කොවිඩ්-19 ඇඳිරි නීති සමය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙගුණ වෙලා
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා පනවන ලද ඇඳිරි නීති සමයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය වී ඇති බව කාන්තා සංවිධාන පෙන්වා දෙනවා.
අංක 1938 දරණ ජාතික කාන්තා දුරකථන සේවාවට වාර්තා වන සිදුවීම් සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා. 2020 අප්‍රේල් මාසයේ පමණක් එවැනි පැමිණිලි 400ක් ලැබී ඇති බව කාන්තා කාර්යාංශය පවසනවා.
සාමාන්‍ය දවසකදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රෝගීන් 300ක් පමණ ඇතුළත් වන බව ද ඒ අතරින් 3-5 අතර සංඛ්‍යාවක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තා වින්දිතයන් වන බව ද වාර්තා වේ. කොවිඩ්-19 නිසා පනවන ලද ඇඳිරි නීතිය අතරතුර, ඇතැම් කාන්තාවන් වැඩි අවදානමකට ලක් වුණ බව ද දවසකට රෝහලට ඇතුළත් වූ රෝගීන් 100ක් පමණ අතරින් 10දෙනෙකු පමණ ගෘහස්ථ හිංසනයට ලක්වුණ කාන්තාවන් බව රෝහල් ආරංචි මාර්ග හරහා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ලේඛන වාර්තා කරයි.
එය කොවිඩ්-19 ඇඳිරි නීති සමය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ දෙගුණ වීමක ලක්ෂණ නිරූපණය කරයි.
ඇඳිරි නීති අතරතුර පුද්ගලයන් තුළ මානසික ආතතියේ වැඩිවීමක් සිදු වී තිබේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය හිඟය හා නීති විරෝධී මත්පැන් ආදිය භාවිතය වැඩි වීම ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ඉවහල් වී තිබේ.
මේ අතර ඇතැම් කාන්තාවන් ඇඳිරි නීති හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදු වන නිවාස තුළ පිටවීමට නොහැකි අන්දමින් සිර වී තිබීමෙන් ද ඔවුන් වැඩි ප්‍රචණ්ඩත්වයකට ලක් වී තිබේ.
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත හරහා හිංසනයට ලක්වන අයට සහන සහ ආරක්ෂාව ලබාගත හැකි ය. එසේම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැනවේ. එහෙත්, ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් වීමේ හා ක්‍රියාමාර්ග ගැනීමේ ලා පසුබෑමක් තවමත් පවුල් තුළ හා සමාජයේ තිබේ.