, පෙඩොෆිල්ස්ලාත් ඕවා අස්සට රිංගා ගන්නවා. නෑදෑයන් අතර අම්බ ඉරිසියාකාරයන් ඉන්න නිසා උන්ගෙනුත් දරුවන් පරිස්සම් කරගන්නට ඕනැ.
මේ වගේ සුවිශේෂ සුබසාධන කටයුතු සංවිධානය කරන්නට ඇති තරම් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මහජන මුදලින් වැටුප් ගෙවනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ නිල වශයෙන් යම් දුරකට හෝ වගකීම් භාරගන්න ඉන්නෙ මිඩ්වයිෆ් නෝනා විතරයි.
ජනාධිපතිතුමාට ඕනැ නම් මේ වැඩේ සම්බන්ධ වගකීම ජනාධිපති නියෝගයකින් අදාළ ප්‍රාදේශීය ලේකම්ට පවරන්නට පුළුවන්. බය නිසා අඩු ගානෙ අවුරුදු පහක්වත් ඔවුන් ඒ ගැන සොයා බලාවි.
ඡයාරූපය ඒ දරුවන්ගේ නෙමෙයි. සමාජ මාධ්‍යවල වයිරල් වුණ එකක්.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.