පනස් වසරක් මහින්ද
අජිත් පැරකුම් ජයසිංහ
මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ සිටින ගිය ගිය තැන උත්සවාකාරයෙන් පිළිගැනීමට ලක් වන සෙලබ්‍රිටි කෙනෙක්. එසේම, ඔහු ලංකාවේ නූතන දේශපාලනයේ ප්‍රබල ම පුරාවෘත්තමය චරිතයයි. පුරාවෘත්ත යන්නෙන් මා මෙහි අදහස් කරන්නේ ඉංග්‍රීසියෙන් ලෙජන්ඩ් කියන පදයයි.
පුරාවෘත්තමය චරිතවල මූලික ලක්ෂණයක් වන්නේ එම පුද්ගලයන්ට වීරත්වයක් ආරෝපණය කරන කතා රැසක් තිබීමයි. ඒවායින් වැඩිහරියක් අතිශයෝක්තියි. ජේ.ආර්. ජයවර්ධන, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, එච්.ආර්. ජෝතිපාල වැනි චරිත පිළිබඳ මෙවැනි කතා රැසක් තිබෙනවා.
මේ කතාත් එක්ක ඔවුන් ඉතිහාසගත වනවා. ඓතිහාසික පුරාවෘත්තවල ඇත්ත චරිතය යටපත් වෙමින් ප්‍රබන්ධිත චරිතය ඉස්මතු වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ එකී ප්‍රබන්ධිත චරිතයයි. මහින්ද පණ පිටින් සිටියදී ම මෙය අත්දකිනවා.
මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන තුළ තිබුණේ සාමාන්‍ය දේවල්. එහෙත්, ඔහු සුවිශේෂ පුද්ගලයෙකු වුණේ 2009 යුද ජයග්‍රහණයත් සමග. දෙමළ ඊලාම් අරගලය තීරණාත්මක ලෙස පරදා සිංහල ජාතිකවාදී ව්‍යාපාරය ස්ථාපිත කරන්නට ඔහු සමත් වුණා.
ඔහු එවැනි දෙයකට සූදානම්ව සිටි පුද්ගලයෙකු නොවෙයි. ඔහු දෘෂ්ටිවාදියෙකුත් නොවෙයි. හැබැයි ජනප්‍රියවාදියෙක්. ජනප්‍රියවාදී නිල අල්ලන්නට ඔහු ඉතා දක්ෂයි. ඒත්, 2005දී ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නොතිබුණා නම් ඔහු පුරාවෘත්තයක් බවට පත්වන්නේ නැහැ.
මෙම සංවිධාන දෙකම ඔහු බලයට ගෙන ඒමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ දැක්මක් නැති, හැකියාවන් පෙන්වා නැති, පුළුල් මහජන සහයෝගයක් ද නොතිබුණු, දුර්වල පාලකයකු බලයට පත් කර තමන්ගේ මූලෝපායන් පහසුවෙන් ඉදිරියට ගෙන යන්නටයි. එහෙත්, සිදු වුණේ අනෙක් පැත්තයි. මහින්ද රාජපක්ෂ වේගයෙන් ශක්තිමත්, ජනප්‍රිය නායකයකු බවට පත් වූ අතර
ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යන දෙකම දේශපාලනික වශයෙන් අන්ත පරාජයකට ලක් විය.
ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යන දෙකම දේශපාලනික වශයෙන් අන්ත පරාජයකට ලක් විය.
මහින්ද රාජපක්ෂට යුද්ධය දිනා, අසහාය සිංහල වීරයා බවට පත්වන්නට අවස්ථාව ලබාදුන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ අනම්‍ය, යුදවාදී, ජාතිවාදී, අධි තක්සේරුව විසිනි. ඉදිරිගාමී දැක්මක් සහිතව සාම ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට ගොස්, එක් රටක් තුළ බලය බෙදාගැනීමේ සම්මුතියකට යාම වෙනුවට දෙමළ ජාතිවාදය අන්ධ ලෙස වැළඳගෙන දිනන්නට ඉතා දුෂ්කර යුද්ධයකට කොටි සංවිධානය කරගැසුවේ ය. එයට දිරි දුන් ඩයස්පෝරාවේ හා කොළඹ මධ්‍යම පන්තික දෙමළුන් යුද්ධයට බිලි බෝයිලා වන්නට තමන්ගේ ළමයින් එව්වේ නැත. අන්තිමට කොටි සංවිධානයට වුණේ එක්රැස් කරගත් ආයුධ අත දරන්නට මිනිසුන් නැතුව, ආයුධ අතහැර දමමින් දිගින් දිගට ම පසුබසින්නට ය. මහින්ද ගියේ ඔහුට යන්නට සිදු වූ මග දිගේ ය. ඔහු ඉතිහාසය නිර්මාණය කළේ නැත. ඉතිහාසය විසින් ඔහු නිර්මාණය කළේ ය.
මහින්ද රාජපක්ෂ වැනි දැක්මක් නැති ජනප්‍රියවාදියකුගේ නායකත්වයෙන් ලද මෙම යුද ජයග්‍රහණය නිසා නැති භංග වූයේ දෙමළ ජාතිකවාදය පමණක් නොවේ. සිංහල ජාතිකවාදය සදාකාලික අර්බුදයක ගිලිණි. යුද්ධය හැර අන් කිසිදු ජයග්‍රහණයක් නැතිව, දිනෙන් දින මෝරන කාලකණ්ණිකමක් තුළ ගිලෙමින්, දියුණු සමාජයක් වෙත සංවර්ධනය වෙනවා වෙනුවට පසුගාමිත්වය ම වැළඳගනිමින්, තම අවාසනාවන්ත ඉරණමට හේතුව ලෙස දෙමළා නැතිනම් මුසල්මානුවා අල්ලාගෙන මරාගන්නවා ඇරෙන්නට පශ්චාත් යුද සමයේ මහින්දගෙන් සිංහලයාට ද ලැබුණු දෙයක් නැත.
එයට මූලික හේතුව, යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව ජාතිවාදය ඇතුළු පසුගාමිත්වයන්ගෙන් රට මුදාගෙන දියුණු සමාජයක් කරා ලංකාව යොමු කරන්නට ලැබුණු අනගි අවස්ථාව පාවිච්චි කරන්නට තරම් දැක්මක් හෝ උනන්දුවක් මහින්දට නැති වීමයි. ඒ වෙනුවට ඔහු කළේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පටු අරමුණු තුළ රට ගිල්වා දැමීමයි.
යුද්ධය දිනුවත්, මහින්ද සමස්ත ශ්‍රී ලංකාවට තබා, සමස්ත සිංහල ජාතියටවත් සැබෑ නායකයකු වූයේ නැත. ඒ වෙනුවට රටට ලැබුණේ සමාජයේ මුග්ධ ම හා කපටි ම කොටස් අතර ජනප්‍රියත්වයේ මුදුනෙහි ම සදා වැජඹෙන, මුග්ධත්වය විසින් මෙහෙයවනු ලබන බලවේගවල පසුපස යන ජනප්‍රියවාදී සමාජ සංකේතයකි. ඔහුට පුරාවෘත්තයක් ලෙස ඉතිහාසයේ රැඳී සිටින්නට නම් ලංකාව තව තවත් මුග්ධ අන්ධකාරයේ ම ගිලී යා යුතු ය. මහින්දට බයවෙන්නට දෙයක් නැත. සමාජයක් ලෙස අප එයට සූදානම් ය.
කෙසේ වෙතත්, මහින්ද මෙන් ජනප්‍රිය චරිතයක් තව බොහෝ කලකට බිහි නොවනු ඇත. මහින්ද ගෞරවනීය සතුරෙකි.