විෂබීජහරණ කුටිවලින් හා ඉසින විෂබීජ නාශකවලින් පරිස්සම් වෙන්න

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය

ආයතනවලට ඇතුළු වන ස්ථානවල විෂබීජහරණ කුටියක් තනා ආයතනයට ඇතුළු වන සියලු පුද්ගලයන් එම කුටිය හරහා යාම අනිවාර්ය කිරීම දැන් බොහෝ ආයතන විසින් අනුගමනය කරනු ලැබේ. ඒ පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් පහත දැක්වෙන කරුණු පෙන්වා දෙයි.
Translations
මෙම කුටි තුළදී පුද්ගලයන් මතට විදිනු ලබන විෂබීජ නාශක අතර ඇල්කොහොල්, ක්ලෝරීන් සංයෝග, ඕසෝන් බවට පත් කරන ලද ජලය හා සබන් වතුර තිබේ. ඇතැම් විට, පාරජම්බුලකිරණ ද භාවිතා කරනු ලැබේ.
ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් ඒ සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වෙත අවධානය යොමු කරවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු තත්වයක් යටතේ පුද්ගලයන් හෝ කණ්ඩායම් මත විෂබීජ නාශක ඉසීම කිසි සේත්ම නිර්දේශ කරන්නේ නැත. එය ශාරීරිකව හා මානසිකව හානිකර වන අතර එමගින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වෙන්නේ ද නැත. කොවිඩ්-19 ආසාදිත පුද්ගලයකු මත පවා විෂබීජ නාශක විසුරුවා හළ පමණින් එම පුද්ගලයාගේ ශරීරය තුළ ඇති වයිරස විනාශ වන්නේ නැත. මෙම භාවිතාවෙන් පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වයට ද හානි සිදු විය හැකි ය.
ඇල්කොහොල්, ඕසෝන් ආදිය මගින් විෂබීජහරණය වීමට නම්, ඒවා විෂබීජ මත ක්‍රියාත්මක විය යුතු ප්‍රමාණයක් හා කාලයක් තිබේ. විෂබීජහරණ කුටි මගින් එම තත්වයන් සම්පාදනය කරන්නේ නැත.
එපමණක් නොව, මෙමගින් වටිනා විෂබීජ නාශක ද්‍රව්‍ය වන ඇල්කොහොල් ආදිය අපතේ යයි. එසේම, අධික ගිනිගැනීම් අවදානමක් ද ඇති කරයි.
කොවිඩ්-19 ප්‍රධාන වශයෙන් බෝවන්නේ අත්වලින් මුහුණ, කට, නාසය හා ඇස් ස්පර්ශ කිරීමෙනි. එහිදී කළ යුතුව තිබෙන්නේ දෑත් හොඳින් විෂබීජහරණය කරගැනීමයි. එහෙත්, මෙම විෂබීජහරණ කුටිවලින් දෑත් නිසි පරිදි පිරිසිදු වන්නේ ද නැත.
මෙම විෂබීජහරණ කුටිවල භාවිතා කරනු ලබන රසායනික හේතුවෙන් අසාත්මිකතා හා ශ්වසන සංකුලතා ඇති වීමේ අවදානමක් ද ඇති බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි. අධික ලෙස පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් චර්ම පිළිකා ඇති වීමේ අවදානම පවා වැඩි වේ. ඕසෝන් හා පාරජම්බුල කිරණ භාවිතය සම්බන්ධයෙන් ඇති අනුමැතිය ද ගැටලුවකි.
විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම කළ යුතුව ඇත්තේ වයිරසය රැඳී පැවතිය හැකි, නිරතුරු ස්පර්ශ කරන දොර අගුල්, රේලිං පොලු, කවුන්ටර මේස වැනි මතුපිට බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසන්නේ පරිසරයට මහා පරිමාණෙන් විෂබීජ නාශක මුදාහැරීම මගින් පරිසර දූෂණයක් හා නාස්තියක් සිදු වන බවයි. ඒවා මිනිසුන්ට හා සතුන්ට ද හානිකර විය හැකි ය.
විෂබීජහරණ කුටි වැනි ඒවා හේතුවෙන් ආරක්ෂිතබව පිළිබඳ ව්‍යාජ විශ්වාසයක් ඇති වී අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන නොතකා හැරීමට මහජනයා පෙළඹීමේ අවදානම ද ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පෙන්වා දෙයි.
එහෙයින්, දෑත් සේදීම හෝ විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කිරීම සඳහා පහසුකම් සැපයීම, නිරතුරුව ස්පර්ශ කරන මතුපිට විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම, කැස්ස හා කිවිසුම් සම්බන්ධයෙන් ආචාරධර්ම අනුගමනය කිරීම හා සමාජ පරතරය පවත්වාගෙන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පෙන්වා දෙයි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා