ඇමරිකාවේ මොබ් ප්‍රචණ්ඩත්වය හා වාමාංශිකයන්ගේ ස්වප්න මෝචනය
අජිත් පැරකුම් ජයසිංහ
2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද?
1983 ජුලි 27, 28 දිනවලදී වැලිකඩ බන්ධනාගාරයේදී දෙමළ සිරකරුවන් 52ක් ඝාතනය කරන ලදී. එය බන්ධනාගාර බලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදු වූ බව කුප්‍රකට ය. ඉතාලි ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඒ වන විට සිරගතව සිටි සේපාල ඒකනායක එම ඝාතන මෙහෙයවූ අයෙකු බව ඇතැම් අය කියති. එහෙත්, ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු වී නැත. එදා වැලිකඩ බන්ධනාගාරය තුළ දෙමළ සිරකරුවන් ඝාතනය කිරීමට අයුතු ජනරාශියක් සෙසු සිරකරුවන් අතරින් නිර්මාණය වෙද්දී රට පුරා ම අයුතු ජන රාශි විසින් දෙමළ ජාතිකයන් ඝාතනය කරමින් දේපළ විනාශ කරන ලදී.
1987 ජුලි මාසයේදී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පැන නැගුණු මොබ් ප්‍රචණ්ඩත්වය වඩා දේශපාලනික මහජන කැරැල්ලක් බවට පරිවර්තනය විය. පසුව, එය සිංහල ජාතිකවාදී හා ධනේශ්වර විරෝධී දිග්ගැසුණු කැරැල්ලක් විය.
දෙමළ ඊලාම් කැරැල්ල තුළ ද ආරම්භයේ සිට අවසානය දක්වා ම මොබ් ප්‍රචණ්ඩත්වයට මූලික තැනක් හිමි විය.
ජනතාව දේශපාලනයට මැදිහත් වන්නේ බුද්ධියට වඩා හැඟීම්වලට මුල් තැන දෙමිනි. විශේෂයෙන් ම මහජන බල අරගලවලදී බුද්ධියට වඩා හැඟීම් වැදගත් වේ.
වර්තමාන ආණ්ඩුව හිමි පොහොට්ටු දේශපාලනය හා රාජපක්ෂවාදය ද උපරිමයෙන් ම මොබ් ලක්ෂණ සහිත දේශපාලන ව්‍යාපාරයකි. එහි මොබ් රජු වන මහින්ද රාජපක්ෂ වනාහි යන යන තැන මොබ් නිර්මාණය කළ හැකි පුරාවෘත්තයකි.
තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.
ඇතැමෙකු මුළු ජීවිත කාලය පුරාම ජීවත් වන්නේ මොබ් සමග, මොබ් විසින් මෙහෙයවීමට ලක්වෙමින් සහ මොබ් මෙහෙයවමිනි. මෙයට හොඳම උදාහරණ දෙකක් වන්නේ අතුරලියේ රතන හා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවරු ය.
මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ.
නව යොවුන් හා තරුණ පුද්ගලයන් පහසුවෙන් ආවේගශීලී වන අතර ඔවුන් බොහෝ විට මොබ්වල සාමාජිකයන් වේ. එහෙත්, ඒවා තරුණයන්ට පමණක් සීමා වන්නේ නැත. ඕනෑම අයෙකු ඕනෑම මොහොතක මොබ් එකක සාමාජිකයකු විය හැකි ය. මොබ් වාතාවරණයක් තුළට පිවිසි අයෙකු සාමාන්‍ය පුද්ගල ස්වභාවයන්ගෙන් වෙනස්ව ප්‍රචණ්ඩව හැසිරීමට ඉඩ තිබේ.
මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. එවැනි ක්‍රියාමාර්ග මගින් මොබ් පවා දේශපාලන අරමුණු වෙත මෙහෙයවාගත හැකි නායකත්වයන් බිහි වේ.
හුදු මොබ් මානසිකත්වයෙන් පමණක් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති.
මොබ් නායකයන්ට සියුම් ලෙස මොබ් මෙහෙයවිය හැකි ය.
මොබ් හා විප්ලවීය බලවේග යනු එකක් නොවේ. එමෙන් ම දෙකක් ද නොවේ. මොබ් සංවිධානාත්මක අරමුණු කරා යොමු කරගත් විට ඒවා විප්ලව දෙසට යොමු විය හැකි ය. ඒකාධිපතියන්, හමුදා ආණ්ඩු, ජනප්‍රිය නොවන ආණ්ඩු ආදිය පළවා හැරීමට මොබ්වලට හැකි බව ඔප්පු වී තිබේ..
කැරැලි නිසා බලතුලනය වෙනස් වේ. එමගින් සමාජ පරිවර්තන සිදු වේ.
මොබ් ප්‍රචණ්ඩත්වයන් ඔස්සේ ලෝකයේ සාධනීය වෙනස්කම් සිදු වෙනවාට වඩා නිශේධනීය වෙනස්කම් සිදු වේ. උදාහරණයක් ලෙස අවුරුදු කීපයකට වතාවක් ලංකාවේ හිටිහැටියේ පැන නගින මුස්ලිම් විරෝධී මොබ් මගින් සිදු වන්නේ බරපතල දේශපාලන හානියකි. හිට්ලර් බිහි වුණේ ද මොබ් දේශපාලනය හරහා ය.
බොහෝ ගතානුගතික වාමාංශිකයෝ ද මොබ්වලට ලොබ බඳිති. මොබ් ජන අරගල බවට පරිණාමය වී ධනවාදය බිඳ දමන විප්ලව බවට පත් වනු ඇතැයි වාමාංශිකයෝ එදා පටන් ම සිතූ හ. ඉතිහාසය ඒ සඳහා ඕනෑ තරම් පූර්වාදර්ශ සපයා තිබේ. අතීත වාමාංශිකයෝ මොබ් අරගල පැනනැගී ඒවා ජන අරගල බවට පරිණාමය වන විට, ඉදිරිගාමීව ඒවා මෙහෙයවාගැනීම පිණිස කල් තබා ම සන්නද්ධ අරගල සංවිධානය කළ හ. ජනතා විමුක්ති පෙරමුණ 1987දී කළේ එයයි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ද එය ඉතා දක්ෂ ලෙස කළේ ය.
මොබ් හා ජන අරගල නිර්මාණය කළ හැක්කේ ජනප්‍රිය සටන් පාඨ ඔස්සේ ය. ලංකාවේ උතුරේ වාමාංශිකයන් අතරින් සැලකිය යුතු පිරිසක් 70, 80 දශකවලදී දෙමළ ජාතිකවාදය වැළඳගත්තේ එකී ජනප්‍රියවාදය ධනවාදයට එරෙහි අරගලයක් සඳහා පාවිච්චි කරන්නට ය.
ඇමරිකාවේ මේ මොහොතේ සිදු වන මොබ් ප්‍රචණ්ඩත්වයන්ගෙන් අමන්දානන්දයට පත් වී සිටින වාමාංශිකයන්ගේ ස්වභාවය නිරීක්ෂණය කිරීම වටී. මේ ප්‍රචණ්ඩත්වය අනුමත කරන බොහෝ වාමාංශිකයන් බලාපොරොත්තු වන්නේ එය ධනවාදයට එරෙහි විප්ලවීය දේශපාලන අරගලයක් දක්වා වර්ධනය වනු ඇති ය කියා ය. එහෙත්, ඒ වෙනුවෙන් අර්ථකථන සපයනවා හැරෙන්නට ලංකාවේ ද අනාගතයේදී පැනනැගිය හැකි එවැනි අරගලවල නායකත්වය සියතට ගන්නට මේ කිසිවෙකු සූදානම් වන්නේ නැත. සන්නද්ධ අරගලයක අවදානම නොගෙන එය කළ නොහැකි ය. වාමාංශිකයන් අමු කුහකයන් වන්නේ එහිදී ය. ලංකාවේ නම් ඉන්නේ දැනුමින් මාර සන්නද්ධ ෆේස්බුක් විප්ලවවාදියෝ ය. (ලිපිය ඡායාරූපයෙන් පසු ද තිබේ. දිගට ම කියවන්න)
මිටියේ ගහන පැත්ත බලන්න
2009න් පසු, ලංකාවේ සන්නද්ධ අරගලයක අවදානම ගනිමින් පවත්නා රාජ්‍යයට දරුණු ම අන්දමින් පහර දුන්නේ එකම එක සන්නද්ධ ව්‍යාපාරයක් පමණි. ඔවුහු ලංකාවේ ධනවාදයට රිදෙන්න ම පහර දුන් හ. එම ප්‍රහාරයේ දෝංකාරය තවමත් අවසන් නැත. එහෙත්, කිසිදු වාමාංශිකයෙකු එකී ප්‍රහාරය පීඩිත ජාතියක අරගලයක් හා පවත්නා ක්‍රමයට එරෙහි කැරැල්ලක් ලෙස අර්ථකථනය කරන්නට ඉදිරිපත් වූයේ නැත. එහෙම කළා නම් අම්බානක් කන්නට වෙන බව දන්නා නිසා ය.
දුරින් තිබෙන ඇමරිකාවේ අරගලවලට තැපෑලෙන් ලව් කරනවා වගේ නොව, අපේ දෙපා මුලට කැරැලි ආ විට ඒවාට ලව් කරන්නට ගියොත් වෙන්නේ දෙපා පමණක් නොව හිස ද අහිමි වීම ය.
