කොවිඩ්-19, චීන ජාතිවාදය හා ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය

මුල් ඡායාරූපයේ තිබෙන්නේ ස්ටීම් නම් ගේම් වේදිකාව විසින් බෙදාහරින ලද පරිගණක ක්‍රීඩාවකි. කොරෝනා වයිරසය තේමා කරගත් එහි සංකේත චීන කොඩියේ වර්ණ තේමාවට සමාන තේමාවකින් යුක්ත නිසා මේ වන විට චීනය එය තහනම් කර තිබේ. එම ක්‍රීඩාවේදී කොරෝනා වයිරස් ප්‍රහාරයක් පරාජය කිරීම සඳහා වයිරසය ආසාදිත රටකින් පිටවන ආත්මාර්ථකාමී සොම්බි මරා දැමිය යුතු ය. MythZ නම් වන මෙම ක්‍රීඩාවේ නිර්මාපකයා ඇබකස් වෙබ් අඩවියට පවසා තිබෙන්නේ ඔහු එය නිර්මාණය කළේ චීන රජය වසංගතය කළමනාකරණය කළ ආකාරය සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා බවයි.
Translations by Creative Content Consultants
කොවිඩ්-19 ඇති කරන නව කොරෝනා වයිරසය චීනයේ නිෂ්පාදනය කළ එකක් බවට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශපථ කරයි.
මේ අන්දමින් ම චීනයේ ආපදාව දරුණු අවධියේ එරට දේශපාලකයන් කීවේ වයිරසය ඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කර චීනයේ පැතිරවූ බවයි.
දේශපාලකයන් මෙවැනි කුමන්ත්‍රණ න්‍යාය හඬගා කියන්නේ රටේ සෞඛ්‍ය අර්බුදය හමුවේ ඔවුන් දැඩි පීඩාවකට ලක් වී සිටියදී ය. එවැනි කුමන්ත්‍රණ න්‍යාය බලය රැකගැනීම සඳහාත්, මහජන අවධානය රජය වෙතින් වෙනත් සතුරකු වෙත යොමු කිරීමටත් භාවිතා කරනු ලැබේ.
කොවිඩ්-19 වයිරසය විද්‍යාගාරයක් තුළ නිර්මාණය කළ එකක් බවට තවම සාක්ෂි සහිතව සොයාගෙන නැති වුව ද, එවැන්නක් සිදු වීමේ ඉඩකඩ ද බැහැර කළ නොහැකි ය.
ලෝකයේ රටවල් කොවිඩ්-19 හමුවේ කටයුතු කරන ජාතිවාදී ස්වරූපයන් විසින් ඇත්තට ම බරපතල ගැටලු ඇති කර තිබේ. උදාහරණයක් ලෙස චීනය කොවිඩ්-19 සම්බන්ධයෙන් කටයුතු කළ ජාතිවාදී ස්වරූපය ප්‍රශ්න කළ හැකි ය. කොවිඩ්-19 සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමට චීනය මුල පටන් ම උත්සාහ දැරී ය. උදාහරණයක් ලෙස, 2019 දෙසැම්බරයේදී හුබෙයිහි පැතිර යමින් තිබෙන අලුත්, දරුණු ශ්වසන රෝගයක් පිළිබඳ සිය වෘත්තීය සගයන් දැනුවත් කළ වෛද්‍යවරයකු වූ ලී වෙන්ලියැං හට මහජන කැළඹිලි ඇති කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව එල්ල කළ චීනය සමාව ගැනීමට ඔහුට බල කළේ ය. පසුව මෙම වෛද්‍යවරයා කොවිඩ්-19න් ම මිය ගිය අතර ඔහුගේ මරණය ද ප්‍රශ්නකාරී ය.
චීනයේ කොවිඩ්-19 වසංගතය පිළිබඳ සමීක්ෂණයක් සිදු කළ හොංකොං විශ්වවිද්‍යාලය පැවසූ කරුණක් වන්නේ චීනයේ වයිරසය ආසාදිත වූ සංඛ්‍යාව ප්‍රකාශිත සංඛ්‍යාව මෙන් කීපගුණයක් විය හැකි බවයි. මරණ සංඛ්‍යාව මුලින් ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා වෙනස් බව කියමින් චීනය සංශෝධනයක් කළේ තවත් ඉලක්කම් දහස් ගණනක් ඇතුළත් කරමිනි.
ඉලක්කම් වැරදි අත්වැරදීම් ලෙස සැලකිය හැකි මුත්, චීනය රෝගය පිළිබඳ තොරතුරු සැඟවූ බව බොරුවක් නොවේ. කොවිඩ්-19 වසංගතයේ ගැඹුර ලෝකය ඇත්තෙන් ම වටහා ගත්තේ චීනයෙන් නොව ඉතාලියෙනි. චීනය වයිරසය මැඩලීමේ සාර්ථකත්වයේ කතා ප්‍රචාරය කරද්දී රටක සෞඛ්‍ය අංශවලට හා ජනතාවට මුහුණ දෙන්නට සිදු වන සත්‍ය අභියෝග පිළිබඳ ලෝකයට සජීවී වාර්තා සැපයුවේ ඉතාලිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය හා එක්සත් ජනපදය වැනි ප්‍රජාතාන්ත්‍රික රටවල් ය. සෙසු ලෝකයට පාඩම් ඉගැන්වූයේ ඒ රටවල් ය. සංවර්ධනය වෙමින් පවතින රටවලට ආරක්ෂා වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මෙම රටවලින් ලැබුණු වාර්තා මහත් සේ උපකාර විය.
ලංකාව වැනි රටවල මාධ්‍ය බටහිර ජාතීන්ට උසුළු විසුළු කරමින් හා චීනයේ සාර්ථකත්වය වර්ණනා කරමින් කටයුතු කළේ ලංකාවේ සෞඛ්‍ය අංශ පාඩම් ඉගෙන ගත්තේ බටහිර රටවල මාධ්‍ය නිදහසට පිං සිදුවන්නට බව අමතක කරමිනි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා