පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට ඒ තරම් හයියෙන් ගැහුවේ ඇයි?
අජිත් පැරකුම් ජයසිංහ
ජුනි 9දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන්නට උත්සාහ කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී.
පොලිසිය මෙම උද්ඝෝෂණයට එරෙහිව කල් තබා ම අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තිබිණි. එය භාවිතා කර උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේ ඉතා කෘෘර ආකාරයට ය. එය පෙසප ක්‍රියාකාරිකයන් පවා විස්මයට පත් කළ බවක් පෙනිණි.
එය තානාපති කාර්යාලයක් ඉදිරිපිට සංවිධානය කර තිබුණු සාමාන්‍ය උද්ඝෝෂණයකි. දේශපාලන පක්ෂ මෙවැනි උද්ඝෝෂණ පවත්වන්නට හේතු වන්නේ ජාත්‍යන්තර රැලිවලට අනුගත වීම හා තමන්ගේ ජාත්‍යන්තර සම්බන්ධකම්වලට තමන් නිකම් නොසිටින බව පෙන්වීමයි. පසුගිය මැයි 25දා අලුත්ගම පොලිසිය ධර්ගා නගරයේදී බාල වයස්කාර ඔටිසම් දරුවෙකුට පහර දුන්නේ ය. එම දරුවාට පාරේ යන වෙනත් අය ලවා ද පහර දුන් බව සීසීටීවී කැමරා දර්ශනවලින් පෙනේ. කරන්දෙනියේ මවක හා පියෙකු නිවසේ නොමැති අවස්ථාවේදී ඔවුන් වෙනුවට වයස දාහතරක දරුවකු පොලිසිය විසින් වාහනයේ දමාගෙන ගියේ එම දරුවා විසින් බලා ගනිමින් සිටි වයස අවුරුදු එකහමාරක දරුවකු නිවසේ තනි කර දමා ය. ශ්‍රී ලංකා පොලිසියේ කෘෘරත්වය පිළිබඳ මෙකී කාරණා පෙසප උද්ඝෝෂණයේ මූලික තේමාවන් වූ බවක් නොපෙනේ.
සතියකට පමණ පෙර හිටපු ඇමති ආරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල උත්සව සිදු කරනු ලැබුවේ නිරෝධායන නීති පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවා උල්ලංඝනය කරමිනි. මේ දිනවල තිබෙන පොහොර අර්බුදය හමුවේ පොහොර ඉල්ලා ගොවීන් විසින් මෙවැනි උද්ඝෝෂණ ගණනාවක් පවත්වන ලදී. එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ මූලස්ථානවල රැස්වීම් හා මොබ් කලබල පැවැත්වුණේ ද නිරෝධායන නීතිවලට පටහැණිව ය. එහෙත්, ඒ කිසිවකට නොදක්වන ලද අන්දමේ කෘෘර ප්‍රතිචාරයක් පෙසප උද්ඝෝෂණයට දක්වන්නට රජය ගත් තීරණයේ වැදගත් දේශපාලන සංඥාර්ථ තිබේ.
පෙසප යනු කුඩා, මධ්‍යම පන්තික, වාමාංශික, මාක්ස්වාදී, රැඩිකල් පක්ෂයකි. එතරම් විවෘත නැති ක්‍රියාධර පක්ෂයක් වන එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයන් වැඩි දෙනෙකු මැදිවියේ සිටින හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයෝ ය. වැඩිපුර බුද්ධිමය දේශපාලනයක නියැලී සිටින ක්‍රම විරෝධී කැරැල්ලක් ඇති කිරීමේ ලා ඔවුන්ට දැනට තිබෙන හැකියාව ඉතා අඩු ය. එහෙත්, දැනට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය තිබෙන්නේ මෙම පක්ෂය අත ය. අන්තරය හරහා ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමේ හැකියාව ඔවුන්ට තිබේ. එය පෙසප සතු දැවැන්තම ශක්තියයි. පෙසප විසින් පසුගිය දස වසරක පමණ කාලය තුළ මූලෝපායන් තෝරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ වැනි අධිකාරිවාදී පාලනයක් බලයට එන තත්වයක් නිර්මාණය කිරීම පිණිස ය. අන්තවාදීන් බලයට පත්වීම වළක්වනවා වෙනුවට එයට උත්ප්‍රේරකයක් වීම අන්තවාදීන්ගේ ලක්ෂණයකි. ගෝඨාභය ආණ්ඩුව පෙසපට මෙතරම් දරුණු අන්දමින් පහර දෙන්නට ඇත්තේ ඇතැම් විට පෙසප ගැන එවැනි සැකයකින් විය හැකි ය.
වත්මන් රජය ඉතා ඉක්මණින් පිරිහෙමින් තිබේ. කල්පනාකාරී ලෙස ලොක්ඩවුන් ක්‍රියාමාර්ග නොගෙන, අදූරදර්ශී ලෙස ඇඳිරි නීති පනවමින් ආර්ථිකය විනාශ කර දැමූ රජය දැන් මුහුණ දී සිටින මූලික ප්‍රශ්නය වන්නේ විදේශ ණය පියවා ගන්නේ හා රාජ්‍ය වියදම් ආවරණය කරගන්නේ කෙසේ ද යන්නයි. තව තවත් බලය ගොනු කරගැනීමෙන් ආර්ථිකය සංවර්ධනය කරන්නටත්, සමාජ විපර්යාස ඇති කරන්නටත් හැකි වේ යයි ඔවුහු සිතති. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමෙන් විධායක බලතල වැඩි කරගත් පමණින් ලංකාවේ කුමක් කළ හැකි ද යන්න ඔවුන් දන්නා බවක් නොපෙනේ.
විශේෂයෙන් ම ගෝඨාභය රාජපක්ෂ හා ඔහු වටා ඒකරාශී වී සිටින හමුදා හා වියත්මග කොටස් ප්‍රායෝගික තත්වයන් තේරුම් ගෙන නැත. වඩා දේශපාලනික වන මහින්ද රාජපක්ෂ බලවේගය මේ වන විට නාමල් රාජපක්ෂ ඉදිරියට දමමින් අර්ධ විපක්ෂ භූමිකාවක් ඔස්සේ ගෝඨාභයගේ නායකත්වය අභියෝගයට ලක්කිරීම ආරම්භ කර තිබේ. විපක්ෂයට ඉදිරියට ගත හැකි නායකයකු නොමැති සංදර්භය තුළ අනාගත විකල්ප නායකත්වය ද රාජපක්ෂ පවුලෙන් ම ඉදිරියට ගැනීම මහින්ද රාජපක්ෂගේ සැලසුමයි.
පෙසප උද්ඝෝෂණය කෘෘර ලෙස මර්දනය කිරීමේ නියෝගය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්නගෙන් පැමිණි එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එය සාමාන්‍ය නියෝගයක් නම්, පොලිසිය මෙතරම් අධි ක්‍රියාකාරී වන්නේ නැත. එහෙත්, එය වනාහි ඉතා මුග්ධ, අමනෝඥ තීරණයකි. නින්දිත ලෙස වධහිංසනයට ලක්කරමින් පොලිසියට රැගෙන ආ පිරිස අන්තිමේදී පොලිස් ඇප මත සරල ලෙස නිදහස් කර දැම්මේ සිද්ධියෙන් තමන් දේශපාලනිකව නාගත් බව රජයේ එක් පාර්ශ්වයකට හෝ අඩු තරමේ තේරුණ නිසා ය.
කෙසේ වෙතත්, රජයේ හමුදා බලවේගය සිතන අන්දම මෙම සිද්ධිය හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය. රජයට එරෙහි දේශපාලන බලවේග කෘෘර ලෙස මර්දනය කිරීමෙන් රජයට බලවත් විය හැකි යයි ඔවුන් සිතන බව පෙනේ. මෙම චින්තනයේ ඊළඟ දිගුව විකල්ප මාධ්‍ය විය හැකි ය. මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රජයේ දැඩි පාලනයකට නතු වී තිබෙන නිසා සමාජ මාධ්‍ය වෙත මෙම මර්දනය පළමුව යොමු වීමේ අවදානමක් තිබේ. යුද උන්මාදයක හා ජයග්‍රහණයේ අතීතකාමයක ජීවත් වන දේශපාලනික වශයෙන් අඳබාල පිරිසක් බලවත් වූ විට එවැනි තත්වයන් ගැන විස්මයට පත් විය යුතු නැත.
කොරෝනා නිසා කබලට වැටුණු ජනතාව බඩු මිල හා බදු බර හේතුවෙන් එතනින් ලිපට තල්ලු වී ගොසිනි. ඉදිරියේදී සිදු වීමට නියමිත රැකියා කප්පාදු, වැටුප් කප්පාදු, සහනාධාර කප්පාදු ආදිය හමුවේ මහජනතාව තව තවත් උද්ඝෝෂණවලට පෙළඹෙනු ඇත. පෙසපට පහර දෙන්නට ඇත්තේ ඒ හැමෝට ම කල් තබා අනතුරු ඇඟවීමක් ලෙස ය.
ආණ්ඩුවේ හමුදා බලවේගය සුලබව භාවිතා කරන වදනක් වන්නේ විනයයි. රටේ විනය ඇති කිරීම යන්නෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මහජනයා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම වැළැක්වීම හා පීඩාවන් විඳ දරාගෙන වැඩකිරීම විය හැකි ය. එසේ නොමැතිව රටේ විනය හදන්නට යයි පසුගිය මාස හයකට වැඩි කාලය තුළ ආණ්ඩුව කළ දෙයක් නැත. මත්ද්‍රව්‍ය, කසිප්පු, ගංජා, පාතාලය, අපරාධ, ස්ත්‍රී දූෂණ හා පොලිස් ප්‍රචණ්ඩත්වය ආදිය පෙර පරිදිම සිදුවෙමින් තිබේ.
මේ අතර, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ආ ප්‍රධාන බලවේග දෙක වන සිංහල ජාතිවාදීන් හා වියත් මග බුද්ධිවාදීන් තම ඉච්ඡා භංගත්වය ප්‍රකාශයට පත්කිරීම දැනටමත් ආරම්භ වී තිබේ.
මේ සියල්ලට ම අලුත් විසඳුමක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ තිබේ යයි එදා පෙන්නුවේත්, දැන් පෙන්නන්නේත් මර්දනය ම පමණි. පෙසප උද්ඝෝෂණයට එල්ල කළ කෘෘර පහර දීමෙන් ආණ්ඩුව පෙන්වූයේ තමන්ට කළ හැකි එකම දෙය පමණක් නොවේ. ඔවුන්ට තිබෙන දුරදැක්මේ දිග පළල ද එයින් ප්‍රදර්ශනය කරන ලදී.
එසේම, ඇමරිකානු පුරවැසියකුව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය අඹු දරුවන් තවමත් ජීවත් වන රටට ඇති පක්ෂපාතිත්වය ද පෙරටුගාමීන් මෙවැනි ප්‍රහාරයකට ලක්වන්නට හේතු වන්නට ඇත.
අවසානයේදී මෙයත් කිව යුතු ය. මේ උද්ඝෝෂණය නිකම් පැවැත්වුණා නම්, එයට මෙතරම් ජාත්‍යන්තර ප්‍රචාරයක් නොලැබෙන නිසා පෙසප ගෙවූ මිලට පාඩුවක් නැත.