දේශපාලකයන්ගේ නැහැදිච්චකම හා නිරෝධායන නීති
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, ඔහුගේ අන්තේවාසික සෙසු දේශපාලකයන් ද සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් ය කියා ය. ඇඳිරි නීති පැනවූ මුල් කාලේ පටන් ම ඔවුන්ට කොරෝනා නිරෝධායන නීති අදාළ නැති බවක් ඔවුන් පෙන්වන්නේ එහෙයිනි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවිධ ආගමික වතාවත් සඳහා පන්සල් ගානේ රාජ්‍ය සංචාරවල යෙදෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යාම හා සංචාරය සෙසු සියලු පුරවැසියන්ට තහනම් කර තිබියදී ඒවා පයිසෙකට මායිම් නොකර, තමා පුරවැසියන් නොව, ඊට වඩා ලොක්කන් බව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම දේශපාලක උද්ධච්ඡකමේ උච්චතම අවස්ථාව වන්නේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ මළගමයි. එය කෙතරම් පාලනයෙන් තොර තත්වයකට පත් වී ද යත්, රාජ්‍ය ගෞරව සහිතව තොන්ඩමන්ගේ අවමංගල්‍යය පවත්වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඒ වෙනුවෙන් ම පනවන ලද විශේෂ ඇඳිරි නීතියක් සමග ය.
සීමාන්තික නිරෝධායන නීතිවල ප්‍රායෝගික නොවන ස්වරූපය හා අතිධාවනකාරී විකාරරූපී ලක්ෂණ අප සියලු දෙනා පිළිගන්නෙමු. උදාහරණයක් ලෙස, සියලු දෙනා අනිවාර්යයෙන් මාස්ක් දැමීම හා ග්ලවුස් දැමීමත් එසේ නොකරන අයට එරෙහිව පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් අර්ථ විරහිත ක්‍රියා වේ.
එහෙත්, තමන් නීති පැනෙව්වා නම්, සියල්ලට පළමුව පාලකයන් එම නීති පිළිපැදිය යුතු ය. එහෙත්, අපේ රටේ පාලකයෝ එළිපිට ම නිරෝධායන නීති උල්ලංඝනය කරති. ඔවුන් සිතන්නේ තමන් නීතිවලට ඉහළින් සිටින සුපිරි බලවේගයක් ය කියා ය. අවාසනාවන්ත තත්වය වන්නේ මහජනතාව ද එසේ සිතා, ඔවුන් ප්‍රශ්න නොකර සිටීමයි.
නීති නම්, ජනාධිපතිගේ සිට සියලු දෙනාට එක අන්දමින් ක්‍රියාත්මක විය යුතු ය. තමන් නීති ගණන් නොගන්නා බව එළිපිට ප්‍රකාශ කරන ලොක්කන් ප්‍රදර්ශනය කරන්නේ නැහැදිච්චකම ය.