මොබ් ප්‍රචණ්ඩත්වය ඇති වන්නේ පීඩනය නිසා ය, ඒවා දිළින්දන්, පීඩිතයන් ධනවාදයට එරෙහිව ගසන අසංවිධානාත්මක කැරැලි ය ආදිය හුදු හිතලු ය. මොබ් ප්‍රචණ්ඩත්වයන් දේශපාලනිකව අර්ථකථනය කරන්නට යාමේ ලොකු තේරුමක් නැත. මොබ් ප්‍රචණ්ඩත්වයේ හැඩතල තීරණය වන්නේ මොබ් වාතාවරණය විසිනි.
මොබ් විසින් කිසිදු කලෙක මොබ් ඇති වීමට හේතු ආමන්ත්‍රණය කර නැත. ඒ වෙනුවට මොබ් විසින් කරනු ලබන්නේ තම පීඩනය ඕනෑම අතාර්කික අයුරකින් පිට කිරීම ය. උදාහරණයක් ලෙස ඇමරිකාවට හෝ ලෝකයට ම පොදු කාරණයක් වන පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ කිසිදු සාධනීය උද්දේශනයක් මොබ් මගින් සිදු වන්නේ නැත. එය එක්සත් ජනපදයේ පොලිසිය හා ක්‍රමය හරහා ඊට වඩා හොඳින් සිදු වේ. මොබ් සාමාන්‍යයෙන් ම මෝඩයන්ගේ රජදහනකි. මොළේ ඇති මිනිස්සු මොබ්වලට මැදිවන්නේ නැත. ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා උද්දේශනයට මොබ් ප්‍රචණ්ඩත්වය යොදාගැනීම දේශපාලනික නායකත්වයක් විසින් කරන්නේ නම් එය කුහක, අපරාධකාරී ක්‍රියාවකි.
ඇමරිකාවේ මේ දිනවල පවතින කලබල ගැන ඕනෑ තරම් සිරා අර්ථකථන ලිවිය හැකි ය. ඒ සියල්ල ම නිවැරදි ය. මන්ද, ඒ ඕනෑම එකක් එම මොබ් ප්‍රචණ්ඩත්වයන් තුළ පැවතිය හැකි නිසා ය. එහෙත්, ඒ කිසිවක වැදගත්කමක් නොතිබිය හැකි ය. හේතුව, මොබ් යනු වෙන මොකකින්වත් නොව, මොබ් වාතාවරණය විසින් ම මෙහෙයවෙන ක්‍රියාවලියක් නිසා ය.
හැබැයි, ඔය මොබ් කලබලවලින් විප්ලවීය අරගල ඇති වන්නට තරම් විභවයක් ඇමරිකාවේ නැත. වැඩිම වුණොත්, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊළඟ ජනාධිපතිවරණයෙන් පරදින්නට ඉඩ තිබේ. ඊට වඩා වෙනසක් සිදුවන්නේ නැත. ඒ නිසා ඒ කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන කට බලියාගෙන සිටින ලාංකික විප්ලවවාදීන්ට යම් දිනෙක තම නිදහසේ සුරපුර ඇමරිකා එක්සත් ජනපදයෙන් සොයන්නට ග්‍රීන් කාඩ් හරි ලබාගන්නට තිබෙන හැකියාව නැති වන්නේ නැත. එක්සත් ජනපදයේ ඇති සමාජ විසමතා විසඳීම සරල ගණිත ගැටලු විසඳීම වැනි දෙයක් නොවේ.
ඇමරිකාවේ මොබ් ප්‍රචණ්ඩත්වය නිසා අවසානයේදී සිදු වී තිබෙන්නේ පොලිස් කාර් උඩ මළපහ කරන්නට කැමති ලාංකික කඩාකප්පල්කාරීන් පිරිසකගේ ඊනියා වාමාංශික ඇකඩමික් තොප්පි ගැලවී වැටී අමාරුවෙන් රෙද්ද පල්ලේ සඟවාගෙන සිටි වල් සතා මතු වීම පමණි. මොවුන් කිසිවෙකු මෙවැනි මාර්ගවලින් බලය අල්ලාගැනීමට අවශ්‍ය සන්නද්ධ අරගලයක මූලික අවදානම කිසිදාක ගන්නේ නැත. ඔවුන් කරන්නේ අති රැඩිකල්වාදීන් ලෙස පෙනී සිටිමින් අත්දැකීම් අඩු තරුණ පරපුරක් ඇන්දීමට උත්සාහ කිරීම පමණි.
ඔවුන්ට ගඟේ යවන්නට තව පරම්පරාවක් රවටා ගැනීම පහසු නැත. සමාජ වෙනස්කම් සඳහා උද්දේශනය කිරීමට මොබ් නොවන වෙනත් ක්‍රම සොයාගත යුතු ය.