ගුවන් තොටුපළ ඇරියොත් මොකක් වෙයි ද?

ශ්‍රී ලංකාවේ ද කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් සිදු වී තිබේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධිකාරීන්ට අනුව, රට තුළ කොවිඩ්-19 සමාජමය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැත.
Translations
මේ වන විට රෝගය වැළඳුණු පිරිසගෙන් අති බහුතරය නාවික හමුදා සෙබළු වෙති.
මේ අතර, ගුවන් සේවා නැවත ආරම්භ කිරීමේ අරමුණින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් රජයට යෝජනාවලියක් භාර දී තිබේ. ඒ අතර පහත දැක්වෙන යෝජනා තිබේ. (උපුටාගැනීම දිනමිණ පුවත්පතෙනි)
  • කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් මගියකු රටට ගොඩබැසීමට පෙර නිශ්කාශන ක්‍රමයක් හඳුන්වා දීම
  • යම් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම්, ගුවන්ගත වී පැය භාගයක් ඇතුළත මගීන්ගේ නාම ලේඛනයක් ගුවන් තොටුපළ බලධාරීන්ට ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීම
  • සෑම මගියකු ම පැමිණීමේදී විෂබීජහරණ කුටියක් ඔස්සේ යාමට සැලැස්වීම
  • පැමිණෙන සෑම මගියකු ම කොවිඩ්-19 පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම
  • ගුවන් මගීන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ සිදුකිරීම
  • මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම
  • ගුවන් යානා සහ ගුවන් තොටුපළ වරින් වර විෂබීජානුහරණය කිරීම
  • දුරස්ථභාවය ආරක්ෂා කිරීම
කොවිඩ්-19 ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නැතැයි විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සහතිකයක් දෙද්දී ද මීට වඩා ගොඩක් වෙනස් තත්වයක් තිබුණේ නැත. ඉහත දක්වා ඇති පියවර අතර ඇතැම් ඒවා ප්‍රායෝගික නැති බව ද, ඒ හරහා කොවිඩ්-19 රට තුළට පැමිණීම කිසි සේත් ම නවතින්නේ නැති බව ද තේරුම් ගැනීම ඉතා පහසු ය.
ගුවන් ගමන් දැඩි ලෙස සීමා කර, පැමිණෙන මගීන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙද්දී පවා වර්තමානයේදී විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන් අතරින් කොවිඩ්-19 රෝගීන් වාර්තා වේ. නිදසුනක් ලෙස, ඩුබායි සිට පැමිණි 15දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා විය. ඩුබායි සිට අප ඇමතූ ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයකු පැවසුවේ, එරටින් පිට වීමට හැක්කේ කොවිඩ්-19 සඳහා පරීක්ෂා කර රෝගය නොමැති බව තහවුරු කළ අයට පමණක් බවයි. එසේ නම්, මෙම පුද්ගලයන්ට රෝගය වැළඳුණේ කෙසේ ද? ගුවන් තොටුපළකදී ද? ගුවන් යානයේදී ද? නිරෝධායන මධ්‍යස්ථානයකදී ද?
ගුවන් තොටුපළ විවෘත කරනවා නම්, රටට එන සියලු මගීන් නිරෝධායනය කිරීමට සිදු වනු ඇත. විදේශ ශ්‍රමිකයන් හැර, විදේශ ගමන් යන අනෙක් අය මහජන මුදලින් නිරෝධායනය කළ යුත්තේ ඇයි ද යන ප්‍රශ්නය ද මතු වේ.
එසේම, මේ වන විට රැකියා අහිමි වී සිටින දස දහස් සංඛ්‍යාත විදේශ ශ්‍රමිකයන් පිරිසක් ආපසු එන්නට ගුවන් සේවා ආරම්භ වනතුරු බලා සිටිති. මැද පෙරදිග රටවල කොරෝනා ආසාදිතයන් අතර සැලකිය යුතු ප්‍රතිශතයක් විදේශ ශ්‍රමිකයෝ ය. ඔවුන් ආපසු එනු ඇත්තේ කොවිඩ්-19 ද රැගෙන විය හැකි මුත්, ඔවුන්ට ආපසු සිය රටට එන්නට සැලැස්වීම රජයේ වගකීමකි. එය වැළැක්වීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වීමට ද ඉඩ තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවල සති දෙකක් සිට ලංකාවට පැමිණීමට නම්, විදේශිකයන්ට ලොකු හේතුවක් තිබිය යුතු ම ය. සංචාරකයන්, ව්‍යාපාරිකයන් වැනි පිරිස්වලට නම් එවැනි උවමනාවක් තිබේ යයි සිතිය නොහැකි ය.
එන මගීන්ගේ උණ බැලුවාට, කොවිඩ්-19 පරීක්ෂණ සහතික බැලුවාට, විෂබීජහරණ කුටිවලින් යැව්වාට ඔවුන් හරහා වසංගතය රට තුළට පැමිණීම නතර වන්නේ නැත. අප එක්කෝ ගුවන් තොටුපළ දිගට ම වසා දැමිය යුතු ය. නැතිනම්, කොවිඩ්-19 අභියෝගය සම්බන්ධයෙන් වෙනත් ප්‍රවේශයක් සොයාගත යුතු ය.
කොවිඩ්-19න් සැඟවී සිටින්නට නවීන ලෝකයට බැරි ය. මෙයට එරෙහිව සටන් කිරීමේදී ලෝකයක් ලෙස කටයුතු කිරීම අතිශය වැදගත් ය.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා